Sunday, July 19, 2026

Tusker Infinity Studios සමග මගේ මතක

 මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG එකේ. ඔය දෙකේම මම වැඩ කලේ ඔන්ලයින්. මම තුන්වෙනියට සහ අවසානයට වැඩ කලේ Tusker Infinity Studios එකේ. එතන තමා මං මුලින්ම onsite job එකකට කියලා ගියේ. ඔෆිස් එක තිබ්බෙ බොරලැස්ගමුවෙ ගංගාරාම පාරෙ. මේක ස්ටූඩියෝ එකක් වුනත් එතන තිබ්බෙ ස්ටූඩියෝ එන්වයර්මන්ට් එකකට වඩා ඔෆිස් එන්වයර්මන්ට් එකක්. අපිත් ඔෆිස් කිට් ගහලා එහෙම තමා වැඩට ගියෙ. Studio vs Office වෙනස දන්නැත්තං මෙන්න මෙහෙම සරලව කියන්නං..

ඔෆිස් (office) එකක් කියන්නෙ මචං පරිපාලන වැඩ, බිස්නස් ප්ලෑනින්, රැස්වීම් වගේ දේවල් වලට තියන productivity, hierarchy වලට focus කරලා වැඩ කරන ගොඩාක් professional discipline සීන් එකේ තියන තැනක්. හැබැයි ස්ටූඩියෝ (studio)එකක් කියන්නෙ මචං නිර්මාණකරණය, ඩිසයින් එක්ස්පෙරිමන්ට්, සහ කලාව ඇතුලෙ ප්‍රැක්ටිකල් වැඩ කරන තැනක්. මෙතන professional තැනක් වුනත් ගොඩාක් නිදහස් වටපිටාවක් තියෙන්නෙ. 

මං ටස්කර් එකේ වැඩට ගියෙ 2024 නොවැම්බර් පළවෙනිදා. දික්හේනෙන් උදේ 6.10ට තිබ්බ බස් එකේ නැගලා හොරණට ඇවිත්, හොරණින් හොරණ කොළඹ 120 බස් එකේ නැගලා ගිහින්, බොරලැස්ගමුවෙ 10 කණුව හෝල්ට් එකේ බැහැලා, 10 කණුව පාරෙන් ගංගාරාම පාරෙ තියන ඔෆිස් එකට වෙනකන් තියන කිලෝමීටර් එක හමාරක වගේ දුර මම පයින් යනවා. අපේ ගෙදර ඉඳන් ඔෆිස් එකට දුර තිබ්බෙ කිලෝමීටර් 27ක් වගේ ගාණක් වුනත් මේ සම්පූර්ණ ගමනට මට පැය 2කට වඩා යනවා. හවස ඔෆිස් ඇරිලා එද්දි ඒක පැය 3කට වැඩියි. බයික් එකේ යනවා නං පැයෙන් යන්න පුලුවන් ගමනක් වුනත් මට තිබ්බ Suzuki GP100 එකේ වැඩට යන්න එන්න ගියා නං මාව විකිණෙනවා තෙල් ගහලම. මොකද ඒක 100cc වුනත් 2strock බයික් එකක් නිසා තෙල් කලේ 27ක් වගේ. තෙල් ලීටරේ 330ට වගේ ගියෙ ඒ දවස් වල මතක හැටියට.

උදේ හොරණින් නැගලා යද්දි මට සීට් එකක ඉඳගෙන සැපට යන්න පුලුවන් වුනත් හවස 5.30ට ඔිෆ් වෙලා ගෙදර එද්දි නං අමා මහ දුකක් තමා හැමදාම වින්ඳෙ. කොළඹ ඉඳන් ෆුල් පැක් වෙලා එන හොරණ කොළඹ බස් එකට රූට් එකේ මැදින් තියන බොරලැස්ගමුවෙන් හවස 6ට කිට්ටු කරලා නගින්න සෙට් වුනාම තියන සැප කොහොමද.. මම කවදාවත් ෆුට් බෝඩ් ගිය එකෙක් නෙවෙයි මචං මං සිරාවටම හෙන බයයි ෆුට්බෝඩ් යන්න.. ඒත් ෆුට්බෝඩ් කරුමෙට කරගහන්න වුනා මට හවස වැඩ ඇරිලා එද්දි.  සම්පූර්ණයෙන්ම කඳ එලියෙ බස් එකෙන්.. බොරලැස්ගමුවෙ ඉඳන් පිළියන්දලට වෙනකන්ම හැමදාම ෆුට්බෝඩ් එකේ ආවෙ. අච්චර කැස්බෑව බස් තියෙද්දි පිළියන්දලට එන්න හොරණ බස් එකේ නගින උද්ධික පුතාලට නං අම්මපා හෙන ගහන්න ඔිනෙ කැස්බෑවට එහා බහින එවුන්ව ෆුට්බෝඩ් යන්න සෙට් කරලා එච්චර අසරණ කරනවට... බස් එකේ බාගෙට බාගයක් සීට් වල ඉඳගෙන සැපට එන්නෙ පිළියන්දලින් බහින එවුන් මිසක් හොරණට යන එවුන් නෙවෙයි...

කොහොමහරි 2024 නොවැම්බර් වල මම වැඩට ගිහින් සති දෙකක් යන්න කලින් තමා අපේ පවුලට සෑහෙන්න අමාරු කාලයක් උදාවෙන්න ගත්තෙ අපේ පියාණන්ගෙ වම් කකුලෙ ඇඟිල්ලක් කපන්න වෙලා දියවැඩියාව නිසා. අවුරුදු ගාණක් දියවැඩියාව තිබිලත් පියාණන් කට පරිස්සම් කර ගන්නැතුව ආතල් එකේ කාලා බීලා හිටපු එකේ පල විපාක මුලු පවුලටම විඳින්න වුනේ මාස 2කට වඩා හොරණ-කොළඹ හොස්පිට්ල් වල ඉඳලා අන්තිමට වලලුකර ගාවින් කකුල කපන තැනට වෙනකන් බඩු පැකට් වුනාම.

ඒකෙන් මොනවා වුනත් මට වෙච්ච පොඩි වාසිය වුනේ පියාගෙ ප්ලැටිනා 100 බයික් එක මගෙ පාවිච්චියට ගන්න පුලුවන් වෙච්චෙක. 2025 ජනවාරි මාසෙ වගේ ඉඳන් මම ප්ලැටිනා එකේ වැඩට යන්න පටන් ගත්තෙකෙන් මගේ ගමන් පහසුව නෙක්ස්ට් ‌ලෙවල් එකට ගියා වගේම කාලය සහ සල්ලිත් ඉතුරු වුනා. ප්ලැටිනා එක ලීටරේට කිලෝමීටර් 60 පන්නලා කරපු සිරා බයික් එකක් නිසා බස් එකේ යන ගමන් වියදමටත් වඩා අඩු වියදමක් තමා මට තෙල් වලට ගියේ. කොච්චර ජපන් බයික් ලවර් කෙනෙක් වුනත් ඉන්දියන් බයික් වලට මම අදටත් හිස නමා ආචාර කරන්නෙ දෙපයින් නැගිටින මනුස්සයෙක්ට හයියක් වෙන්න ඒවට තියන සිරා හැකියාවට.

වැඩට යද්දි 10 කණුවෙන් හැරිලා යද්දි මම සාමාන්‍යයෙන් කරපු දෙයක් තමා පාරෙ පයින් යන කවුරුහරි ඉන්නවා නං ගංගාරාම පාරට වෙනකන් බයික් එකේ දාන් එන එක. මොකද මම බස් එකේ යන කාලෙ 10 කණුව පාරෙ තියන කිලෝමීටර් 1 හමාරක දුර පයින් එන එක මට ලේසි වුනේ නෑ. මොකෙක් හරි මනුස්සකමක් තියන එකෙක් දැකලා දාගෙන යයි කියලා හැමදාම බලාපොරොත්තු වුනත් කවුරුත් මාව එහෙම දාන් ඇවිල්ලත් නෑ. කොහොමහරි ඔහොම උදේට හැමදාම ගංගාරාම පාරට වැඩට එන අංකල් කෙනෙක් මාත් එක්ක යන්න නිතර සෙට් වුනා. වයස 60කට කිට්ටු කරල ඇති මයෙ හිතේ. ෆුල් ඔෆිස් කිට් එකක් ගහලා ඔ‌ෆිස් බෑග් එකකුත් අරන් යන නිසා මං මුලින් හිතුවෙ හොඳ ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් කියලා. ඒත් පස්සෙ කතා කරද්දියි දැනගත්තෙ අපේ ඔෆිස් එක ළඟම තියන ගරාජ් එකේ ටිංකරින් වැඩ තමා අංකල් කරන්නෙ කියලා. දවසක් මං වැඩ ඇරිලා යද්දි දැක්කා උදේ ෆුල් ඔෆිස් කිට් ගහලා එන අංකල් මජං ඇඳුමක් ඇඳගෙන ගරාජ් එකේ ඉන්නව!

අපේ ඔෆිස් එක තිබ්බෙ 10 කණුවෙ පාරෙන් ඇවිත් දකුණට දාලා මීටර් 10-15ක් වගේ යන්න කලින් දකුණු පැත්තෙ තිබ්බ සුදු පාට උස බිල්ඩින් එකේ. ඒක ඉස්සරහ තිබ්බ කලු පාට ලොකු ඉලෙක්ට්‍රික් ගේට්ටුව බිල්ඩිම බලාගන්න ඉන්න අංකල්ට කියලා ඇරවගෙන බයික් එක ඇතුලට දාන්, බිල්ඩින් එක පිටිපස්සෙ තිබ්බ පොඩි ගෙදර පේමන්ට් එකේ බයික් එක නවත්තලා ආයෙ ඉස්සරහට ඇවිත්, ගරාජ් එකේ නවත්තල තියන ලොකු බොස්ගෙ සුදුපාට ඩිෆෙන්ඩරේ ලස්සනින් සිත සනසාගෙන බිල්ඩිමට ඇතුලු වෙලා, ලිෆ්ට් එකේ 4 වෙනි තට්ටුවට ගිහින් 8.30 වෙද්දි ෆින්ගර් ප්‍රින්ට් එක තියලා ඔෆිස් එකට ඇවිත් බෑග් එක වැඩ කරන මේස යටට දාලා, මැශින් එකත් ඔන් වෙන්න දාලා, ටොයිලට් එකට එහෙම ගිහින් චූ පාරක් එහෙම දාලා මූණත් පොඩ්ඩක් හෝදගෙන ආයෙ මැශින් එකට ඇවිත් වැඩ පටන් අරන් තමා මගේ රැකියා ජීවිතය ආරම්භ වෙන්නෙ.

අපිට  ක්‍රියේටිව් ඩිරෙක්ටර් කියලා කෙනෙක් හිටියා අපේ වැඩ සුපර්වයිස් කරන්න. සහ ඌ තමා ප්‍රොජෙක්ට් ගෙනාවෙයි ඒවා මැනේජ් කලෙයි. පොර ගැන ඉදිරියට වෙනම ලියන්න ඔිනෙ. තව කොල්ලො 3 දෙනෙක් වැඩ කලා උන් 3 දෙනාත් එක්ක බලද්දි මං නිකන් අතදරුවෙක් වගේ සීන් එකක් තිබ්බෙ. උන් ඇත්තටම දක්ෂයි. උන් ටික වැඩ කරන විදිහ, ඉන්ඩස්ට්‍රිය ගැන අප්ඩේට් වෙන විදිහ ඇත්තටම මාරයි. ඒ කොල්ලො තුන් දෙනා එක්ක වැඩ කරන්න ලැබිච්ච එක මගෙ ජීවිතේ මට ලැබුනු හොඳම අත්දැකීම් වලින් එකක්.. 

 කොහොමහරි ටස්කර් එක ඇතුලෙ අපි කරපු ප්‍රොජෙක්ට් සහ මම කලින් කියපු ක්‍රියේටිව් ඩිරෙක්ටර් නිසා අපිට ඇතිවුන ප්‍රශ්න ගැන මෙතන ලියන එක මේ වෙලාවෙ ගැලපෙන්නෙ නෑ කියල මම හිතනව. කොහොම උනත් පොර එක්ක මට තිබ්බ ගණුදෙනුව ගැන ලියන්න ඔිනෙ මොකද නැත්තං මේ පෝස්ට් එකේ අගමුලක් ගලපන්න අමාරු වෙන නිසා.

ටස්කර් එකට මම ජොයින් වෙන්නෙ මහරාජා එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරද්දි අපිට ග්‍රැෆික්ස්/ඇනිමේෂන්/කැමරා මොඩියුල් උගන්නන්න ආපු ලෙක්චරර් ගෙ ආරාධනාවකට. මේ  ලෙක්චරර්ම තමා මචං ටස්කර් එකේ අපිට හිටපු ක්‍රියේටිව් ඩිරෙක්ටර් වුනේ. මහරාජා එකේ ලෙක් එන්න දවස් 2ක් නිවාඩු දෙන්නත් එකඟ වුනා. මම මචං මේක හොඳ අවස්ථාවක් විදිහට දැක්කා මොකද මම මේ ලෙක්චරර් ගැන පට්ට භක්තියකින් හිටියෙ. ඒ වගේම 3ඩී ආටිස්ට් කෙනෙක් විදිහට VFX industry එක ඇතුලෙ කලින් වැඩ කරල තිබ්බ නැති නිසා මට VFX පැත්ත ඉගෙනගන්නත් මේක හොඳ අවස්ථාවක් වේවි කියලා මම හිතුවා. ඒක ඇත්තටම එහෙම්මම වුනා. හොඳ ප්‍රොජෙක්ට් තිබ්බා,අපි හොඳට වැඩ කරගෙන ගියා. 

හැබැයි ටස්කර් එකට යද්දිම මම දැනන් හිටියා එක දෙයක්. ඒ තමා ටස්කර් එක ඇතුලෙ මට ලියන්න තියෙන්නෙ උපරිම වුනොත් මාස 10ක විතර පොඩි පරිච්ඡේදයක් කියලා. ඒකට හේතුව වුනේ ටස්කර් එකට එන්න කියලා ඔය ක්‍රියේටිව් ඩිරෙක්ටර් මට ආරාධනා කරන්නත් මාස දෙක තුනකට කලින් මගේ තිබ්බ ලොකු හීනයක් වෙනුවෙන් මම ලොකූ මෙහෙයුමක් පටන් අරන් තිබ්බේ. ඒ මෙහෙයුම සෑහෙන්න රහසිගත මෙහෙයුමක් වුනා. ඒ මෙහෙයුමේ 75%ක් විතර ඉවර වෙනකන් අඩු ගානෙ මම ගෙදර අයටවත් ඒ ගැන කියල තිබුනෙ නෑ.

මේක ඇත්තටම එක අතකින් මහ ආත්මාර්තකාමී කතාවක් මචං. ඒත් මට ඒකට කරන්න දෙයක් නැහැ. මොකද මගේ ලොකු මෙහෙයුමේ ඇතුලෙ තිබ්බ එක objective එකක් තමා මේ පොඩි කාලෙ ඇතුලත පුලුවන් තරං 3ඩී ආටිස්ට් කෙනෙක් විදිහට මගෙ ස්කිල් එක සහ එක්ස්පීරියන්ස් එක වැඩ කරගන්නෙක. සෑහෙන්න අසාර්ථක ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙච්ච මට ඒක තනියෙන් කරගන්න විදිහක් තිබ්බෙ නෑ. ඒ නිසා professionaly වැඩ කරන තැනක onsite වැඩ කරන්න ලැබිච්ච එක මට ඒ objective එක සම්පූර්ණ කරන්න ලැබුනු අවස්ථාවක්. මම විශ්වාස කරනවා මචං මම ටස්කර් එක ඇතුලෙ මගේ උපරිමේ දුන්නා කියලා. මීට කලින් වැඩ කරපු තැන් දෙකේ වුනත් මම ඒ විදිහටම උපරිමේ දුන්නා. ටස්කර් එකට මං ඊටත් වඩා දුන්නා කියලයි හිතෙන්නෙ. මොකද මට මතකයි VAEG එකේ ඉන්න කාලෙ සංජය අයියා ඇනිමේෂන් වැඩ එහෙම දෙද්දි මං ටිකක් පස්ස ගැහුවා. හැබැයි ටස්කර් එක ඇතුලෙදි මම කිසිම දේකට බෑ කිවුවෙ නෑ. කරන්න බැරිම දේවල් වුනත් උත්සාහ කරලා මිසක් අතෑරියෙත් නෑ. දීපු සැලරියට ඒ වගේ දෙගුණෙක වටිනාකමක වැඩ කරන්න මං හැමවෙලේම ට්‍රයි කලා. ටස්කර් එකේ ලොකු සර් මට දීපු ඒ අවස්ථාවට මම සාධාරණයක් කලා කියලා මම විශ්වාස කරනවා මචං...

2025 පෙබරවාරි මුල මගේ ලොකු මෙහෙයුමේ ලොකු කඩයිමක් පැන්නා මචං. ඒකෙන් තමා මට හරියටම ටස්කර් එකෙන් අයින් වෙන්න ඔිනෙ දවස ප්ලෑන් කරන්න පුලුවන් වුනේ. 2025 ජුනි මාසෙන් පස්සෙ ටස්කර් එකට ගෞරවාන්විත සමුදීමක් එක්ක කොල්ලො ටිකටත් හොඳ පාටියක් දීලා අයින් වෙලා යන්න තමා මං හිතුවෙ. හැබැයි මෙහෙයුමේ රහසිගතබව ඉතා වැදගත් නිසා මම අයින් වෙනවා කියල කට්ටියට එක්ස්පෝස් කලෙත් 2025 මැයි මාසෙ අග මගෙ resignation එක දෙන කොට. 

හැබැයි මේ කාලෙ වෙද්දි අපේ ක්‍රියේටිව් ඩිරෙක්ටර්ගෙ හැසිරීම සහ ස්ටූඩියෝ එකට ආව ප්‍රොජෙක්ට් මැනේජ් වෙච්ච විදිහ එක්ක අපිට සෑහෙන්න ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තිබ්බා. මම මැයි වල resignation දුන්නට පස්සෙ තත්ත්වෙ තවත් දරුණු වෙන්න ගත්තා කියලයි මට හිතෙන්නෙ. මේ හැමදේම එක්ක ක්‍රියේටිව් ඩිරෙක්ටර් මට එල්ල කරපු බලපෑම එක්ක මට තේරුනා මේ විදිහට ගියොත් මේක මගේ ලොකු මෙහෙයුමට බරපතල ප්‍රශ්නයක් වෙනවා කියලා. මොකද ඒ මෙහෙයුමේදි මම මානසිකව ගොඩක් හොඳ ලෙවල් එකක ඉන්න ඔිනෙ. ඒ වගේම අර ඩෑල් එකට තිබ්බ මූලග්ගාය එක්ක මගෙ මෙහෙයුම සම්පූර්ණ කඩාකප්පල් කරන්න පුලුවන් වැඩක් කරන්න උත්සාහ කරන්නත් බැරි නෑ. ඒ හැමදේමත් එක්ක මම තීරණය කලා අන්තිම දවස ජුනි 31 වුනත් ඊට කලින් ටස්කර් එකෙන් මාරු වෙන්න.

මට ඒ සතිය ඇතුලෙ කරන්න තිබ්බ අන්තිම වැඩේ වුනේ එක්තරා ලොගෝ ඇනිමේෂන් එකක් කරන්න. ඒ වැඩේ කරලා ජුනි 17 වෙනි අඟහරුවාදා ඔිෆ් වෙලා ගෙදර ගියෙ ආයෙ ටස්කර් එක පැත්ත පලාතෙ නොඑන්නමයි. ක්‍රියේටිව් ඩිරෙක්ටර් එක්ක ඇරගෙන තිබ්බ ඇරිල්ල නිසා මම ආයෙ එන්නෙ නෑ කියලා කාටවත් කියන්න මට පුලුවන්කමක් තිබ්බෙ නෑ. 

එහෙම ගිහිල්ලා දවස් දෙක තුනක් ෆෝන් ඔි‌ෆ් කරන් සද්ද නැතුව හිටියා. ඒක ප්‍රොෆෙෂනලි වැඩ කරපු තැනක් වුනත් මම ක්‍රියේටිව් ඩිරෙක්ටර්ගෙ කටවචනෙ ආරාධනාවට වැඩට ආව නිසා මං කන්ට්‍රැක්ට් මොකුත් අත්සන් කරල තිබ්බෙ නෑ. resignation letter එකේ පවා මම දාල තිබ්බෙ බොරු එඩ්‍රස් එකක්. රැකියාවක තියන වෘත්තීයමය ගුණාංග පැත්තෙන් හෙන අපත වැඩ ටිකක් මම කරලා තිබ්බත් ඒ දවස් වල තිබ්බ තත්වෙ එක්ක මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ මචං.

ඒ ජුනි 17 වෙනි අඟහරුවාදා ටස්කර් එක දාලා එද්දි මං කල්පනා කලේ ඒ අයින් වෙලා යන්නෙ පොඩි කාලෙකට මට සෑහෙන්න ජීවිතේ වටින අත්දැකීම් දීපු තැනක් නේද කියලා. ටස්කර් එකේදි තමා ඇත්තටම ජොබ් එකකට යනවා කියන අත්දැකීම මම වින්ඳෙ. ඒ අත්දැකීම් මම මීට කලින් ලියපු රැකියාව සමග මම පෝස්ට් එකේ ලියලා තියනවා.

ගෙදරින් ගේන කෑම අපි එකතු වෙලා එකට කාපු හැටි මට තාම මතකයි. මම ඒ වුනාට ගොඩක් දවස්වලට කඩෙන් තමා කෑම ගන්නෙ. ඔෆිස් එක ඉස්සරහ තිබ්බා ගමේ කඩේ කියලා කෑම කඩයක්. ඔෆිස් එකේ හැමෝටම අනුව ඒක තමා පැත්තටම තියන ජරාව කෑම කඩේ. ඒ වුනාට ඒකෙ රයිස් ඇන්ඩ් කරි එකේ මට නං කවදාවත් අඩුපාඩුවක් තිබ්බෙ නෑ. 

මං බයික් පදින එක, වාහනයක් එලෝන එක සෑහෙන්න එංජෝයි කරන මනුස්සයෙක් නිසා ප්ලැටිනා එකේ වැඩට ගිය ගමන මම හැමදාම සෑහෙන්න එංජෝයි කලා මචං. හොරණ කොළඹ පාරෙ පොඩි වලවල් ගානෙ ඉඳන්, ට්‍රැෆික් ලයිට් එක වැඩ කරන ටයිමින්, පොලීසිය ඉන්න තැන් හැම එකක්ම මට නූලට කටපාඩම් සීන් එකක් තිබ්බෙ. මං හරි ආසයි මචං වැස්සෙ බයික් එක පදින්න. වැඩ ඉවර වෙලා යද්දි වැස්සක් සෙට් වුනාම මට පට්ට ආතල් ඒ දවස් වල. මට මතකයි නා කපන වැස්සෙ හෙල්මට් එකේ වයිසරෙන් පාර හරියට පේන්නැතිව තියෙද්දි පවා මම නවත්තන්නැතුව ගෙදර එනවා.

ටස්කර් එකේ වැඩට යන කාලෙ තමා මට මගේ මගේ මෙලෝ රහක් නැති මාස 3 ප්‍රේමය තිබ්බෙ. ඔය ගංගාරාම පාරෙන් ගිහින් මොරටුව හරහා පානදුරට යන්න පුලුවන්. සෙනසුරාදා හාෆ් ඩේ වැඩ ඉවරවෙලා මම පානදුර යනවා ඒකිව බලන්න ඒ කාලෙ. එකපාරක් ඔහොම යද්දි මම ගිහින් තව බයික් එකක ඇන්නා ගංගාරාම පාරෙදි මගෙ එකේ බ්රේක් නැතුව ගිහින්. මොකද ප්ලැටිනා එකේ බ්රේක් අඩුයි. කොහොමත් මම කවදාවත් බ්රේක් තියන වාහනයක් පැදපු එකෙක් නෙවෙයි. GP100 එකෙත් බ්රේක් තිබ්බෙ නෑ ලාන්සරේ බ්රේක් තිබ්බෙත් නෑ. එදා වෙලාවට වැඩි වේගෙන් නොගිය නිසා සහ අනිත් බයික් එකටවත් ආපු එකාටවත් ආපදාවක් නොවිච්ච නිසා සෑහෙන්න කුණුහරුප ටිකක් අහලා පොලොවෙ පස් කාලා වැඳ වැටිලා සමාව ඉල්ලගෙන මාරු වෙලා එන්න පුලුවන් වුනා.

මේ පෝස්ට් එක කියවන කෙනෙක්ට සමහර විට ක්‍රින්ජ් හැඟීමක් එන්න පුලුවන් ජොබ් එකක් කරපු ඔෆිස් එකක් ගැන මෙච්චර කියවන්න පුලුවන්ද කියලා. ඒක මෙහෙමයි මචං. ටස්කර් එකේ වැඩ කරන කාලෙ මට සෑහෙන්න විශේෂිත වුනා මොකද මගේ තිබ්බ ලොකු මෙහෙයුමත් එක්ක ඒ ගෙව්වෙ ලංකාවෙ හුළඟ වදින අවසාන කාලෙ නිසා. අනිත් එක ටස්කර් එකේ ඉද්දි මම තේරුම් ගත්ත දෙයක් තමා ඔෆිස් කිට් ගහගෙන වැඩට ගිහින් කරන 8-5 රස්සා මට හරියන්නෑ කියනෙක. ජීවිතේ හැමදාම independant artist කෙනෙක් විදිහට ඉස්සරහට යන එක ගැන හිතන්න ගත්තෙ ඒ කාලෙ නිසා. මම දන්නෙ නැහැ අනාගතයෙ මම ආයෙ ජොබ් එකකට යයිද කියලා. ඒත් ලංකාව ඇතුලෙ ආයෙ මම කවදාවත් ජොබ් එකක් කරන එකක් නැහැ.

මම එදා බයික් එක ගේට්ටුවෙන් එලියට දාලා යන්න කලින් එකෙක්ට කිවුවා "මම උඹලට දෙනවා කිවුව පාටිය අනිවාර්යයෙන් දෙනවා" කියලා. ඌ ඒකට හා හා කිවුවට මං මේ යන්නෙ ආයෙ වැඩට නොඑන්න කියල ඌට  ඒ වෙලාවෙ තේරුනේ නෑ . 

උන්ට වෙච්ච ඒ පොරොන්දුව ඉටු කරන්න මට ඊට පස්සෙ අවස්ථාවක් ලැබුනෙ නෑ.... හැබැයි මං තාම ඒක අමතක කරලත් නෑ...  

 ඔය ඔක්කොටම වඩා මට තියන අවුල අර මං බයික් එකේ දාන් ආව අංකල්ට මං ආයෙ එන්නෙ නෑ කියලා යන්න බැරි වුන එක. අපි ඒ බයික් එකේ ගිය කිලෝමීටර් එක හමාරෙ පොඩි දුරට සෑහෙන්න දේවල් කතා කලා. ලාන්සරේ ටිංකරින් වැඩ ටිකත් අංකල් මට කරලා දෙන්න පොරොන්දු වෙලා තිබ්බෙ...

 

කොටි මල්ලි (Snow Kotiya)
2026.07.19

Saturday, July 18, 2026

RS මෙහෙයුම - පළමු කොටස

"සොරි මැඩම් මට ගෙදර පර්සනල් ප්‍රශ්න වගයක් තියනවා ඒ නිසා මම ස්කොලර් එක කැන්සල් කරනවා"

2024 වසරේ මාර්තු මස මැද භාගයේ දිනක විද්‍යුත් මාධ්‍ය පිලිබඳ ඩිප්ලෝමාව හදාරන කොළඹ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ සිට මාර්ග අංක 120 හොරණ කොළඹ බස් රථයේ නැඟී නිවස බලාඑමින් සිටියදි ජංගම දුරකථනයට පැමිණි ඇමතුමකට ඔහු එලෙස පිළිතුරු දුන්නේය.

ඔහු රුසියානු රජයේ එම ශිෂ්‍යත්වයට අයදුම් කලේ මීට මාස 4කට පමණ පෙර එනම් 2023 වසරේදීය. නමුත් ඔහුට රට යෑමට උවමානවක් තිබුනේ නැත. අහම්බෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දුටු දැන්වීමකට අනුව යමින් ඔහු ශිෂ්‍යත්වයට අයදුම් කලේ නිකමට වගේය. අනෙක් අතට අයදුම් කලත් ශිෂ්‍යත්වයෙන් ලැබෙන්නේ විශ්වවිද්‍යාල ගාස්තු පමණක් නිසා අනෙකුත් ගුවන් ටිකට්පත ඇතුලු අනෙකුත් ලියකියවිලි සෑදීම සඳහා අවශ්‍ය මුදල් ඔහු සතුවවත්, පවුල සතුවවත් තිබුනේද නැත. අනෙක් අතට පෞද්ගලික  අධ්‍යාපන ආයතනයේදී ඉගෙනීමට පටන් ගත් විද්‍යුත් මාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාව සහ එහිදී හමුවූ මිතුරන් ඔහුට ප්‍රසන්න හැඟීමක් ඇති කල අතර එය අතහැරීමට ඔහුට කැමැත්තක්ද නොවීය. කෙසේ වෙතත් "ස්කොලර් එක කැන්සල් කරනවා" කියලා කිවුවාට පසු "මොනවා වුනත් අපරාදේ" යන හැඟීමද ඔහුගේ සිත තුල පහල වූයේය. එබැවින් දිග සුසුමක් හෙලා සියල්ල අතහරිනලද සුලු හැඟීමකින් සිත පුරවාගත් ඔහු නැවතත් ජංගම දුරකථනයේ වාදනය වෙමින් පැවති ගීතයට සවන් දෙන්නට පටන් ගත්තේය.

කාලය ගතවී ගියේය. විද්‍යුත් මාධ්‍ය ඩිප්ලෝමාව නරක නැත. ඔහු හොඳින් වැඩකටයුතු කරගෙන ගියේය. හමුවූ මිතුරු මිතුරියන්ද ඉතා ප්‍රියමනාපය. සාමාන්‍යයෙන් ඔහු මිතුරන් ආශ්‍රයට වැඩි කැමැත්තක් නැති අයෙකු වුනත් ඔවුන් ඔහුට මනාව ගැලපුනේය. මෙම විද්‍යුත් මාධ්‍ය පාඨමාලාව පවත්වන පෞද්ගලික අධ්‍යාපන ආයතනය රටේ ප්‍රධාන රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාවක් හා අනුබද්ධ ආයතනයක් වූ බැවින් එම නාලිකාවේ විකාශන ආයතන වලදී පුහුණුව සහ ඉගැන්වීම් කරන ලද අතර එම පාඩම් සහ පුහුණූව ඔහුට ඉතා ආශ්වාදජනක විය.

කෙසේ වෙතත් වසරේ මැද භාගය වන විට ඔහුට නැවතත් අතෘප්තිකාර අසහනය දැනෙන්නට පටන් ගත්තේය. එයට හේතු කිහිපයක්ම තිබිණ. පළමුවැන්න වූයේ ඔහු ත්‍රිමාණ ආකෘතිකරණ සහ සජීවීකරණ ක්ෂේත්‍රයේ වැඩ කල ත්‍රිමාණ නිර්මාණකරුවෙකු වූ බැවින්, ඔහුට අවශ්‍යව තිබුනේ එම ක්ෂේත්‍රයන් හරහා වැඩිදුර ඉගෙනීම වුවත්, විද්‍යුත් මාධ්‍ය පාඨමාලාව විශාල වශයෙන් රූපවාහිනී වැඩසටහන් නිර්මාණකරණය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයන් ඔස්සේ ඉගෙැන්වීම් කටයුතු කරගෙන යාමයි. මුල් කාලයේ පාඨමාලාව ඔහුගේ සිත තදින් ඇද බැඳ ගෙන තිබූ නමුත් ක්‍රමයෙන් "මේ කෝස් එක මට මදි" කියන හැඟීම ඔහුගේ සිතට ඇතුල්වීමට පටන්ගෙන තිබුනේය. නමුත් වඩාත්ම වැදගත් හේතුව වූයේ එය නොවේ.

මීටත් වසර එකහමාරකට පමණ පෙර තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය සමත්වී විශ්ව විද්‍යාල ප්‍රවේශය අයදුම් කරන මොහොතේ ඔහු එතරම් වාසනාවන්ත වූයේ නැත. 

විශ්වවිද්‍යාල අයදුම්පත එනම් කැම්පස් පොත යනුවෙන් හැඳින්වෙන අයදුම්පත පිරවීමේදී ත්‍රිමාණ නිර්මාණකරණ ක්ෂේත්‍රය ඔස්සේ ඉදිරියට ඉගෙනගැනීම සඳහා ඔහුට තිබූ එකම තෝරාගැනීම වූයේ මොරටුව විශ්වවිද්‍යාලයේ නිර්මාණවේදය පාඨමාලාවයි. Z score සුදුසුකම සපුරා තිබූ නමුත් අවාසනාවන්ත ලෙස එම පාඨමාලාවට අදාල යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී තිබූ බැවින් එම පාඨමාලාව සඳහා ඔහු තේරීපත්වූයේ නැත. කැම්පස් පොත පිරවීමේදී සාමානයෙන් සිසුන් පොදුවේ කරන, Z score එක තිබූ පලියට අවශ්‍ය නැති පාඨමාලා පවා මනාප පාඨමාලා ලැයිස්තුවට ඇතුලත් කිරීමේ වරද ඔහුද සිදුකල බැවින් අවසානයේදී ඔහු තේරීපත්වූයේ වයඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදී උපාධි පාඨමාලාවටය. 

වයඹ විශ්වවිද්‍යාලයට තේරීපත් වූ මොහොතේ ඔහු ඒ ගැන වැඩිදුර සිතුවේ නැත. ඉංජිනේරු තාක්ෂණවේදය හොඳ උපාධියකි. ඔහුට තිබූ ගැටලුව විශ්වවිද්‍යාලය දුර බැහැර තිබීම සහ එය නවකවදයේ තෝතැන්නක් බවට පත්වී තිබීම පමණි. කෙසේ වෙතත් ඔහු මුල් කාලයේ නැවත නැවතත් වැඩිදුර සිතුවේ නැත. ඔහු ඒ ගැන නැවත සිතන්නට පටන් ගත්තේ වයඹ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිය සඳහා ගිය දවසේ සිටය.

වයඹ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිය සඳහා 2023 වසරේ මාර්තු මස අග භාගයේ දිනක සිය පියාණන් සමග ප්ලැටිනා යතුරු පැදියේ නැගී පැය 4කට ආසන්න වෙහෙසකර ගමනකින් හොරණ සිට කුලියාපිටිය දක්වා ගිය ගමන තාමත් ඔහුට ඡායාවක් මෙන් මතකය. ජීවිතයේ විශේෂ තැන් සාමාන්‍යයෙන් ඔහු හොඳින්ට මතක තිබුනත් වයඹ විශ්වවිද්‍යාලය හා බැඳුනු සිදුවීම් ඔහු ආයාසයෙන් හෝ අමතක කිරීමට උත්සාහ කලේය. ඔහු වයඹ විශ්වවිද්‍යාලයට ගිය පළමු සහ අවසාන දවස ඒ දවසය. මුල් දිනයේ සිටම වයඹ විශ්වවිද්‍යාලය ඔහුගේ සිත ඇදගත්තේ නැත. ලියාපදිංචියෙන් පසුව විශ්වවිද්‍යාලයේ online orientation පටන්ගත් අතර ඒත් සමගම ඔහුට ඉංජිනේරු තාක්ෂණවේදී පාඨමාලාවේ විෂය කරුණුද ඉතා ඉක්මනින් එපාවීමට පටන් ගත්තේය. මේ ඔහු බලාපොරොත්තු වූ දෙය නොවේ. සාමාන්‍ය පෙළ කරන අවධියේ සිටම ඔහුට ගණිතය යනු තේරුම්ගැනීමට ඉතා අපහසු විෂයක් බව ඔහුට වැටහීමට පටන්ගෙන තිබූ නමුත් සා.පෙළ ගණිතය විශිෂ්ට ප්‍රතිපලයක් ලබාගත් බැවින් ඔහු ඒ පිළිබඳ නැවතත් සිතුවේ නැත. උසස් පෙළ විෂය ධාරාවන් තෝරාගැනීමේදීද මුලින් ඔහු භෞතික විද්‍යා විෂය ධාරාවේ සිට ඉතා ඉක්මනින් තාක්ෂණවේදය විෂය ධාරාවට මාරුවූයේද එම හේතුව මතය. නමුත් දැන් නැවතත් ඔහු පැමිණ ඇත්තේ එම තැනටමය. වෙනස ඇත්තේ මෙහිදී ඔහුට නැවතත් මාරු වීම් නොමැත.

ඒත් සමගම ත්‍රිමාණ නිර්මාණ ක්ෂේත්‍රය තුල මේ දක්වා ඔහු ගොඩනඟාගෙන තිබූ දියුණුවද මෙම උපාධියත් සමග බිඳවැටීගෙන යන අයුරු එම මාස කිහිපය තුළ ඔහු ඇස්පනාපිටම දුටුවේය. ඒ දිනවල ඔහු රැකියාව කලේ රටේ ප්‍රධාන පෙලේ visual art ආයතනයක වන අතර එහි වැඩකිරීමට ඔහු සිහින මැවුවේ වසර 3ක පමණ සිටය. නමුත් අවාසනාවන්ත ලෙස විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ වූ බැවින් එහි රැකියාවෙන් ඔහුට ඉවත්වීමට සිදුවිය. බෝඩිං කාමරයේ පරිගණකය තබාගෙන විශ්වවිද්‍යාල වේලාවෙන් පසු නිර්මාණ කටයුතු වල නිරතවීමට ඔහු මුලින් සිතාගෙන සිටියත් උපාධියේ ඇති course work සමග එය කිරීමට නොහැකිබවත් ඔහුට මනාව පැහැදිලි විය. මේ හැමදෙයකින්ම ඔහුට ඔහුවම නැතිවේගෙන යන බව ඔහුට දැනෙන්නට විය. ජීවිතයේ අතිශය දුෂ්කර වූ තීරණයක් ගැනීමට සිදුවූයේ මේ මොහොතේදීය.

2023 ජුනි මස මුලදී වයඹ විශ්වවිද්‍යාලයට නොගිහින් සිටීමට ඔහු තීරණය කලේය. පවුලේ සැමගේ බලාපොරොත්තු වලට මරු පහරක් එල්ල කල මෙම තීරණය ඔහුගේ ජීවිතයේ දුෂ්කරම කාලපරිච්ඡේදයක් ආරම්භ කලේය. ඔහුගේ තීරණය වැඩියෙන්ම බලපෑමේ ඔහුගේ මවටය. ඔහු රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගැනු දැකීම ඇගේ එකම සිහිනය වී තිබිණ. කෙසේ වෙතත් මවගේ සිහිනය සැබෑ කිරීම සඳහා තමන්ගේ සිහින මරා දමමින් වයඹ විශ්වවිද්‍යාලයේ තමන් අකමැති උපාධියක් කිරීමට යාමට තරම් ඔහුගේ සිත පරාර්ථකාමී නොවීය. 

 වයඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදී උපාධියට පයින් ගසා නැවත 3D වලට පැමිණීමෙන් පසු ජීවිතය ඔහුගේ ජීවිතයේ අසීරුතම කාල පරිච්ඡේදයක් සනිටුහන් කලේය. ඉදිරියට යෑමට විවර වී ඇති කිසිම දොරක් තිබුනේ නැත. සෑම දෙයම කනපිට ගැසීමට පටන්ගත්තේය. පරිගණකය ලෙඩ විය. ආර්ථිකය නැති බංගස්ථාන විය. අවට සිටියාවුන්ගේ කුණුකතා ඔහුගේ සහ ඔහුගේ මවගේ හිස් තදින් පෑරීය. විෂයන් 3ටම ගෙවල් වලට පෞද්ගලික ගුරුවරුන් ගෙන්වා උගන්නලාත් S කටු 3 දාගන්න බැරි වෙච්ච ගොබ්බෑස්ලගේ මවුවරුන්ගෙන් පවා "A/L හොඳට පාස්වෙලත් හරියට දෙයක් කරගන්න බැරි වුනා නේද" වැන කතා සෑහෙන්න අහගන්නට සිදුවිය. ඒ අතරේ ඔහු කැම්පස් පොතේ ඔහුගේ මනාප ලැයිස්තුවේ පහල තිබූ කෝස් එකකට මාරුවක් ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සෑහෙන්න ඇපීල් යැවුවේය. බෝට්ටු එනතුරු බලාසිටියේය. නමුත් ඒ කිසිවක් සිදුවූයේ නැත. කුඩා මාකටින් ඒජන්සියක සුලු රැකියාවක් පමණක් ආර්ථිකමය වශයෙන් එම වකවානුවේ ඔහුට පිහිට විය.

2023 නොවැම්බර් මස 2022 ඒලෙවල් බැච් එකේ කටොෆ් මාක් පැමිණීමත් සමග බෝට්ටු සහ ඇපීල් ගැන ඔහු තැබූ බලාපොරොත්තු බිඳී ගියේය. ජීවිතයේ බලාපොරොත්තු 0ටම ඇද වැටීම යනු කුමක්දැයි ඔහුට තේරුම් ගියේ එවිටය. සියලු උත්සාහයන් වතුරේ ගොස් ඇත. ඉදිරියට යාමට කිසිම මඟක් පේන්නේද නැත. අනාගතයේ අවිනිශ්චිතබව නම් ගණාන්ධකාරයෙන් ඔහුගේ ජීවිතය පිරී ඉතිරී ගියේය.

මේ අතර රටේ ප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවක් හා අනුබද්ධ අධ්‍යාපන ආයතනයක් මගින් මෙහයවනු ලබන විද්‍යුත් මාධ්‍ය පිළිබඳ පාඨමාලාවකට ඇතුලත්වීමට ඔහුට හැකියාව ලැබෙන්නේ එකී අවිචිශ්චිත අනාගතය නිශ්චිත අරමුණකට යොමු කරවීමේ බලාපොරොත්තුවක ඡායාවක් සිතේ දල්වමිනි. ඒ අතරේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළකර තිබූ දැන්වීමකින් රුසියානු රජයේ ශිෂ්‍යත්වයකටද ඔහු නිකමට අයදුම් කලේය. එයට ඔහු "නිකමට" ඇප්ලයි කලේ වැලේ වැල් නොමැති මොහොතේ අහක යන පඳුරු වලට පවා ඊතල විදීමේ පුරුද්දටය. කෙසේ වෙතත් 2023 වසර අවසාන කාලයේ මාකටින් ඒජන්සියේ රැකියාව සහ තවත් ෆ්‍රීලාන්ස් වැඩ සමග ආර්ථික ප්‍රශ්න දශම ගාණකින් සමනය වූ අතර 3ඩී වැඩ සඳහා නව ජවයක් ලබා දෙමින් නව පරිගණකයක් මිලදී ගැනීමටද ඔහුට අවස්ථාව හිමිවිය. ඒ සියල්ලත් සමින් අඩියටම වැටී තිබූ තම අනාගතය නැවත පඩියෙන් පඩිය ගොඩනැගීමේ ඒකායන අරමුණත්, කිසිදා අත්නොහැරි සුබවාදී බලාපොරොත්තුවේ ගිනි දැල්ලත් සමග 2024 නව වසර ආරම්භ විය.

 

මතු සම්බන්ධයි...! 
කොටි මල්ලි (Snow Kotiya)


Sunday, July 12, 2026

මේකත් වෙනස් වෙනවා...ඒ වගේම... Regret කරන්නෙපා...

 උඹට හිතෙන්නැද්ද අපි නිසාන් ජීටීආර් ගැන හිතනව වැඩියි කියලා.

ඉතින් හිතන්න වෙන දේකුත් නෑනෙ බං... මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන්නෙ එතන විතරයි...

උඹට ට්‍රැක පැනලා හොඳටම...

මං දන්නවා බං... ඒත් මං ආසයි මේ පැනපු ට්‍රැකේම දිගටම ඉන්න.. 

ඔය ඉන්න විදිහෙන් උඹ තව අගාදෙටමයි යන්නෙ. ගෙදරින් එලියට බහින්නෙ නෑ. කෙල්ලෙක් ටෝක් කරන්නෙ නෑ. වෙන යාලුවෙක් එක්කවත් හම්බෙලා කතා කර කර ඉන්නවත් යන්නෙ නෑ. හැමදාම ඇතුලට වෙලා කම්පියුටරේ බදාගෙනම හිටපන්.

මං ඉන්න තත්වෙ උඹට තේරෙන්නෑ බං. මට ආස දේවල් ගන්න මට මෙහෙම ඉඳලත් මදි. ඒ හැමදේටම කලින් මම ජීවත් වෙලා ඉන්න ඔිනෙ. ඒක කරන්න මට අනිත් එවුන් ජීවත් වෙන සාමාන්‍ය විදිහට ඉඳල හරියන්නෙ නෑ... අඩු ගානෙ එදිනෙදා ජීවත් වෙන්න මම ගහන ගේම් එක ගැනවත් උඹට ‌තේරෙන්නෙ නෑ. අවුරුදු ගාණක් ගොඩනගපුවා තත්පරෙන් නැතිවෙද්දි ආයෙ ඒවා පඩියෙන් පඩිය තියලා තිබ්බට වඩා හොඳට ගොඩ නගන එක කොච්චර අමාරුද කියල උඹට තේරෙන්නෙ නෑ. 
මට මේ ඉන්න විදිහට තනියෙන් ජීවත් වෙන එකත් කොච්චර අමාරුද කියල උඹට හිතාගන්නවත් බෑ. 

මේ ජීවිතේ මට හරි මහන්සියි මචං. මට මං ඉපදුන විදිහ ගැන තරහක් නෑ. ඒත් මිනිස්සුන්ට දේවල් ලැබෙන විදිහ ගැන හිතලා බලද්දි මට දෙයක් ලබාගන්න ඔිනෙ වුනාම ඒක මට ලැබෙන්නෙ කොච්චර අමාරුවෙන්ද කියලා කල්පනා වෙද්දි මට මං ගැනම හෙන දුකයි මචං. ඒත් මොනවා කරන්නද මචං... අපිට කොච්චර අමාරු වුනත්, අපිට ලැබිල තියන ජීවිතේ අපිට අතාරින්න බෑ. අපිට වඩා අනන්ත දුක් විඳින මිනිස්සු ඉන්නවා මේ ලෝකෙ. අඩු ගානෙ ඉන්න වහලක් කන්න බොන්න යමක් මොනවා හරි උනොත් පොඩි හරි උදවුවක් කරන්න නෑයෙක් දෙන්නෙක් හරි ඉන්නවා. ඒ නිසා ජීවිතේ කොච්චර අමාරු වුනත්, ඒ අමාරුකම් ගැන මං දිගට හිතන්නෙ නෑ.

ජීවිතේ සරලයි මචං... මේ හැමදේම වෙනස් වෙනවා... ඒක තමා යථාර්තෙ... මේ අමාරුකම් හැමදාම තියෙන්නෙ නෑ...

එදා රංදිමයා වැදගත් කතාවක් කිවුවා Regret කරන්නෙපා... ඒක තමා මේ ලෝකෙ වැඩකටම නැති දේ කියල..

ඌ කිවුව කතාව ඇත්ත. මගෙ ජීවිතේ දැන් තියරි 2යි. 

මේකත් වෙනස් වෙනවා...ඒ වගේම... පසුතැවිලි වෙන්නෙ නෑ, මොන දේ සිද්ද වුනත්... 

Monday, June 29, 2026

මම 9 වසරෙදි පාතාල කල්ලි නායකයෙක් වුන හැටි සහ කම්පියුටර් ගේම්ස් ගැන මගේ චින්තනය

ඔයා computer games, mobile games වලට ආස කෙනෙක් නං අනිවාර්යයෙන්  clash of clans ගේම් එක ප්ලේ කරල හෝ අහල දැකලා හෝ ඇති. 

මීට අවුරුදු ගාණකට කලින් මම 9 වසරෙ ඉද්දි clash of clans ගහන එක නවත්තලා තිබ්බ බේස් එකත් විකුණලා ගේම් එක නැවැත්තුවෙ ඒ කාලෙ මම ඒකට ඇබ්බැහි වෙලා හිටපු නිසා. ගේම් එකට ඇබ්බැහි වුනේ මම වුනාට මට තරහ තිබ්බෙ ගේම් එක ගැන. මං සෑහෙන්න ඒ තරහ පිට කරල තියනව 2016-2017 කාලෙ ලියපු බ්ලොග් පෝස්ට් වල :D දැන් කල්පනා කරල බැලුවම ඒකෙ වැරැද්දකුත් නෑ. ඒ කාලෙ අවුරුදු 13-14 අහිංසක පොඩි ළමයි අපි. ඒ කාලෙට දේවල් හිතෙන්නෙ ඒ විදිහට. මේ පෝස්ට් එක ලියන්න මතක් වුනේ ඒ කාලෙ එක පෝස්ට් එකක මම ලියලා තිබ්බා ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගහන එවුන්ට ඇ‌ඬෙන්න ලියනවා කියලා. කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙලා ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් සහ කම්පියුටර් ගේම් ගැන මගේ දැන් චින්තනය ගැන ලියන්නයි මේ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ.

 


ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් එහෙමත් නැත්තං COC මම දෙවනි පාරට ප්ලේ කරන්න පටන් ගන්නෙ ඒලෙවලුත් ඉවර වෙලා සෑහෙන කාලෙකට පස්සෙ. මං හිතන්නෙ 2023-2024 කාලෙ වෙන්න ඔිනෙ. මේ කාලෙ වෙද්දි ගේම් කියන්නෙ මට වචනයක් විතරක් ගානට වැටිච්ච දෙයක්. පොඩි කාලෙ වැඩිපුරම ඔිනෙ වෙච්ච දේවල් ලොකු උනාම එපා වෙනවනෙ. ඒ වගේ. කොහොම උනත් මට ආයෙ ඔික ගහන්න හිතෙන්නෙ එකක් රංදිමයා ආයෙ ගහන්න පටන් ගත්ත නිසා. ඒ වගේම ඒ කාලෙ මගේ ෆ්‍රී ටයිම් එක ගෙවාගන්න ආතල් එකකුත් තියන, හිතන්නත් දෙයක් තියන දෙයක් මම හොය හොය හිටියා. ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් කියන්නෙ ආතල් සියල්ල පැත්තකින් තිබ්බත්, මගේ මතේ අනුව දැනට තියන හොඳ strategic game එකක්.

 COC ආයෙ පටන් ගත්තට පස්සෙ රංදිමයයි මායි ආතල් පැත්තක තියලා ස්ට්‍රැටජික් පැත්තෙන් හිතලා ගේම් එක ප්ලේ කරන්න පටන් ගත්තා. අපි දෙන්නා ඒ කාලෙ ඉඳන්ම ජීවිතේ ගැන ඉගෙනගන්න ගමනෙදි COC ගේම් එක අපිට හොඳ ප්‍රැක්ටිස් එකක් දුන්න ගේම් එකක් වුනා. පොඩි කාලෙ අපිට තිබ්බෙ ටවුන්හෝල් අප්‌ කර කර යන පිස්සුවක්. ඉක්මනින් ලොකු ටෲප් අරන්, ලොකු බේස් එකක් හදන පිස්සුවක්. බේස් එක මැක්ස් අප්ග්‍රේඩඩ්ද නැද්ද කියනෙක අදාල වුනේ නෑ. පොඩි කාලෙදි අපි ඔය ගේම් එකට මරාගත්තෙ නැති එක විතරයි. ඒ තරං ලොකු පිස්සුවක් තිබ්බා අපිම ක්ලෑන් හදාගෙන war ගහපු. දැන් මෙහෙම හිටියට ඒ දවස් වල clan leader ලා, co-leaderලා වෙලා රටේ ජනාධිපතිටවත් ඇමති මණ්ඩලේටවත් තිබ්බෙ නැති උෂ්ණෙකින් සහ පුකේ අමාරුවකින් හිටියෙ අපි.

හැබැයි කාලෙත් එක්ක ඔය සියලු උෂ්ණයන් බැහැලා ගිමින් චූට්ටක් විතර වයසත් එක්ක පරිණත වෙලා මේ පාර අපි slow down එකේ ප්ලේ කරන්න ගත්තා.

අපිට ඔිනෙ වුනේ 100% මැක්ස් අප්ග්‍රේඩ් කරන්න බේස් එක හැමවෙලේම. අලුත් ආර්මි ට්‍රයි කර කර විවිද ස්ට්‍රැටජි වලින් ඇටෑක් කරන්න ඉගෙනගන්න. ලීග් වල උඩට යන්න. අපිට අපේම ක්ලෑන් හදන්න උවමනාවක් තිබ්බෙ නෑ. අපිට ඔිනෙ උනේ තියන ක්ලෑන් එකකට ජොයින් වෙලා ඒකට පක්ෂපාතීව ගමනක් යන්න. අපි දවස් ගණන් ඉවසීමෙන් හැමදේම අප්ග්‍රේඩ් කලා, ටෲප්ස්, බිල්ඩින්, ඩිෆෙන්සස් හැමදේම. ජොයින් වෙලා හිටපු ක්ලෑන් එක්ක හොඳට ක්ලෑන් war ගැහුවා, අලුත් අලුත් ස්ට්‍රැටජි යූටියුබ් එකෙන් හොයලා ඉගෙනගෙන ට්‍රයි කලා. ඉස්සර වගේ නිකාන් ටෲප්ස් ටික අතෑරල ආවෙ නෑ. 

මේ හැමදේම අස්සෙ අපි ඉවසීම ප්‍රගුණ කලා, පක්ෂපාතීත්වය, කැපවීම සහ නිර්මාණශීලීත්වය. ඇත්තටම COC එකේ ඇටෑක් ස්ට්‍රැටජි එකක් ඩිසයින් කරන එක වගේම තමන්ගෙ බේස් එක ඩිසයින් කරන එක ඒ වගේම ඇටෑක් සහ war වලදි අනිත් බේස් read කරන එක සෑහෙන්න ක්‍රියේටිව් විදිහට හිතන්න පුරුදු කරවන වැඩ ගොඩක්. COC ඇත්තටම පටන් ගන්නෙ ටවුන්හෝල් 11 වලින් වගේ කියලයි මට හිතෙන්නෙ. මොකද ඇත්තටම ස්ට්‍රැටජි පාවිච්චි වෙන්නෙ ඊට පස්සෙ. 

ඒ හැමදේමත් අස්සෙ එක අතකින් ගේම් එක දැන් ප්ලේ කරද්දි පරණ මතක දැනෙන්නෙ හරිම නොසැල්ටජික් විදිහට. ඉස්සර ගේම් එක අද තරං අප්ඩේටඩ් නෑ. ඒ වගේම සංකීර්ණ නෑ. සෑහෙන්න ගොඩක් වෙනස් වීම් වෙලා අද. උදාහරණ විදිහට කිවුවොත් ඉස්සර ටෲප්ස් ට්‍රේන් කරන්න වෙලාවක් යනවා සහ ඒකට elixer කියන දේ වැය වෙනවා. අද ඒ දෙකම නෑ. එක දිගට ගහගෙන යන්න පුලුවන්. ඒ වගේම ඉස්සර තිබ්බ අපි ආස කරපු බ්‍රොන්ස්, සිල්වර්, ගෝල්ඩ්, ක්‍රිස්ටල්, මාස්ටර් නම්වලින් තිබ්බ ලීග් සිස්ටම්  එක වෙනස් වෙලා සම්පූර්ණ වෙනස් සිස්ටම් එකක් තියෙන්නෙ. ඒ වගේම අපි පොඩි කාලෙ තිබ්බෙ ටවුන්හෝල් 12 හෝ 13 වෙනකන් විතරයි දැන් 17ක් හෝ 18ක් තියනව. අලුත් ටෲප්ස් ගොඩාක් ඇවිල්ලා. හීරෝලගෙ විවිධාකාර ඇබිලිට් ඇවිල්ලා. ප්‍රධාන බේස් එකට අමතරව තව බිල්ඩර් බේස් එකයි ක්ලෑන් එකට තව අහසෙ තියන මොකක්ද මගුලකුයිත් ඇවිල්ලා සෑහෙන්න සංකීර්ණ වෙලා තියනවා ගේම් එක. ඒවත් එක්ක COC ගේම් එක strategic game එකක් විදිහට ඉස්සරහට ඇවිත් තියනවා. 

ඔය හැමදේටම වඩා මට දැන් පැහැදිලිව දැනෙන දේ තමා, එදා 9 වසරෙ ඉද්දි COC ප්ලේ කරද්දි තිබ්බ ආතල් එකයි දැන් COC ප්ලේ කරද්දි තියන ආතල් එකයි අතර තියන අහසට පොළොව වගේ පරතරය. ඇත්තටම ඒ කාලෙත් එක්ක බලද්දි දැන් ආතල් එකක් නැති තරං. ඉස්සර COC කියන්නෙ වෙනම පිස්සුවක් අපිට. බේස් එක දකිද්දි, ටෘපෘප්ස් අප් වෙද්දි, හීරෝලා බේස් එකේ ඉන්නව දකිද්දි ඒක දැනුනෙ මාර වත්කමක් වගේ. කොල්ලො එක්ක සෙට් වුනාමත් ඒක ගැන කතා කරලා ඉවර කරගන්න බැරි තරං අපි කතා කලා. ඒවා ඇත්තටම හරි සුන්දර මතක දැන්.

මේ පෝස්ට් එක ලියන්න මම හිතුවෙත් ඒ කාලෙ මම COC ප්ලේ කරද්දි මට වෙච්ච සුවිශේෂී සිදුවීමක් නිසා. මේක මම 9 වසරෙදි COC නවත්තන්න ආසන්නව හිටපු කාලෙක වෙච්ච දෙයක්. අපි ඒ දවස් වල ගණන් පන්තියෙ ගියෙ විශ්වයලගෙ ගෙදර. විශ්වයලගෙ ගෙදරට වීරසේකර කියලා ඒ දවස් වල තක්ෂිලාවෙ උගන්නපු (සමහර විට තාම තක්ෂිලාවෙම වැඩ ඇති) සර් කෙනෙක් ආවා අපිට ගණන් උගන්නන්න. අපි 4 දෙනෙක් හිටියා පන්තියේ. අපි 4 දෙනාම සැරටම COC ප්ලේ කලා අපේම ක්ලෑන් එකකුත් හදාගෙන. ඉතින් ක්ලාස් එකේ විවේක වෙලාවල වුනත් අපේ ප්‍රධාන මාතෘකාව COC. මේක වීරසේකර සර් හොඳට නෝට් කලා. ඒ වගේම තමා සර් අපිට කිවුවා සර්ගෙ පුතත් COC ප්ලේ කරනවා කියලා. ඉතින් අපිටත් පට්ට හැපී. අපේ ක්ලෑන් එකට සර්ගෙ පුතාවත් ගන්න සීන් එකේ අපි හිටියෙ.

කොහොම හරි ඔහොම සතියකට දෙකකට පස්සෙ වීරසේකර සර් අපේ අම්මලා හම්බෙලා කතා කරන්න ඔිනෙ කියලා කිවුවා. මට මතකයි ගණන් පන්ති ඉවර වෙලා විශ්වයලගෙ ගෙදර පහල තට්ටුවෙ තිබ්බෙ අපෙ අම්මලා 4 දෙනා එක්ක රැස්වීමක්. අපිට ළඟ ඉන්න දුන්නෙත් නෑ අපිට කිවුවා කුස්සියට වෙලා ඉන්න කියලා. රැස්වීමෙන් පස්සෙ තමා අපි දන්නෙත් ගේම ඇදලා තියෙන්නෙ අපි COC ගහනෙකට කියල. අපි මේ ගේම් එක නිසා හරියට වැඩක් කරන්නෙ නෑ (මට නං අපි බුලක් කෙලියා කියල මතකයක් නෑ, ඒ සර් අවුරුද්දක හෝම්වර්ක් දෙනවා සතියෙන් කරන්න එන්න කියල. සතියෙ දවස් 5 ඉස්කෝලෙයි අනිත් ටියුෂන් ටිකටයි ගියාම අපිට එච්චර හෝම්වර්ක් තොගයක් කරන්න වෙලාවක් තිබ්බෙ නෑ.) සහ අපි මේ හෙන භයානක ගේම් එකකට, සරලව කිවුවොත් අපි කුඩු වලට ඇඩික්ට් වෙලා වගේ කතාවක් තමා කියල තිබ්බෙ. එතනිනුත් එහාට සෑහෙන්න මං ගැන විශේෂයෙන් කියලා තිබ්බා. මම ක්ලෑන් ලීඩර් වෙච්ච නිසා මාව නිකන් පාතාල කල්ලි නායකයෙක් ගානට දාලා තමා අපේ අම්මට කතා කරල තිබ්බෙ. අනිත් උන් තුන් දෙනා විනාස වෙන්නෙත් මං නිසා කියලත් කියල තිබ්බා. ඉතින් මේක කියවන උඹලා හිතාගනිල්ලකො ඉතින් මට අන්තිමට වැටිච්ච බාල්දියෙ තරම. කොහොම උනත්, අන්තිමට මම ගේම් ප්ලේ කරන එක නැවැත්තුවා හැබැයි ඒ වීරසේකර සර් දාපු බාල්දිය නිසා නෙවෙයි, ඒක නිසා කෙලවෙනවා කියල මටම තේරුන නිසා. ඒ වගේම සර් එහෙම කරන්න හේතුවත් මම හොඳටම දන්නවා. ඒ මොකක්ද කියලා මේ පෝස්ට් එකේ අන්තිම හරියෙ ලියවෙයි.

කොහොමහරි COC පැත්තකින් තියලා ගේම් ගැන මගේ දැන් චින්තනය ගැන කිවුවොත්, මම හිතනවා කම්පියුටර් ගේම්ස් කියන්නෙ ක්‍රියේටිව් මනුස්සයෙක්ට තියෙන්න පුලුවන් හොඳම විනෝදාංශයක් කියලා. හැබැයි මම ඔන්ලයින් ගේම් ඉස්කෝලෙ යන අය ප්ලේ කරන එක අනුමත කරන්නෙ නෑ මොකද ඒ වයසත් එක්ක ඒක සෑහෙන addictive. සහ ඒ වයසෙදි ඇඩික්ෂන් පාලනය කරන එක ගැන ළමයෙක්ට කිසිම අදහසක් නෑ. 

හැබැයි offline games විශේෂයෙන්ම story එකක් එක්ක යන ලස්සන කතා Call of duty, NFS, Assasines Creed මං හිතනවා කෙනෙක්ගෙ ජීවිතේ සුන්දර අත්දැකීමක් කියලා. පොඩි කෙනෙක්ට වුනත් ප්ලේ කරන්න පුලුවන් ඇඩික්ට් වීමකින් තොරව. ඉස්සර igi, gta ගහද්දි ඒක ඇත්තටම මාරම ආතල් එකක්. අද ඒවා සුන්දර මතකයක්. මොකද ඇත්තටම අවුරුදු 20න් පස්සෙ ඒ වගේ ගේම් රස විඳින්න තියන හැකියාව, සහ ඇත්තටම ප්ලේ කරන්න තියන උවමනාව නැත්තටම නැති වෙලා යනවා. ඉස්සර අපි කෝ 2 ඩූ මැශින් වලින් අමාරුවෙන් සෙල්ලම් කරපු ගේම් දැන් අපිට හොඳ ගේමින් මැශින් තිබිලත් ප්ලේ කරන්න වෙලාවකුත් නෑ වගේම ඉස්සර වගේ උවමනාවකුත් නෑ. අදටත් මම ඩේටා ඉතුරු වෙලාවට අනන්තවත් ගේම් ඩවුන්ලෝඩ් කරනවා ඒත් බහුතරයක් ඉන්ස්ටෝල් කරලවත් නෑ. 

 ඒ නිසා ඒ පිස්සුව තියන කාලෙ ඒවා රසවිඳින්න... 

 මේ පෝස්ට් එකට සමහර විට එක්දාස් නමසිය බරගණන් වල ඉපදිච්ච උදවිය ටිපර් වෙන්න පුලුවන් ගේම් වලින් ජීවිතේ ඉගෙන ගන්නෙක විකාරයක්, මීට වඩා ආතල් අපි ඇලේ දොලේ පැනලා ගත්තා බ්ලා බ්ලා... කියලා.  ඒකට කමක් නෑ මේ හැමදේම කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි. මම දෙදහෙන් පස්සෙ ඉපදුනේ. නගරකෙ හැදුනු වැඩුනු නිසා අපිට වැස්ස දවස් වලට මඩ වලවල් වලට විතරයි පනින්න තිබුනෙ. මම කොහොමත් කම්පියුටර් එක්ක පොඩි කාලෙ ඉඳන් ජීවත් වුන නිසා මට ඒ සම්බන්ද දේවල් එක්ක කොහොමත් ඉමෝෂනල් බැඳීමක් තියනවා. ඒ නිසා වරදවා හිතන්නෙපා ඒ ගැන.

ඒ වගේම, මේ පෝස්ට් එකේ ඉතුරු ටික වීරසේකර සර් ඒ ඔබතුමාට. මම මේක ලියන්නෙ සර්ට insult කරන්න නෙවේ. ඒ මම ගැන සර් සෑහෙන්න වැරදි වැටහීමක හිටියා කියල මට හිතෙන නිසා සහ ඒ වැරදි වැටහීම නිසා මම සෑහෙන්න අපහසුතාවයට පත් වුන නිසා. මම දන්නෑ සර් මේ බ්ලොග් එක කවදාහරි කියවයිද නැද්ද කියලා. ඒ වගේම අපි ආයෙ සෑහෙන කාලෙකට හමුවෙන එකකුත් නෑ. හමුවුනොත් එදාට මම මේක සර්ගෙ මූණටම කියන්නං. එතකන් දැනට මම මේක මෙහෙම ලියනවා.

මං දන්නව සර්, සර්ට මාව දැක්කම මොකක්දෝ අමුතු විදිහෙ මාව දිරවන්නැති ලයින් එකක් තිබ්බා කියලා. ඒක මට ක්ලාස් එකේ ඉද්දි හැමදාටම දැනුනා. අපි COC ප්ලේ නොකරන කාලෙ වුනත් උගන්නද්දි අනිත් 3දෙනා මැද්දෙ මාව කොන් කලා වගේ එකක් මට හැමදාම දැනුනා. සර්ට මතකයි නේද දවසක් අනිත් උන් තුන් දෙනාව පහලට යවලා මාව තනියෙන් තියාගෙන "මට මොකක් හරි ප්‍රශ්නයක් තියනවද" අහ අහ අමුතු පාට් එකක් දැම්මා. මං අදටත් දන්නෑ සර්ට මාව මොලේ අමාරුකාරයෙක් වගේ පෙනුනෙ ඇයි කියලා. හැබැයි ඒ පන්තිය ඇතුලෙ හැමෝටම හොරෙන් මාව කොන් වෙච්ච හැටි මට තාම හොඳට මතකයි. සමහර විට සර්ට මං මානසික ලෙඩක් තිබ්බ එකෙක් වගේ පෙනුනෙ මට අනිත් 3දෙනාට සාපේක්ෂව ගණන් අමාරු වුන නිසාද දන්නෙ නෑ. ඒක නං මං පිළිගන්නව සර් මට ගණන් බෑ. මට ඒක හොඳටම තේරුනේ ඒලෙවල් වලට ආවට පස්සෙ. මගෙ ස්කිල් එක තිබ්බෙ artistic side එකකින්. 

හැබැයි සර්,

මට කොච්චර ගණන් අමාරු වුනත් මම අන්තිමට ඔිලෙවල් ගණන් වලටත් A දාලා, ඒලෙවල් වලට මැත්ස් නොකලත් ටෙක්නොලොජි කරලා හරි, අනිත් උන් ඔක්කොටම වඩා හොඳට ඒලෙවල් පාස් වෙලා රජයෙ කැම්පස් එකකට සිලෙක්ට්ටුත් වුනා. මම ආස කරපු industry එක ඇතුලෙ මගේ career එක ඇතුලෙ හොඳ තැනකටත් අඩු වයසකින් ආවා. 

සර්ට හිතන්නවත් බැරි තැනක මං අද ඉන්නවා.! 

 

කොටි මල්ලි (Snow Kotiya)
2026-06-29

 

පසුව ලියමි :-

මම දැන් දිගට බ්ලොග් එක ලියන සීන් එකේ ඉන්න නිසා මම මගේ ලියන කලාව හදාගන්න ගොඩක් දේවල් ට්‍රයි කරනවා දැන්. ඉස්සර මේ බ්ලොග් එක ලියන්න මල්වර නැකැත් බලපු කාලෙ දැන් මං අහවර කරල තියෙන්නෙ. හිතට පොඩි අදහසක් ආවත් පොඩියට හරි ඩ්‍රාෆ්ට් ලියලා දාලා හිමීට හිමීට දවස් ගණන් පෝස්ට් එකක් ලියනවා දැන්. ඒ නිසා පෝස්ට් වල මුල තියන ෆ්ලෝ එක අන්තිම වෙද්දි නැති වෙලා වගේ දැනෙයි සමහර විට. ඒත් ඒවා මං ක්‍රමක්‍රමයෙන් හදාගෙන යනවා. වැදගත්ම දේ තමා හොඳ අදහසක් හැමවෙලේම එලියට දාන්න උත්සාහ කරන එක. 

Friday, June 12, 2026

මගේ ලෝකෙ ජාතික වීරයා

"මගේ එදා දේශනයෙදි මම පොඩි වැඩක් කලා. මම හැමෝගෙන්ම ඇහුවා කවුද ඔයා කැමතිම වීරයා කියලා. එක එක උත්තර හම්බුනා. අනගාරික ධර්මපාල, පුරන් අප්පු ඔය වගේ එක එක නම්. හැබැයි එක ළමයෙක්ගෙ වීරයා වෙලා තිබ්බෙ මෙන්න මූ"

එහෙම කියලා ඒ දේශකයා ස්ක්‍රීන් එකේ දාලා පෙන්නුවෙ Ben 10 ගෙයි පොරගෙ ඒලියන් සෙට් එකයි ඉන්න ෆොටෝ එකක්.

"මොකෙක්ද මේ... මිනි‌හෙක්ද සතෙක්ද මොකෙක්ද?"

ඒ දේශකයා හෙන කින්ඩි ලයින් එකෙන් කියලා තමන්ගෙ ලෙක්චර් එක කරගෙන ගියා. මට මතක නෑ පොරගෙ ඒ ලෙක්චර් එක මොකක්ද ඊට පස්සෙ මොනවද උනේ කියලා. හැබැයි මට ඔය සිද්ධිය හොඳට මතක තිබ්බා සහ හැමදාම මං ඒක ගැන හිතුවා. මොකද ඒ වෙලාවෙ සිරාවටම මගේ ලෝකෙ ජාතික වීරයා කවුද කියලා මමත් කල්පනා කලා...

අම්මටසිරි මගේ ජාතික වීරයා Lightning McQueen නෙ...

 
 
ආනන්දෙ කුලරත්න හෝල් එකේ ඔය ලෙක්චර් එක තිබිලා දැන් අවුරුදු 10කටවත් වැඩි වෙන්න ඔිනෙ මයෙ හිතේ. මං 8 හෝ 9 වසරෙ වගේ ඉන්න ඇති. එදා ඔය ලෙක් එකත් එක්ක මගෙ ලෝකෙ වීරයා ලයිට්නින් මැක්කුයින් කියල හිතෙද්දි මට කිසිම ක්‍රින්ජ් හැඟීමක්වත්, මෝඩ හැඟීමක්වත් ආවෙ නෑ. ඊට අවුරුදු ගාණකට පස්සෙ මට අවුරුදු 24ක් වෙලත් මට කිසිම අවුලක් දැනෙන්නෑ ඒ ගැන. මොකද තාමත් මගෙ ලෝකෙ වීරයා ලයිට්නින් මැක්කුයින්.

ඒක පිස්සුවක් තමා... ඒත් ඒ පිස්සුව තමා තාමත් මාව ජීවත් කරවන්නෙ. අනිත් එක බ්ලොග් එකේ උඩම ලියලත් තියනවා කොටිමලයා කියන්නෙ මන්දබුද්ධික ජීවියෙක් කියලා. ඒ නිසා වැඩිය හිතන්නෙපා ඒ ගැන :D

 මම ලයිට්නින් මැක්කුයින්ව මුලින්ම දැක්කෙ 3 වසරෙ ඉද්දි. ඒ කියන්නෙ 2010දි. එතකොට මං හොරණ රාජකීයේ 3 නෙලුම් පන්තියෙ හිටියෙ. මගෙ පන්තියෙ හිටියා සයුරු කියල එකෙක් උගෙ පොතේ පිටකවරෙ මැක්කුයින්ගෙ ස්ටිකරයක් ගහල තිබ්බ. එහෙම තමා මම මුලින්ම මැක්කුයින්ව දැක්කෙ. මම ඒ කාලෙ දැනගෙන හිටියෙ නෑ මේක ෆිල්ම් එක කැරැක්ටර් එකක් කියලවත්. කොහොමහරි සෑහෙන කාලයක් ගියා ෆිල්ම් එකේ නම දැනගන්නත්. අන්තිමට මට මතකයි මගේ දයාබර පියාණෝ තමා කොළඹ CD කඩේකින් හොයලා හොයලා අරන් ආවෙ DVD එකක්. ඒ කාලෙ මට කම්පියුටර් එකක් නෑ. මගේ ලෝකෙ ඒ කාලෙ රජ කලේ TV එකයි, DVD player එකයි.

මට තාම මතකයි Cars 1 එකේ මැක්කුයින් මුලින්ම ට්‍රේලර් එකෙන් එලියට එද්දි මගෙ හිතට ආපු ගැම්ම. ඒ මියුසික් එකයිත් හැමදේමයිත් එක්ක ඒක වෙනම ලෙවල් එකක්. මං ඇනිමේටඩ් ෆිල්ම් වලට බොක්කෙන් ආදරේ කරන්න ගත්තෙ Cars එකෙන්. ඊට කලින් ice age වගේ ඒවා බලලා පොඩි ආසාවක් තිබ්බත්, උපන්ගෙයි වාහන පිස්සුවත් එක ජීවත් වෙච්ච මගෙ පපු කැවුත්ත අස්සෙ ගැඹුරුම තැනකට Cars රිංගුවෙ කවදහරි මම ජීවිතේම කරගන්න කලාවක වගේම වෘත්තියක මූල බීජයත් මගේ ඇඟ ඇතුලෙ පැලකරන ගමන්.

මට මතකයි ඉස්සර මම ඩ්‍රෝවින් පොත් ගණන් අරගෙන මේ ෆිල්ම් එකේ හැම කැරැක්ටර් එකම ඇන්ඳා පාට පැන්සල් වලින්. ඉස්කෝලෙදි ෆ්‍රී ටයිම් එකක් හම්බුනාමත් කලේ ඒක. හැම ස්ටිකර් කාඩ් එකම, හැම ඩේ කාඩ් එකම එකතු කලා. දැන් ඉන්න ‌පොඩි උන්ට වගේ නෙවේ අපිට සිරා ළමා කාලයක් තිබ්බා ඒ අතින්. අඩුම ගානෙ 2010-2012 කාලෙ අපි ෆොටෝ එකකින්වත් ස්මාට්ෆෝන් එකක් දැකලා තිබ්බෙ නෑ. 

මැක්කුයින් කොච්චර පිස්සුවක් උණාද කියනව නං, මං හිතන් හිටියෙ මං මැක්කුයින් කියලා. ඉස්කෝලෙ ඇරිච්චාම මම මැක්කුයින් කියල හිතාගෙන අනිත් උන් එක්ක තරඟෙට දුවනවා. මේක ලියන වෙලාවෙ මතක් උනේ අර විනී ප්‍රොඩක්ෂන්ලගෙ නයිට් රයිඩර් වීඩියෝ එකේ පොඩි එකා වගේමයි මමත් ඒ කාලෙ.

ඒ වගේම තාමත් මම ඒ හිටපු පොඩි එකාමයි. 

මම මුලින්ම මැක්කුයින්ට කැමති උනේ පොරගෙ තිබ්බ ලස්සනටයි ඒ ගැම්මටයි. මොකද ඒ කාලෙ මට ඒ ෆිල්ම් එකේ කතාව ලොකුවට තේරුනේ නෑ. උපසිරැසිවත් හරියට තිබ්බෙ නෑ ඒ කාලෙදි. පස්සෙ පස්සෙ කාලෙත් එක්ක ලොකු වෙද්දි තමා කතාව තේරුම් ගත්තෙත්. ඒත් ඒ මනංකල්පිත කතාව ඇතුලෙ උණත්, ඒ චරිතෙ තිබ්බ කොලිටීස් මගෙ ජීවිතේ ඇතුලෙ මම තාමත් ගොඩනගනවා.

මට මේ පෝස්ට් එක ඇතුලෙ Cars ෆිල්ම් සීරිස් එක ගැන කතා කරන්න ලොකු උවමනාවක් නෑ. Cars 2 හොඳ ෆිල්ම් එකක්. ඒක වෙනම action ටයිප් එකේ කතාවක් යන්නෙ. හැබැයි Cars 3 එක කියන්නෙ ජීවිතේ ගැන කතාවක්. මම පෞද්ගලිකව Cars 3 එකට කැමති නැහැ. හැබැයි Cars 3 එකේ කතාව අකමැත්තෙන් උනත් පිළිගන්න වෙන ජීවිත යථාර්ථයක්. මොන වීරයත් දවසක විශ්‍රාම යනවා තමන්ගෙන් පසු පරපුරක් හදලා. එතනින් එහා ඉතුරු වෙන්නෙ වීරයා ගැන නොසැල්ටජික් මතක සමුදායක් විතරයි. සමහර වෙලාවට වීරයගෙන් පස්සෙ ඒ වීරයා හිටපු ක්ෂේත්‍රයම ඉවර වුනා වගේ හැඟීමක්. සංගක්කාරලා මහේලලා ඩිල්ෂාන්ලගෙන් පස්සෙ ලංකාවෙ ක්‍රිකට් ඉවර උනා වගේ හැඟීමක්. කෝලි ලා, රෝහිත් ලා, මැක්ස්වෙල් ලා, ස්මිත් ලා, විලියම්සන්ලා, ක්ලාර්සන්ලා රිටයර් උනාට පස්සෙ ලෝකෙම ක්‍රිකට් ඉවර වෙනවා වගේ හැඟීමක්. අලුතෙන් පිටියට කොච්චර වැඩ්ඩො ආවත්, ඒ වීරයොන්ගෙ aura එක පිටියෙ නැති අඩුව පුරවන්න බෑ.

 Cars ෆිල්ම් සහ මැක්කුයීන් පැත්තකින් තියලා මම ගැන විතරක්ම හිතුවොත්, මැක්කුයින්ගෙන් පස්සෙ නයිට් රයිඩර් එකේ KITT ගෙන් පටන් ගත්තම ට්‍රාන්ස්ෆෝමර්ස් එකේ බම්බල්බී ට වෙනකන් හැමෝම මගෙ ලෝකෙ වීරයෝ. මේ ෆිල්ම්/ටීවී සීරිස් හදපු මිනිස්සු හැදුවෙ නිකන්ම ෆිල්ම් එකක් ටීවී සීරිස් එකක් නෙවේ. එයාලා හැදුවෙ කලාව කියන විශ්වය ඇතුලෙ ලොකූ මන්දාකිණි ගොඩක්. ඒ මන්දාකිණි ඇතුලෙ දාස් ගණන් සෞරග්‍රහ මණ්ඩල ඇතුලෙ අපේම ග්‍රහලෝකවල, අපේ වීරයෝ එක්ක, අපිත් වීරයෝ වෙවී ජීවත් වෙනවා. 

සමහර විට කවදහරි දවසක ක්ෂීරපථය කියන මන්දාකිණිය ඇතුලේ, සූර්යයා කියලා තරුවක සෞරග්‍රහ මණ්ඩලයේ, පෘථිවිය කියන ග්‍රහලෝකයෙ තියන Pixar කියන ඇනිමේටඩ් ෆිල්ම් හදන කම්පැනියේ 3D artist කෙනෙක් විදිහට මම වැඩ කරන්නත් බැරි නෑ... 

 

කොටි මල්ලි (Snow Kotiya)
2026-06-13

Tuesday, June 2, 2026

මං ආයෙ ඔයාව හොයන්නෙ නෑ...

 වෙලාව හවස හය, හය හමාර වගේ වෙන්න ඔිනෙ...  

මං හිටියෙ හොරණ උඩවත්ත පාරෙ, ඔරියන්ට් එක ගාව, එතන තිබ්බ ටී බනිස් විකුණන කඩේ ගාව... අපි මොකක් හරි ක්ලාස් එකක් ඉවර වෙලා මං හිතන්නෙ... එතන විශ්වයයි තව කොල්ලො ටිකකුයිත් හිටියා.. 

හසාරා එකේ ස්කූල් බස් එකක් ඇවිත් ඔරියන්ට් එක ඉස්සරහ තිබ්බ sysygy restaurant එක (මස් කට්ටගෙ කඩේ කියල කියන්නෙ ඒකටද කොහෙද... මට හරියට මතක නෑ.) නැවැත්තුවා... මං කොහොමත් හසාරා එකේ බස් යද්දි බලනවා, මාත් ගියෙ ඒවලනෙ... මට ඒ වෙලාවෙ එක දෙයක් මීටර් උනා... හවස 6 ගානට වගේ හසාරා බස් එකක් හොරණට එනවා කියන්නෙ මේක ඒලෙවල් හෝ ඔිලෙවල් විභාගෙට ළමයි ගෙනිච්ච බස් එකක්. හවස විභාගෙ ඉවර වෙලා ළමයි එක්කන් එනවා. කොහොමහරි බස් එකෙන් ලස්සන දේවි බාලිකා එකේ කෙල්ලෙක් බැස්සා...

ඒ ඔයා...

ඔයාගෙ තාත්තද කොහෙද බයික් එකක් නවත්තගෙන එතන හිටියා. ඔයා තාත්තා ගාවට ගියා. ඒ එක්කම ඔයා දැක්කා පාරෙ අනිත් පැත්තෙ ඉඳන් ඔයා දිහා බලන් හිටපු මාව.. 

ඔයා තාත්තට මාව පෙන්නලා මොනවාදෝ කිවුවා.. ඊට පස්සෙ මට අත වනලා එන්න කිවුවා..

මම රත් වෙලා ගියා.. ඒත් මං හිතුවා පැනල යන්නැතුව ඔයයි තාත්තයි ගාවට එන්න.. ඒ දවස් වලත් අද වගේ "වැඩිපුරම බය වෙන දේ කරපන්" කියන තියරියෙ මං හිටියද කොහෙද.. මම පාර පැනලා ඔයාලා ළඟට එද්දි මං ඇස් කොනින් දැක්කා විශ්වයයි කොල්ලො සෙට් එකයිත් මං දිහා පුදුම වෙලා වගේ බලන් ඉන්නවා. 

මං ඔයාලගෙ තාත්තා ළඟට ආවම මට මතක නෑ එයා මුලින්ම මොකක්ද කිවුවෙ කියලා... මට මතක එයා හිනාවෙලා "කැමති දෙයක් කතා කරගන්න" කියලා කියනව විතරයි...

ඔයා එක්ක කතා කරන්න කියලා ඔයා දිහාවට හැරුණට ඔයාට කියන්න කිසිම දෙයක් මගෙ ඔලුවට ආවෙ නෑ... තත්පර කිහිපයක් ඔයාගෙ මූණ දිහා බලාගෙන ඉඳලා මට කියාගන්න පුලුවන් උනේ,

"ඔයා හරි ලස්සනයි"  

කියල විතරයි.

ඔයා කිසි දෙයක් කිවුවෙ නෑ... ඔයා කලේ මම ජීවිතේ දැකපු ලස්සනම හිනාව දාගෙන මං දිහා බලන් හිටපු එක විතරයි. මේක ලියන වෙලාවෙත් මං කල්පනා කලේ, මගෙ ජීවිතේ කවදාවත් කෙල්ලෙක් මං දිහා බලලා එහෙම හිනා වෙලා නෑ... ඒ තරං ලස්සන හිනාවක් මං මේ ජීවිත කාලෙටම දැකලත් නෑ...

ඔයාගෙ ඒ හිනාව දිහා බලන් ඉද්දිම,

ඒ හීනෙන් මං ඇහැරුණා.... 

වෙලාව පාන්දර 5ට විතර ඇති. මං හිටියෙ ඇඳේ...  

එදා ඉඳන් මං අවුරුදු 3ක් තිස්සෙ පොඩ්ඩ පොඩ්ඩ දන්න 3D modeling සාස්තරේ පාවිච්චි කරලා, ඒ හීනෙ මතක ඡායාවන් වලට පුලුවන් තරං match කර කර ඔයාව 3D rendered artwork එකක් විදිහට හදන්න උත්සාහ කලා...!!! 

මම අදටත් දන්නෙ නෑ ඔයා කවුද, කාගෙ කවුද, කොහෙද ඉන්නෙ කිසිම දෙයක්. වෙන එකක් තියා ඔයාව මේ සැබෑ ලෝකෙදි කවදාවත් දැක්කෙ නෑ. ඔයාව මං දැක්කෙ හීනෙන් විතරයි. මේ ආට්වර්ක් එක කරනකන්ම ඔයා මගෙ ඔලුවෙ හිටියෙ ඡායාවක් විදිහට විතරයි.

 පොඩි කාලෙ ඉඳන්ම මට දේවි බාලිකා යුනිෆෝම් එක දැක්කම එන අමුතු කික් එකක් තිබ්බා. මම සචිනි ගැන හිතද්දි එයාට වෙන කාටත් වඩා ආදරේ හිතුනෙත් ඒ නිසා වෙන්නැති. ඒකත් එක්ක මට දේවි බාලිකා කියන නම ඇහෙද්දිත් අර සන්නස්ගලට විශාකා ටයි එක දකිද්දි දැනෙනවා වගේ නලියංකාර, ඇඟ කිලිපොලා යන විදිහේ හැඟීමක් සෑහෙන කාලෙක ඉඳන් දැනුනා.

හැබැයි ඒ ඉස්සර... දැන් මට දේවි බාලිකාව කියන්නෙ වචනයක් විතරයි...

කාලෙත් එක්ක වෙච්ච හිත් රිදීම්, ඉගෙනගත්ත දේවල්, තේරුම් ගත්ත දේවල්, දරාගත්ත දුකවල් අරවා මේවා හැමදේම එක්ක, මං ජීවිතේ ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන එක අතෑරලා මේ මොහොතේ ජීවත් වෙන්න හුරු වෙන්න පටන් ගත්තා. ඉස්සර මායි රංදිමයි දිනෙයයි කොච්චර නං කෙල්ලො ගැන කතා වෙන්න ඇද්ද. කොච්චරවත් සැබෑ ප්‍රේමය, සෝල් මේට්ලා, ට්වින් ෆ්ලේම්ලා ගැන කතා කරන්න ඇත්ද. අපි සෑහෙන්න දේවල් හෙව්වා, සෑහෙන්න ඉගෙනගත්තා... ඒ හැමදේම අස්සෙ අපි හැමදාම අපේ බොක්කට වැදිච්ච ඒ ආත්මීය සිරා ලව් එක හෙව්වා... ඒක එනකල් බලන් හිටියා...

මට දැන් එහෙම බලන් ඉඳලා හති... 

මට එහෙම හිතෙන්නෙ මගෙ ඉවසීම පැනලා නිසා නෙවේ.. වෙන කවරදාටත් වඩා ලොකු ඉවසීමක් මට දැන් තියනවා. මට එහෙම හිතෙන්නෙ මම දේවල් බලාපොරොත්තු වෙන එක අතෑරලා නිසා.

මේ ආට්වර්ක් එක කලාට පස්සෙ, මට පොඩි කික් එකක් තිබ්බා, ඔයාව හොයන්න. මේ රූපෙ තියන, දේවි කෙල්ලෙක්... මං රංදිමයා එක්ක සෑහෙන්න ප්ලෑනුත් ගැහුවා ඔයා වගේ කෙනෙක් හොයන්න... 

ඒත් මට තේරුනා, ඒක තේරුමක් නැති වැඩක්...

ඔයාව මං දැක්කෙ හීනෙන්... ඒක ඒ දැක්ක හීනෙ වගේම, කවදාවත් ආයෙ දකින්න බලාපොරොත්තුවක් නැති විදිහටම හිතෙන් අතෑරලා ඉවරයි මං... සමහර විට මං ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් උනොත්, මං කවදහරි හදන ෆිල්ම් එකකට ඔයා වස්තු බීජයක් වෙයි... ඒ ඇර, මං ආයෙ කවදාවත් ඔයාව බලාපොරොත්තු වෙන්නෙ නෑ...

මං ආයෙ කවදාවත් ඔයාව හොයන්නෙත් නෑ...

 

-------------------------------------------------------------------------------------------------------------- 

කොටි මලයාගේ බ්ලොග් පිටුව කියවන මගෙ රත්තරං යාලුවේ, මෙච්චර වෙලා ඔයාලා කියෙව්වෙ කොටි මලයා 2022 මැයි මාසෙ 6 වෙනිදා උදේ 4-5 අතර වෙලාවෙ දැකපු හීනෙකුයි, ඒ හීනෙ පාදක කරගෙන මම කරපු මගෙ වඩාත්ම iconic ම 3d artwork එකකුයි. ඒ ආට්වර්ක් එක ඉවර කලේ 2025 අගෝස්තු 13 වෙනිදා. මේ ආට්වර්ක් එකක මම ප්‍රින්ට් කරලා, ෆ්‍රේම් කලා. ඒ වගේම මේක ඩිජිටල් අවකාශයේ ප්‍රකාශනය කරල තියෙන්නෙ මේ බ්ලොග් එකේ විතරයි. අවදානෙ ගන්න හිතෙන වෙලාවට වට්සැප් ස්ටේටස් වල, ෆේස්බුක් එකේ එහෙම ෂෙයා කලත් කවුරුත් බලන්න කලින් මම ඒවා ආයෙ ඉක්මනට ඩිලිට් කලා. මං දන්නෑ ඒ ඇයි කියල. ඒත් මේ බ්ලොග් එක මගෙ ජීවිතේ පූජනීය වස්තුවක් නිසා, මේකෙ විතරක් ඒක පෝස්ට් කරනවා.
 

කොටි මල්ලි (Snow Kotiya)
2026-06-02

Sunday, May 31, 2026

මේ හැමදේකින්ම පස්සෙ මට ලංකාව ගැන තියෙන්නෙ පට්ටම කලකිරීමක් විතරයි බං...

දැන් ඉතින් හිටු කියලා බ්ලොග් එක ලියන සීන් එකේ ඉන්න නිසා මං හිතුවා හැමදාම කොටිමලයගෙ ජීවිතේ වෙච්ච දේවල්ම ලිය ලිය ඉන්නැතුව කොටි මලයාගේ අති ශ්‍රේෂ්ඨ චින්තනයෙන් හිතන දේවල් වගේම කොටි මලයට තියන ප්‍රශ්න ගැන පවා ඒ්වට උත්තර නැති උනත් මේකෙ ලියල දාන්න...

 අද මං මේකෙ ලියන්න යන්නෙ මචංලා හෙනම කුහක ඉරිසියාකාර පෝස්ට් එකක් ඈ...සහ කොටිමලයා කියන්නෙ මෙහෙම හිටියට මහා ඉරිසියාකාර කුහක හිපාටුවෙක්... මට මේ ඉරිසියාකාර පෝස්ට් එක ලියන්න හේතු පාදක උනේ ෆේස්බුක් එකේ දැකපු වීඩියෝ එකක්...

ටියුෂන් සර් කෙනෙක් Nissan GTR එකක් අරන් ක්ලාස් එකට එනවා. ළමයි සෙට් එක පාරෙ ඉඳන් හුරේ දානවා, වීඩියෝ කරනවා නිකන් නලුවෙක් පිලිගන්නව වගේ.

මට ඒක දැක්කම පට්ට cringe ෆීලිං එකක් එක්ක පට්ට ඉරිසියාවක් ආවා මචං... මොකද මට ඒක දැක්කම මුලින්ම ඔලුවට ආවෙ මේ හුරේ දාන ළමයින්ගෙන් කීයෙන් කීදෙනෙක්ට අඩුම වයස 30 වෙන්න කලින් නැත්තං උපරිම 35 වෙන්න කලින් Nissan GTR එකක් ගන්න පුලුවන් වෙයිද? කියන ප්‍රශ්නෙ... 

අපි මෙහෙම හිතමු.... ක්ලාස් එකක ළමයි 1000ක් ඉන්නව කියල හිතමු. 1000න් 900ක් පාස් වෙලා කැම්පස් ගියා කියමු (ලක්ෂ 3ක් ඒලෙවල් ලියලා, 45000ක් විතර කැම්පස් යන රටේ 1000න් 1000ම කොහොමත් කැම්පස් යන්න පුලුවන් කියන උපකල්පනය කරනෙකත් හෙන ගොන්කමක්)... ඒ 900ම කැම්පස් ගිහින් පාස් අවුට් වෙලා හොඳ ජොබක් කරලත් උන්ට GTR එකක් කෙසේ වෙතත් අඩුම කෝටි 1 හමාරක වාහනයක්වත් වයස 30 වෙන්න කලින් ගන්න පුලුවන් වෙයිද? 900ම නැති උනත් අඩුම 100 දෙනෙක්ටවත් පුලුවන් වෙයිද?

මගේ මතේ ඒක බෑ... 

ටියුෂන් සර් ලංකාවෙ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමේ තියන ලොකු අඩුපාඩුවක් පාවිච්චි කරලා හොඳ ගේමක් ගැහුවා. ඒකට පොරට කිසිම වරදක් කියන්න බෑ. ක්ලාස් එකට ළමයින්ගෙන් බහුතරයක්හොඳ රිසල්ට් එකක් දැම්ම නං වැඩේ Done. එතනින් එහා ක්ලාස් එකට එන උන්ට GTR එකක් ගන්න උදවු කරන්න එයාට පුලුවන්කමකුත් නෑ. පොරට පුලුවන් ඉගෙනගෙන ගේමක් ගහපල්ලා කියලා එයාගෙ කාර් එක පෙන්නලා inspiration එකක් දෙන්න විතරයි.

ගේම තියෙන්නෙ ළමයගෙ අතේ...

මේ තියන සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ඇතුලෙ මම දකින ලොකුම ගැටලුව තමා ව්‍යවසායකත්ව මනසක් ළමයෙක්ට දෙන්නැති එක. රෑන්ක් දාලා විභාග පාස් වෙලා කැම්පස් ගිහින් ෆස්ට් ක්ලාස් ඩිග්‍රි අරනුත් ගොඩක් අයට අවුරුදු 30 වෙද්දිත් ගෙයක්, වාහනයක් අරන් බඳිනව නං බැඳලා ස්ටේබල් වෙන්න බැරි ඒකයි. අනිත් පැත්තට ඉස්කෝලෙදි බුල කෙලපු උන්ගෙන් සමහරු මේ සිස්ටම් එකෙන් යන්නැතුව එලියෙන් දෙයක් කරලා සාර්ථක වෙන්නෙත් ඒකයි. මේකෙ එහෙම සාර්ථක වෙන්නෙ ඉතාම අඩු ප්‍රතිශතයක්. ඉස්කෝලෙ බුල කෙලපු එවුන්ගෙන් 1000කට එකයි එහෙම ගොඩයන්නෙ සාමාන්‍යයෙන්. 

මම ගැන කිවුවත් මේ කතාව අදාල වෙන්නෙ ඉස්කෝලෙ කාලෙ බුල කෙලින්නැතුව විභාගත් හරියට කරලා, කැම්පසුත් සිලෙක්ට් වෙලා, මං ආස කරන සයිඩ් එකෙන් හොඳ ස්කිල් සෙට් එකක් හදාගෙන හොඳට වැඩ කරගෙන ආවත් financialy ගත්තම මගෙ තත්වෙත් සෑහෙන්න අවුල් වෙන්න හේතුව ව්‍යවසායකත්ව මනසක් මම හිටපු අධ්‍යාපන ක්‍රමයෙන් ලැබුනෙ නැති නිසා කියලයි මට හිතෙන්නෙ. අධ්‍යාපන ක්‍රමයෙන් තියා පවුල් පසුබිමෙන්වත් එහෙම මනසක් හැදෙන්නෙ නෑ ලංකාවෙ 95%ක් ළමයින්ගෙ. 

සාමාන්‍ය මධ්‍යම පාන්තික ළමයෙක් ඒලෙවල් වලින් පස්සෙ ඉස්කෝලෙන් අවුට් වෙලා සමාජෙට වැටුනා කියන්නෙම ඌ වැටෙන්නෙ financialy අමා මහ නරා වලකට. මොකද අපි හැමෝම කරන්න ආස, අපිට හැකියාව තියන ක්ෂේත්‍රයක් තියනවා. ඒ ක්ෂේත්‍රය දිගේ extra දෙයක් කරලා, ඒක හරහා ව්‍යවසායකයෙක් වෙන්න ගියාම ලංකාව ඇතුලෙ ජීවත්වෙන එකෙන් අපිට ලැබෙන්නෙ නිමක් නැති බාධක විතරයි.

දැන් කාලෙ ඉන්න අවුරුදු 20-28 අතර වයසෙ අය ඇත්තටම හරි පව්. මම අන්තිමට ලංකාවෙ ජොබ් එකක් කලේ 2025දි. මට පඩි තිබ්බෙ රුපියල් 40000යි. ගමන් වියදම්, කෑම බීම අරවා මේවා ඔක්කොටම අයින් කලාට පස්සෙ පඩියකට කියලා ඉතුරු වෙන්නෙ 30000කට අඩු ගානක්. එකෙන් ගෙදර ලයිට්බිල්, ඉන්ටනෙට් බිල් අරවා මේවා ගෙව්වට පස්සෙ මගෙ අතේ ඉතුරු වෙන්නෙ රුපියල් හත් අට දාහකට වඩා ඉතුරු උනේ නෑ... ඒ ඉතුරු වෙන ගානත් හිත සැනසෙන්න කොත්තුවක් ෆ්‍රයිඩ් රයිස් එකක් කාලා ඉවර වෙද්දි මොනවට වියදම් උනාද කියලා හිතාගන්නවත් බැරි විදිහට මිසිං වෙලා යනවා...

 මේ හැමදේකින්ම පස්සෙ මට ලංකාව ගැන තියෙන්නෙ පට්ටම කලකිරීමක් විතරයි බං... මං දන්නෙ නෑ සිරාවටම තව කල් යද්දි ලංකාවට මොනවා වෙයිද කියලා... අලුත් ජෙනරේෂන් එක්ක මං හිතන්නෙ නෑ ලංකාවෙ කර්මාන්තවත් හරියට පවතියිද කියලා... හැබැයි මං එක දෙයක් දන්නවා...

ලංකාවට මොන කලක් ගියත් මම නං මේ ඉන්න විදිහටම ඉන්නෙ නෑ... 

 

Saturday, May 30, 2026

මගේ මෙලෝ රහක් නැති මාස 3 ප්‍රේමය

 අපි හම්බුනේ ෆේස්බුක් ගෲප් එකකින්...

ඒක තනිකඩ කොල්ලො කෙල්ලොන්ට කපල් වෙන්න හදලා තිබ්බ fb group එකක්. ඒකෙ දාපු පොස්ට් එකක් දුරදිග ගිහින් තමා අපි හම්බුනේ. 

එයා මට වඩා මාස හය හතක් වැඩිමල්. ඒත් එයාටවත් මටවත් ඒක ගැටලුවක් උනේ නෑ. එයාගෙ ගෙවල් කලුතර. වැඩ කලේ පානදුර පැත්‌තෙ ඉන්ෂුවරන්ස් ඔෆිස් එකක. උඩ අඩි 5කට වැඩි නෑ. කෙට්ටුයි. තලෙලුයි.මට මහා ලොකුවට හිතට වැදුන විදිහෙ ලස්සනක් තිබුනෙත් නෑ. ඒත් fb එකෙන් උණත් මැසේජ් කරගෙන යද්දි මාත් එක්ක රිලේෂන්ෂිප් එකකට යන්න මීට කලින් මම ට්‍රයි කරපු කෙල්ලොන්ට තිබ්බෙ නැති උවමනාවක් එයාට තිබ්බා.

2024 නොවැම්බර් මහේ එක් සෙනසුරාදාවක අපි මුලින්ම හම්බුනා පානදුර කැෆේ එකකදි. අපේ හමුවීම මහ ලොකු වෙලාවක් තිබ්බෙ නෑ. ඒක මම කෙල්ලෙක් එක්ක ඩේට් එකකට ගිය පලවෙනි වතාව නිසා ද කොහෙද මගෙ හිතේ පොඩි කලබලේකුත් තිබ්බා. හැබැයි ඒ ඩේට් එකෙන් පස්සෙ මට එයාව අල්ලලා ගියා. 

අපි නිතර චැට් කලා. මහාලොකු දේවල් නෙවේ එදිනෙදා ජීවිතේ ගැන. අපි දෙන්නගෙන් කවුරුත් ආදරේ ගැන මහාලොකුවට රොමැන්ටික් වෙලා කතා කලේ නෑ. ගෙවල් වල අයගෙ විස්තරයි ඉගෙනගන්න ඒවයි කරන ජොබ් ගැනයි, අපි කැමති අකමැති දේවල් වගේ ඒවා. 

කොහොමහරි අපි දෙවනි ඩේට් එක විදිහට අපි ගියේ BMICH එකේ තිබ්බ motor show එකකට. ඒ 2024 දෙසැම්බර් මුල. ඒ ඩේට් එකෙන් පස්සෙ අපි දෙන්නා ඔෆිෂියලි පිලිගත්තා අපි දෙන්නා රිලේෂන්ෂිප් එකක ඉන්නෙ කියලා.

ඊට පස්සෙත් මාසයක් හමාරක් වෙනසක් නැතුව ගෙවුනා. අපි පානදුර බීච් එකෙයි, කොළඹ පාක් දෙක තුනකයි රවුමක් දෙකක් දැම්මා. දෙන්නට දෙන්නා එකිනෙකාට එක එක තෑගි එහෙම දුන්නා. හැබැයි සාමාන්‍යයෙන් වෙන කපල් එකක තියන රොමැන්ටික්බවක්, ලව් එකක් අපි අතර තිබුනෙ නෑ කියන හැඟීම මට තිබුනා. සමහර වෙලාවට මම එහෙම වෙන්න හැදුවත් එයාගෙ පැත්තෙන් නිතරම මට මෙතන වචන වලින් කියන්න බැරි ටයිප් එකේ බැරියර් එකක් තිබ්බා.

එයා කවදාවත් හැබැයි මගෙන් දතක් පන්නන්න ට්‍රයි කලේ නෑ. ඩේට් එකකට ගියාම උනත් දෙන්නා සමව ගාන බෙදාගෙන වියදම් කලා. තෑගි දෙද්දි උනත් මම එයාට මොනවා හරි දුන්නොත් අනිත් පැත්තට එයත් මට මොනව හරි දුන්නා. 

2025 පෙබරවාරි මාසෙ මැදක් වෙද්දි මට එයාගෙ red flags ටිකෙන් ටික පේන්න ගත්තා. හේතුවක් නැතුව මට මුලින් මැසේජ්, කෝල් වලට reply නොකර හිටියා. පස්සෙ මොකක්ද වැරැද්ද ඇහුවම "වැරැද්ද මොකක්ද කියලා ඔයාට තේරෙන්න ඔිනෙලු" කිවුවා. මම ඒ ටිකේ ටිකක් පස්සෙන් ගියා මොන මඟුලක්ද උනේ කියල හිතාගන්න බැරුව. කොහොමහරි ආයෙ පෙබරවාරි අග වගේ වෙද්දි ශේප් ඒකේ හිටියා.

මාර්තු මුල සතියෙ මගෙ බර්ත්ඩේ එක තිබ්බා. ඒකට අපි දෙන්නා පානදුර බීච් එකේදි හම්බෙලා හිටියා. එයා මට ෂර්ට් එකකුයි තව මොනවද මංදා දුන්නා. ඒක තමා මම එයාව අන්තිමට දැකපු දවස.

ඊට සතියකට විතර පස්සෙ ආයෙත් කලින් වගේ මුලින් මැසේජ්, කෝල් වලට reply නොකර හිටියා. මේ පාර මම පස්සෙන් ගියෙත් නෑ. මොකද මට එයාගෙ red flags ගොඩක් පෙනිලා තිබ්බ නිසා එයාම ඒක නවත්තන්න හේතුවක් දෙනකන් මමත් බලන් හිටපු නිසා. දවස් 3ක් විතර සද්ද නැතුව ඉඳලා මට මැසේජ් එකක් දාලා තිබ්බා

"api meka nawattamu" කියලා..

මම "Ha" කියල රිප්ලයි කලා...

එයා ඒකට "Thank you" කියල එව්වා...

"Oyatath Thank you😊" මම එහෙම රිප්ලයි කලා...

ඒකි ඒකට ha ha react (😂) එකක් දාලා තිබ්බා...

Ptta Htti... 
මට සිරාවටම එහෙම හිතුනා..ඒත් මං ඒක කියන්න ගියෙ නෑ...

ඒ ලව් එක එතනින් ඉවර උනා... මට සිරාවටම පට්ට නිදහසක් දැනුනා...

එච්චරයි...!

 

කොටි මල්ලි (Snow Kotiya) 
2026-05-30

Monday, May 18, 2026

අවුරුදු කුමාරයා යුධ ටැංකිය වීම සහ පැරඩ් එකට ගිය හැටි

         කවුරුහරි මගෙන් ඇහුවොත් මගෙ ජීවිතේ සතුටුම දවස මොකක්ද කියලා, මං කියන්නෙ 2016 අප්‍රේල් 12 කියලා. ඒ තමා අපේ පියාණෝ අපේ ගෙදර පළවෙනි වාහනේ වෙච්ච 13ශ්‍රී6127 මිට්සුබිෂි ලාන්සර් වැගන් එක ගෙනාපු දවස. ලාන්සරේ ගේද්දි මට වයස 14යි. මගෙ ජීවිතේ වෙච්ච කිසිම සතුටුදායක සිදුවීමක එදා දවස තරං පිරිසිදු, හදවත උතුරාගලා යන සතුටක් දැනිච්ච වෙන කිසිම දවසක් තිබිල නෑ මචංලා. ඒ කාර් එක ගෙනාපු කතාව මම ඒ කාලෙම අකුරු කලා අවුරුදු කුමාරයා... පෝස්ට් එකේ.   මුලු ජීවිතේම "පලමුවත් වාහන, දෙවනුවත් වාහන, තෙවනුවත් වාහන" තියරියෙ ඉඳන් ගෙවපු මගේ වාහන පිස්සුවෙ අගමුල ගිය තැන් හැමඑකම ඒ කතාවෙ වගේම බ්ලොග් එකේ පෝස්ට් බහුතරයක ලියලා තියනවා.

 




ලාන්සරේ එක්ක මට තිබ්බෙ සිරා ලව් එකක් උනත්, කාලෙත් එක්ක වෙච්ච ගොඩක් සිදුවීම් නිසා මම කාර් එක බලාපොරොත්තු වෙන එක නැවැත්තුවා මචං. ඒකත් එක්ක සෑහෙන කාලයක් මට කාර් එක මිස් උනා කියන්න පුලුවන්. කොහොමහරි 2024 මැද ඉඳන් වාහනේ එකතැන තිබ්බා පියාණන් අසනීප වීම, වාහනේ තිබ්බ ලෙඩ, ආර්ථික ප්‍රශ්න සහ මට මෙතන කියන්න බැරි එක්තරා පෞද්ගලික ගැටලුවක් නිසා. හැබැයි 2024 අග බාගයේ මම ‌බොරලැස්ගමුවෙ vfx studio එකේ ජොබ් එකට යන්න පටන් ගැනීමත් එක්ක තිබ්බ ආර්ථික ගැටලු දශම ගාණකින් පමණ සමනය වීම නිසා මට ඔිනෙ උනා කාර් එක ආයෙ ගොඩදාගන්න. මේ කාලෙ දියවැඩියාව නිසා කකුල ඉවත් කිරීම නිසා පියාණන් සම්පූර්ණයෙන් ඔත්පල වෙලා හිටියෙ. ඉතින් සම්පූර්ණ මෙහෙයුම මට තනියෙන් දියත් කරන්න සිද්ධ උනා. ඒකට හොඳ සහයෝගයක් මෑණියන්ගෙන් ලැබුනා. 

කොහොමහරි මම වැඩේට එන්ටර් උනේ 2025 ජනවාරි මාසෙ. වැඩේට බහිද්දි වාහනේ තත්වෙ මෙහෙමයි.

බැට්රිය ඩෙත්. අලුත් බැට්රියක් දාන්න ඔිනෙ.මාස 6ක් එක තැන තිබ්බ නිසා රෝද ගල් වෙලා. ටයර් 4 එච්චර හොඳ නෑ. 3ක් වගේ නං ටිකක් manageble. ඒත් පිටිපස්සෙ එකක කැන්වස් පෑදිලා. හතර වටේ දිරුම් ඇවිත්. ලයිසන් නං 2025 අප්‍රේල් වෙනකන් තිබ්බ නිසා ඒ ගැන ලොකුවට හිතන්න දෙයක් තිබ්බෙ නෑ. මට ඔිනෙ උනේ මුලින්ම වාහනේ රනින් කන්ඩිෂන් එකට ගේන එක. දිරුම් ගැන ලොකුවට ඒ වෙලාවෙ හිතුවෙ නෑ කොහොමඋනත් ටිකක් කෙලින් කටින් වාහනේ තිබ්බ නිසා.

මම මුලින් අලුතෙන්ම බැට්‍රියක් දැම්මා. ටර්මිනල් දෙකකුත් අලුතෙන් ගෙනාවා තිබ්බ ඒව මලකඩ කාල නිසා. ගෙනල්ලා හරිකරලා, පෙට්‍රල් කෑන් එකක් ටැංකියට දාලා, එයා ෆිල්ටර්ට උඩින් තව පෙට්‍රල් චුට්ටක් දාලා, එංජින් ඔයිල්, රේඩියේටර් වතුර අරවා මේවා සියල්ල පරීක්ෂා කරලා, කාර් එක ස්ටාට් කලා. 

මාස 6ක් ස්ටාට් කරල තිබ්බෙ නැති කාර් එක එකපාරින් ස්ටාට් උනා...

ස්ටාට් උනාට වැඩක් උනේ නෑ රෝද ගල් වෙලා නිසා වාහනේ හෙල්ලෙන්වෙත් නෑ. මං හිතුවෙ ඇතුලෙ බ්‍රේක් හිර වෙලා ඇති කියල. කොච්චර වාහන පිස්සුවක් තිබ්බත් මට කවදාවත් වාහන වල මිකැනිකල් පැත්ත ගැන දැනුමක් තිබ්බෙ නෑ. ඉතින් මං කලේ සති දෙකක් විතර තිස්සෙ බ්‍රේක් බුරුල් කරගන්න මිකැනික්ලා හොයපු එක. මොකද වාහනේ කොහෙවත් ගෙනියන්න බැරි නිසා ගෙදරට ගෙන්නන් එන්න ඔිනෙ උනා එකෙක්. ලංකාවෙ වාහන මිකැනික්ලා ගැන මේ පෝස්ට් එකේ වාක්‍යයෙන් 2න් එක ඡේදෙකින් කතා කරන එක ඒ් උතුමාණන්ලට කරන මහා අගෞරවයක් නිසා උන්නාන්සෙලා ගැන වෙනම පෝස්ට් එකකින් ලියන්න කොටි මලයා බලාපොරොත්තු වෙනවා. කොහොමහරි පිනට නෙවේ එන්න කියන්නෙ වැඩේට සල්ලි දෙනවා කියන එකේ ඉඳන්, දවස් ගාණක් කෝල් කර කර, වාහනේ හොල්ලන්වත් බැරි නිසා අසරණ වෙලා පීචං වෙලා කුල්ල කුජීත වෙලා ඉන්නෙ කියල පිණ්සෙන්ඩු වෙලත් එක උද්ධික පුතෙක් මං ගැන අනුකම්පා කරලවත් වැඩේට ආවෙ නෑ. 8-5 රස්සාවකට හිර වෙලා ඉන්නෙකේ කරුමෙත් සෑහෙන්න දැනෙන්න ගත්තෙ මොන රෙද්ද කරන්නත් වෙලාවක් තියෙන්නෙ සෙනසුරාදා හවස් වරුවෙයි ඉරිදයි වෙච්ච නිසා. 

අන්තිමට දෙවෙනි සතියෙ ඉරිදා වෙද්දි එක මිකැනික් උද්දික පුත්තෙක් ගෙන්නගන්න බැරි වෙච්ච පාර මගේ ඉවසීමේ ග්‍රහයා නීච වෙලා මං හිතුවා මං තනියෙන් හරි මල ඉලව්ව ගලෝනව කියල. ඊට පස්සෙ කලේ මගෙ දයාබර හිත මිත්‍ර, 3D modeling කරන සගයෙක් වෙච්ච දිනෙත් ආලෝකට මැසේජ් එකක් දාපු එක. උගෙ ගෙදර ගරාජ් එකක් තියන නිසා සහ ඌත් මං වගේම වාහන පිස්සුව ජීවිතේ කරන් ඉන්නෙකෙක් වෙච්ච නිසා ඌට වාහනවල මිකැනිකල් පැත්ත ගැන හොඳ දැනුමක් තිබ්බා. පොරගෙන් ඇහුවම මොකක්ද කරන්න පුලුවන් කියලා පොර මට කිවුවා ජැක් එක ගහලා රෝදෙ උස්සලා, පොල්ලක් දාලා ඩ්‍රම් වලට හොඳට දෙදරන්න ගහන්න සහ අතින් රෝදෙ කරකරවන්න ට්‍රයි කරන්න කියල. 

සඳුදා හවස වැඩ ඇරිලා ආවා 6 හමාර වගේ වෙද්දි. මදුරුවො කනවට ඇඟ වැහෙන්න ඇඳගෙන සපත්තුත් දාගෙන වැඩේ පටන් ගත්තා. දිනෙත් ආලෝකව තිස් තුන් කෝටියක් බුදු වෙන්ඩ සති දෙකක් තිස්සෙ මිකැනික්ල ලව්ව කරගන්න බැරුව හිටපු දේ සල්ලිත් ඉතුරු කරගෙන මම තනියම කරගත්ත.

එදා රෑ තමා මම ලයිසන් ගත්තට පස්සෙ පළවෙනි වතාවට ලාන්සරේ එලවන් ගියෙ. සහ අවුරුදු ගාණකට පස්සෙ වාහනේ අතට ගත්තෙ. වෙනදට තාත්ත ඉන්නවා. අද මම තනියම. මදි හරියට නංගිව දාගත්තා යං කියල. දික්හේනපුර පාරෙ කෙලවරට වෙනකන් ගිහින් ආවා. වාහනේ 30ට වඩා යන්න බැහැ. රෝද දෙදරන්න ගන්නව මීමැස්මොරේ හැදිල වගේ. ඒක අවුරුදු ගාණක ඉඳන් තිබ්බ, හැමදාම ටයර් මාරු කර කර තෙල් බෙහෙත් ගගා හොඳ කර කර හිටපු ලෙඩක්. ඉස්සර නං 60 වගේ පනිද්දි තිබ්බෙ. දැන් ඒක වැඩි වෙලා. බ්‍රේක් සෑහෙන්න අඩුයි. තැනිතලා පාර නිසා අවුලක් නැතුව හැබැයි ගිහින් ආවා.

කාර් එක දුවන ලෙවල් එකට ගත්ත නිසා ඊට පස්සෙ මම කලේ වාහනේ ගෙනිහින් ඉලිඹෙ ඩග්ලස් අයියගෙ ගරාජ් එකට දාපු එක වාහනේ දෙදරන සීන් එක හදන්නයි බ්‍රේක් හදාගන්නයි. දෙදරන සීන් එක හදාගන්න බෝල් ජොයින්ට් දාන්න උනා.  ස්ටියරින් බොක්ස් එකම ඉක්මනට මාරු කරන්න වෙනවා කියල වෝනින් එකක් දෙනගමන් රේසර් ටික විතරක් අලුතෙන් දාලා මට එවෙලෙට ශේප් එකක් දාලා දුන්නා. මොකද ඒවෙලේ මට ස්ටියරින් බොක්ස් එකක් දාන්න තරං වත්කමක්වත්, බඩු හොයන්න පංචිකාවත්තෙ යන්න තරං හැකියාවක්වත් තිබුනෙ නෑ. බ්‍රේක් ටිකත් වොෂර් ටික අලුතෙන් දාලා අවුලක් නැතුව දුවන්න පුලුවන් ගානට රනින් ටික හදාගත්තා.

රනින් හැදුවට පස්සෙ මම මුලින්ම කාර් එකේ ගියේ පානදුර බීච් එකට. කියන්න අමතක උනානේ... මට ඒ දවස් වල කෙල්ලෙක් හිටියනෙ යකෝ. මෙලෝ වැඩකට නැති මාස 3ක ප්‍රේමයක් තිබ්බා මට. ඒකි කලුතර හිටියේ. 2025 පෙබරවාරි මහේ මුල් හරියෙ ඉරිදාවක කලුතර ගිහින් ඒකිවත් දාගෙන පානදුර බීච් එකට ගිහින් ආවා. ඒ ලව් ස්ටෝරිය මගෙ ජීවිතේ මෙලෝම වැඩකට නැති කතාවක් උනත් පසු කාලීනව ඒකත් මේ බ්ලොග් එකේ ලියවෙයි. කොහොම උනත් එදා දවසෙත් මං වැඩිහරියක් එංජෝයි කලේ ඩ්‍රයිව් එක.

එදා ඩ්‍රයිව් එකෙන් පස්සෙ මට කාර් එක අරන් ඔිනෙ තැනක යන්න පුලුවන් වගේ අමුතු විශ්වාසයක් දැනෙන්න පටන් ගන්නවත් එක්ක මට ඔිනෙ උනා මගේ මිත්‍ර සනුහරේ එක්ක කාර් එකේ වටයක් දාන්න. මේ වෙලාවෙ තමා මට කල්පනා උනේ අපේ බිග් මැච් පැරඩ් එකට යන්න පුලුවන් නේද කියල. හැබැයි පොඩි අවුලක් හිතට තිබ්බා. පහුගිය ටිකේ වාහනේ ලගට ඩ්‍රයිව් කරපු ටිකෙන් මට තේරුම් ගිහින් තිබ්බා ආයෙ කාර් එක ගරාජ් එකට දාන්න වෙනවා වගේ ලයින් එකක් බ්‍රේක් මදි ගතියක් මට මුල ඉඳන් දැනිලා තිබ්බ නිසා. මොකද කොළඹ ට්‍රැෆික් එකේ ඩ්‍රයිව් කරන්න ඔිනෙ. සහ පිටිපස්සෙ ටයර් එකක කැන්වස් පෑදිලා තිබ්බා. සහ පහුගිය ටිකේ කරපු රෙපයාර් සහ ගෙදර වැඩ වලට ගිය වියදම් එක්ක මට ආයෙ අතේ රුපියල් දහදාහක්වත් තිබ්බෙ නෑ. පෙට්‍රල් ගැහුවට පස්සෙ ටයර් එකක් දාගන්න ගානක් ඉතුරු වෙන්නෙ නෑ. පැරඩ් එකට යනවා නං අතේ රුපියල් 1000ක්වත් වෙනම තියන් යන්න ඔිනෙ බීම එකක් බීලා කොත්තු මී එකක් කාලා එන්නවත්. සහ කාර් එකේ තත්වෙත් එක්ක හදිසියකට අනිවා ගානක් තියාගන්නම ඔිනෙ.

ඔය ඔක්කොම සලකලා බලලා මම හිතුවා කාර් එකේ පැරඩ් එකට යන ගමන අතෑරල දාන්න. හිත හදාගෙන රංදිමය එක්ක බස් එකේ ගිහින් පැරඩ් එක බලලා එනවා කියල හිතාගත්තා. පැරඩ් එක තිබ්බෙ මට මතක හැටියට 2025 පෙබරවාරි 23 ඉරිදා. ඉතින් සෙනසුරාදා දවල් වැඩ ඇරිලා එනගමන් රංදිමයගෙ ගෙදරටත් ගොඩ වෙලා, ඌ එක්කත් සෑහෙන්න සාකච්ඡා කරලා ස්ථිරව තීරණය කලා බස් එකේ ගිහින් එමු කියල.

ඒත් ගෙදර ආවත් මගෙ හිතේ අවුල ගියෙ නෑ... මොකද මේ කාලෙ වෙද්දි මම මගේ ජීවිතේ වැඩිපුරම ආදරය කරන දේවල් ටික කාලකට මිස් වෙන්න යනවා කියල දැනගෙන හිටියේ.. ඒක මොකක්ද කියලා ඉදිරි කාලයේදි ලියවෙයි... මේ පැරඩ් එකට යන්න බැරි උනොත් මට ආයෙ සෑහෙන කාලෙකට පැරඩ් එක, කාර් එක වගේම රංදිම ඇතුලු මිතුරු කැලත් මිස් වෙනවා කියන දේ සෑහෙන්න මගේ හිතට වද දෙන්න පටන් ගත්තා... ඉතින් මම වැඩිපුර හිතන එක නැවැත්තුවා..

සාමාන්‍යයෙන් මොකක් හරි මරිමෝල් වැඩක් කරන්න ඔිනෙ උනාම මමයි රංදිමයයි පොදුවේ අනුගමන කරන තියරියක් තියනවා. ඒ තමා "වැඩිපුරම බය වෙන දේ කරපන්" කියනෙක. අපි ඒක ඉගෙන ගත්තෙ Hridayam ෆිල්ම් එක බලලා. 

මං රංදිමයට කෝල් කලා...

"මචං ඔිනි මගුලක් කියල අපි හෙට කාර් එකේ යන්... "

 එදා හවස මම කාර් එක හේදුවා. තිබ්බ පරණ ටයර් එකකුත් නිකමට දාගත්තා. ගෙදර තිබ්බ නියන්, අඬු බඩු, යතුරු ටිකක් දාගත්තා. බ්‍රේක් ඔයිල් බෝතලයක්, එංජින් ඔයිල් ටිකක්, එකි මෙකී නොයෙක් නොයෙක් දේවල් ටිකක් දාගත්තා. 

පැරඩ් එක පටන් ගන්න තිබ්බෙ දවල් 2ට නිසා මම ගෙදරින් පිටත් උනා දවල් 11 ට විතර. විස්සෙ කණුවෙ ෂෙඩ් එකෙන් 3000කද කොහෙද පෙට්‍රල් ගැහුවා. ඉරිදා දවල් ටවුමෙ හොරණ මහලොකු ට්‍රැෆික් එකක් තිබ්බෙත් නෑ. ටයර් අවුල් නිසා මං 40න් එහා වගේ ආවෙත් නෑ. හැබැයි මොකක්දෝ අවුලක් තියනවා වගේ නොදැනුනාමත් නෙවෙයි උනත්, සෑහෙන අවුල් ජාලාවක් මැද්දෙ හිතුවක්කාරෙන් වගේ යන ගමනක් නිසා හිතේ අවුලක් කියලා මම ඒක ගැන වැඩිය ගණන් ගත්තෙ නෑ. සිංගර් එක ගාවින් හැරෙන්න තියන අතුරු පාර ගාවින් හරෝලා එතන ටයර් කඩෙන් හුලං ගහගෙන, එහෙම්ම උඩවත්ත පාරෙන් ඇවිත්, උඩවත්ත පාරෙන් මේන් රෝඩ් එකට දාන්න දාන T හංදියට ඇවිත් මම වාහනේ නවත්තලා බ්‍රේක් එක ගැහුවා වාහන අඩුවෙනකන් පාරට දාගන්න. එතන තියෙන්නෙ පොඩි කන්දක්..

වාහනේ පිටිපස්සට යන්න ගත්තා යකෝ... !

මං හිටු කියල බ්‍රේක් ගැහුවා, පැඩ්ල් කර කර ගැහුවා.. හෑන්ඩ් බ්‍රේකුත් ඇද්දා (හෑන්ඩ් බ්‍රේක් නං දන්න කාලෙ ඉඳන්ම වැඩ කලේ නෑ හැබැයි)  වාහනේ පස්සටම යනවා.. පිටිපස්ස බැලුවම වෙලාවට මගෙ පස්සෙන් වාහන මොකුත් නෑ..මම දකුණු පැත්ත බැලුවම කඩේක හිටපු කොල්ලො දෙන්නෙක් මං දිහා බලන් ඉන්නව... එකෙක් කියනව ඇහුන "ඒ්යි පස්සට යනව නේද කියල".

හිත හිත ඉන්න දෙයක් නෑ මං ආයෙ ක්ලච් එක අතෑරලා වාහනේ ඉස්සරහට ගත්තා. වෙලාවට ට්‍රැෆික් එක අඩු උන නිසා  මම එහෙම්මම මේන් රෝඩ් එකට දාගෙන කොළඹ පැත්තට ශේප් එකේ යන්න පටන් ගත්තා. යන ගමන් හිමීට බ්‍රේක් ගහ ගහ බැලුවා...

මචං කාර් එකේ බ්‍රේක් බිංදුවක්වත් නැහැ... !

මං හිතාගත්තා කලබල වෙන්නෑ කියල... එවෙලෙම කොහෙන් හරි හරෝගෙන ගෙදර යන්න හිතුනත් පාරෙ ට්‍රැෆික් එකත් වැඩිඋන නිසා මම හිතුවා පොකුණුවිටට ගිහින් හොරණ කොළඹ පාරට හරෝලම මොකද වෙලා තියෙන්නෙ කියලා බලනවා කියලා. ශේප් එකේ අඩු ගියර් වල දාගෙන ක්ලච් එක පාගන වම් කකුල කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තියලා පොකුණුවිටට ගියා. ගිහින් නවත්තලා බොනට් එක ඇරලා බලද්දි බ්‍රේක් ඔයිල් ටැංකි දෙකෙන් එකක් සම්පූර්ණයෙන් හිස්. ඊට පස්සෙ බ්‍රේක් ඔයිල් ටිකක් දාගෙන යද්දි ශේප් එකක් දාගන්න පුලුවන් මට්ටමකට බ්‍රේක් ආව නිසා මම හිතුවා කහතුඩුවට ගිහින් රංදිමව දාගෙන ඌට තත්වෙ පැහැදිලි කරලා දිගටම කාර් එකේ යනවද නැත්තං කාර් එක රංදිමලෑ ගෙදරට දාලා බස් එකේ යනවද කියලා තීරණය කරනව කියල. යන ගමන් මං තැන් දෙකක විතර නවත්තලා බ්‍රේක් ඔයිල් බලද්දි අර ටැංකියෙ බ්‍රේක් ඔයිල් අඩු වෙනවා. මට හොයාගන්න බෑ කොහෙන් ලීක් වෙනවද කියල. ඒත් ඒ වෙලාවෙ ලීක් වෙන්නෙ කොහෙන්ද කියල හොයන්නවත්, හොයාගත්තත් ඒක හදාගන්නවත් කිසිම විදිහක් තිබ්බෙ නෑ. 

කහතුඩුවට ගිහින් රංදිමව දාගෙන තත්වෙ පැහැදිලි කලා...  වාහනේ බ්‍රේක් අඩුයි ඔයිල් ලීක් එකක් තියනවා, මගින් මග ඔයිල් පොඩ්ඩ පොඩ්ඩ දදා තමා ගියොත් යන්න වෙන්නෙ, සහ ටයර් අවුල්. යන්න වෙන්නෙ අමා මහ ට්‍රැෆික් එකක. 

මම රංදිමට කිවුවා "final decision එක උඹ දියන්, උඹ යන් කිවුවොත් යනවා නැත්තං නෑ" කියල... මොකද අවදානම් කලමණාකරණයෙදි ඌ මට ඉන්නෙ සෑහෙන්න ඉස්සරහින් සහ මේ වගේ තැන් වලදි ඌ මට වඩා දුර හිතනවා. මම සිරාවටම හිතුවෙ පොර යන්න බෑ කියයි කියල. හැබැයි ඌ කිවුවෙ එකම දෙයයි.

"උඹට ෂුවර් නං යමන්...".

රංදිමගෙ බලාපොරොත්තු නැති උත්තරෙත් එක්ක මට ආවෙ අමුතු කන්ෆිඩන්ස් එකක්. සමහර විට ඌත් මං වගේම "වැඩිපුරම බය වෙන දේ කරපන්" තියරියෙ ඉන්නැති. ඉතින්, අපි වැඩිපුරම බය වෙච්ච දේ කරන්න පටන් ගත්තා.  

යන්න කලින් රංදිම මට කිවුවා "හදිසියෙවත් බ්‍රේක් නැති උනොත් උඹ කලබල නොවී මට කියපන්, මං හතරවටේට කෑගහන්නං "අයින් වෙයාන් htto බ්‍රේක් නෑ" කියල. ඌ ඒක කියපු ටෝන් එකත් එක්ක මට තිබ්බ ස්ට්‍රේස් එක එහෙම් පිටින්ම නැති වෙලා ගියා. අපි දෙන්නා හිතුවා යුධ ටැංකියක් එලවන මහා මෙහෙයුමක් වගේ මේ ගමන යන්න. මං උට කිවුවා උඹ කැප්ටන් වෙයන් මං ඩ්‍රයිවර් විදිහට ෆුල් ෆෝකස් එකේ වාහනේ එලවන්නං ඉතුරු ටික උඹ බලාගනින් කියල.

මඟින් මග නවත්ත නවත්ත බ්‍රේක් ඔයිල් දදා අපි දෙන්නා ඉස්කෝලෙ ගාවට ගියා. පාරෙ අයිනෙ එක දිගට වාහන නවත්තලා. මං හිතන්නෙ 2025 ආනන්ද නාලන්ද පැරඩ් එක ඉතිහාසෙ වාහන වැඩිම ප්‍රමාණයක් ගිය පැරඩ් එකක්. කොහොමහරි අපිත් ඉඩ තිබ්බ තැනකින් කාර් එක නවත්තලා ඉස්කෝලෙට ගියා කාර් එක රෙජිස්ටර් කරන්න. අපිට ලැබුනෙ 485 අංකෙ තිබ්බ ස්ටිකරයක්. අදටත් ඒ ස්ටිකර් එක මගෙ කාමරේ අලෝලා තියනවා.

අපිට ඉස්කෝලෙදි ආනන්දෙ ටෙක් එකේ අපිත් එක්ක හිටපු සඳුන්වයි, මානෙත්වයි සෙට් උනා. සඳුන්ගෙ ගෙදර ඉස්කෝලෙ අල්ලපු වැටේ නිසා උගෙ ගෙදර තිබ්බ තව ආනන්දෙ කොඩි 2කුයි මං ගාව තිබ්බ කොඩියයි අරන් ඇවිල්ලා කාර් එකේ ගැහුවා. 

පැරඩ් එක පටන් ගද්දි 3-3.30 වගේ වුනා. මගෙ ජීවිතේටම ලාන්සරේ ගිය වැඩිපුරම සතුටුම, වැඩිපුරම එංජෝයි කරපු ගමන 2025 ආනන්ද නාලන්ද පැරඩ් එකට රංදිම, සඳුන්, මානෙත් එක්ක ගිය ගමන. මේ වෙද්දි වාහනේ මට ෆුල් කන්ට්‍රෝල් කියනෙක මට බොක්කට වැදිලා තිබ්බෙ. බ්‍රේක් අඩු වෙච්ච එක ගැටලුවක් උනේම නෑ හද්ද ට්‍රැෆික් එකේ යද්දිවත්. මාස ගානක් එක තැන ඉඳලා එකපාර දුවන්න ගත්තත් අබමල් රේණුවක මිස් එකක්වත් කාර් එකේ ආවෙ නෑ. අන්තිමට හවස විහාර මහාදේවි පාක් එකේ තිබ්බ after party එකටත් ඉඳලා, ටවුන්හෝල් එක ගාව තිබ්බ ඩොමිනෝස් එකෙන් පීසාත් කාලා, හැමෝවමව පරිස්සමට ගෙවල් වලට බස්සලා රෑ 12 විතර වෙද්දි මම ගෙදර ආවා...

ඒක හරි ලස්සන දවසක් මචං... 

අපි හතරදෙනා.. වමේ සිට දකුණට මම, සඳුන්, රංදිම සහ මානෙත්

 

පැරඩ් එකෙන් පස්සෙ අපි අලුත් නමක් දැම්මා ලාන්සරේට "යුධ ටැංකිය" කියල. මොකද අපි යුධ ටැංකියක් අරන් යනව වගේ ආතල් එකක ගියේ. ගිය හැමෝටම කරන්න දෙයක් තිබ්බා. මානෙත් නැවිගේටර් උනා. සඳුනා හරවන්න ඔිනෙ වෙලාවට අත දාලා සිග්නල් ලයිට්. රංදිම පිරිස කලමණාකරණය. ඒ් වගේම රංදිම හිටියෙ නැත්තං කොහොමත් මේ ගමන නොඑන්නත් තිබ්බා... ඌ යන් කියලා දීපු ගට් එකයි, ගමන පුරාම දීපු සපෝට් එකයි නැත්තං සිරාවටම මේ ගමනෙදි මොකක් හරි බාල්දියක් පෙරලෙන්නත් තිබ්බා කියලා මට හැමවෙලේම හිතෙනවා... 

මේ හැමදේටම පස්සේ "අපිට දැනුන දේ තමා ලාන්සරේ අපේ ජීවිත කතාවෙ ගොඩාක් වටින වස්තුවක් වෙලා කියනෙක... මෙච්චර දවසක් අපේ ගෙදර වාහනේ වෙලා ඉඳලා, එතනින් එහාට තවත් පිරිසකගෙ ජීවිතේ අමතක නොවෙන වස්තුවක් වෙන්න ලාන්සරේට පුලුවන් වුනා...

 

මේ ෆොටෝ එක මට පැරඩ් එක දවස මතක් කරන iconic ම ෆොටෝ එක. සඳුන්ව රෑ ගෙදරට බස්සන්න ගිහින් ඉන්න වෙලාවෙ මානෙත් අරන් තිබ්බ ෆොටෝ එකක්. 

 



පැරඩ් එකෙන් පස්සෙ අවුරුද්දට ගමේ යන එකයි එදිනෙදා ගමන් බිමයි යෑමයි ඇරුණම ආයෙ කොල්ලො ටික එක්ක ලාන්සරේ වටයක් දාන්න පුලුවන් උනේ වෙසක් දවසෙ. ඊට පස්සෙ ඉඳන් ස්ටියරින් බොක්ස් එකේ ඉඳන්, කාබියුරේටර් ඉඳන් ප්‍රශ්න වගයක් ආවා සහ ඒත් සමගම එක පිට එක ආව ආර්ථික ප්‍රශ්න සහ රස්සාවෙ ප්‍රශ්න එක්ක ආයෙත් කාර් එක දුවන මට්ටමකට ගන්න උනේ 2025 නොවැම්බර් කිට්ටු වෙද්දි. ඒත් ඒ් වෙද්දි එක්තරා විශේෂ හේතුවකට කොටි මලයා වෙච්ච මට ටික කාලෙකට හැමදේම අතෑරලා දුර ඈතකට එන්න කටයුතු සූදානම් වෙලා තිබ්බ නිසා ගෙදර අය එක්කවත්, යාලුවො ටික එක්කවත්, මට තනියෙන්වත් ලාන්සරෙත් තනියෙන් ජීවිතේ ගැන කතා කර කරවත් වටයක් දාන්න අවස්ථාවක් ලැබුනෙ නෑ...

මේක කොච්චර සතුටින් පටන් ගත්ත කතාවක් වුනත්, ලාන්සරේ ගැන මේ මොහොතෙ ඉතුරු වෙලා තියෙන්නෙ කඳුලු කතාවක් නිසා මෙතනින් එහා මොකක්ද වුනේ කියලා ලියන්න මට හදවත මට ඉඩ දෙන්නෙ නෑ...

ඒත් මම එකක් ලියනවා... මම කවදාවත් ලාන්සරේ අතාරින්නෙත් නෑ... ඒකෙ ඉරණම කවදාවත් හැමෝම හිතන විදිහට විසඳෙන්න ඉඩ තියන්නෙත් නෑ...

 

කොටි මල්ලි (Snow Kotiya)
2026.05.18 

 

 

 

 

Sunday, May 10, 2026

3D නිර්මාණකරය සහ මගේ වෘත්තීය ගමන - පළමු කොටස

ආයුබෝවේවා! අද සිරාවටම ලියන්න වෙනදට අවශ්‍ය කරන ගතසිත වටපිටාව හැමදේම නිස්කලංක, නිදහස් උන ඒ මල්වර නැකත නෑ. හැබැයි මටම වෙච්ච පොරොන්දුව උන ආයෙ දිගට ලියන්න පටන් ගන්නවා කියනෙකට සාධාරණයක් කරන්නත්, අමාරු තැන් වල පවා කිරීමට අවශය දේවල් කරන්න ඔිනෙ කරන විනය සහ වීර්යය පවත්වාගැනීම උදෙසාත්, දෙයක් කරන්න හොඳම වෙලාව ඒක කරන්න හිතෙන වෙලාව නිසත් ඔන්න අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් වෙලා new post බට්න් එක එබුවා. ඉතින් මයෙ රත්තරං යාලුවේ, කෝපි එකක් තේ එකක් හදාගෙන ලෑස්ති වෙන්න, මේක කොටි මලයගෙ ජීවිතේම වෙච්ච career එකේ කතාව කියන්නයි යන්නේ... මේක ගොඩාාාක් දිග කතාවක් නිසා සහ තාමත් වෙමින් පවතින දෙයක් නිසා, මම මේක කොටස් 2ක් හැටියට ලියන්නෙ. දෙවෙනි කොටස තව අවුරුද්දකින් විතර පළවේවි. එතකන් මේ පළවෙනි කොටස.


 

     මම බ්ලෙන්ඩර් ඉන්ස්ටෝල් කරලා 3ඩී මුලින්ම කරන්න පටන් ගත්තෙ 2020 මාර්තු වල. ඒ් චාරක ඉලංගසිංහ අයියා එයාගෙ ෆේස්බුක් වෝල් එකේ ෂෙයා කරල තිබ්බ Agent 327 එකේ ට්‍රේලර් එක බලලා බ්ලෙන්ඩර් එකේ කැපෑසිටි එක දැකපු නිසා සහ, ඒදවස් වල කර කර හිටපු 2ඩී ඩිසයින් සයිඩ් එකේ මට අනාගතයක් නෑ කියලා මට තේරුණ නිසා වෙනසක් ඔිනෙ වෙච්ච එක නිසා. 3ඩී වලට මම එන්න ප්‍රධාන සංසිද්ධි දෙක ඔය දෙක උනාට මම කවදාහරි 3ඩී වලට සහ ෆිල්ම්/vfx වලට එයි කියලා ඉඟි 2014 මම මුලින්ම ඉලස්ට්‍රේටර්, ෆොටෝෂොප් ඉගෙන ගනිද්දි පවා තිබුනා කියලයි මට අදටත් හිතෙන්නෙ. ඒකට හේතුව 2014 ඉඳන්ම මං ආෆ්ටර් ඉෆෙක්ස්ට්, 3ඩීස් මැක්ස් පොඩ්ඩ පොඩ්ඩ හරි ටච් කරලා තිබ්බා. ඒවත් එක්ක සහ බලපු ඇනිමේටඩ් ෆිල්ම් විශේෂයෙන්ම ice age සහ cars එක්ක, කවදහරි මේ වගේ නිර්මාණ කරන්න පුලුවන් තැනකට එන්න ඔිනෙ කියලා අදහසක් යටි හි‌තේ තිබ්බා. හැබැයි ඉස්කෝලෙ කාලෙ අනිත් හැමෝම වගේ ඩොක්ටර් පයිලට් ඉංජිනියර් හීන පස්සෙ දිවුව නිසා කවදාවත් එක දෙයක් අල්ලගෙන එක දිගට කලේ නැහැ සහ අනාගත වෘත්තියත් සම්පූර්ණයෙන්ම ඔිලෙවල් ඒ්ලෙවල් සහ කැම්පස් කියන සාම්ප්‍රදායික පද්ධතියට ඔිනෙ විදිහට තීරණය කරන්න දීලා වැඩ කරගෙන ගිය නිසා 2014 ඉඳන් 2020 ඉඳන්ම career එක විදිහට මේක කරනවා කියල අදහසක් කවදාවත් තිබ්බෙ නෑ. හැමදාම උනේ ග්‍රැෆික් ඩිසයින් වලින් පටන් youtube, adsense, web design, programing, hacking, trading  (උඹලට කියන්න ඒ දවස් වල telegram එකෙන් වැල අරන් වැල සයිට් එකක් පවා කරගෙන ad වලින් සල්ලි හොයන්න ට්‍රයි කලා :D ) වගේ හැමදේම කාලෙන් කාලෙට, රැල්ලෙන් රැල්ලට ට්‍රයි කරලා, අන්තිමටම ආයෙත් 2ඩී ග්‍රැෆික් ඩිසයින් වලට ඇවිල්ලා Designcrowd එකේ කන්ටෙස්ට් වලට ලොගෝ හදලා, Fiverr එකේ ඩොලර් 5ට logo,flyer, vector tracing කරලා ඉස්කෝලෙ යන එකෙක් විදිහට මාසෙට රුපියල් හත් අටදාහක් හොයලා මාසෙ ඉන්ටනෙට් බිල තනියම ගෙවාගෙන සතියට පාරක් කොත්තුවක් කාලා නැත්තං දිනුසර එකෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් කාලා ඉන්නෙකෙන් අවසන් වෙච්චෙක.

ඒ හැමදේමත් එක්ක 2020 වෙද්දි මට තේරිච්ච දේ තමා, මේ තමා මම යන පාත් එක කියනෙක. මට මුලින් තිබ්බෙ බ්‍රෑන්ඩින් සහ ඩිසයින් සයිඩ් එකෙන් ඉස්සරහට යන එක උනත් යටි හිතේ පොඩි අවුලක් තිබ්බා මේ දක්වා 2ඩී සයිඩ් එකේ මම කරගෙන ගිය දේවල් එක්ක. කොහොම උනත් ඒලෙවල් වලට ටෙක් තෝරගන්නත් ඒක එක හේතුවක් උනා. කොහොමහරි මාර්තු වල බ්ලෙන්ඩර් ඉගෙනගන්න පටන් ගත්තෙක සහ කොරෝනා නිසා අපිට සීමා විරහිත ඉස්කෝල නිවාඩුවක් එක්ක (මේ කාලෙ ඔන්ලයින් ක්ලාස්වත් හරියට පටන් ගත්තෙ නෑ...ඒවා පටන්ගත්තෙත් මාස ගාණකට පස්සෙ... ඒ් නිසා අපිට පොතක් දිහා හැරිලවත් බලන්නැතුව ඉන්න මාස ගාණක් සෙට් උනා. අනික කොරෝනා වල උග්‍රම කාලෙ වෙච්ච නිසා ඉගෙනගන්න කලින් පණ බේරාගතයුතුයි කියන මතේ හැමෝම හිටපු නිසාද කොහෙද ගුරුවරු පවා උගනන්න සීන් එකට බැස්සෙ නෑ ඒ දවස්වල...) 

ඒ හැමදේමත් එක්ක බ්ලෙන්ඩර් වලින් 3ඩී මොඩලින් කරන්න පටන්ගත්තෙක මට හිතට අල්ලලා ගියා මචංලා සෑහෙන්න. වැඩේ පටන් ගද්දි මම හිතාගත්ත දේ තමා මේ 3ඩී pipeline එකේ හැමඑකම හොඳට මාස්ටර් වෙනකන් අනිත් තැන් වලට යන්නෑ කියල. ඒ නිසා මාස ගාණක් ටෙක්ස්චරින් වත් නොකර මම කලේ  පුලුවන් තරං මොඩ්ල් කරපු එක. පින්ටරෙස්ට් එකෙන් දකින පින්තූර වල තියන ඔබ්ජෙක්ට් මොඩ්ල් කලා පුලුවන් තරං. කොහොමහරි 2020 අප්‍රේල් 13 වෙනිදා තමා ෆේස්බුක් එකට මම මුලින්ම මගේ ත්‍රීඩි මොඩ්ල් එකක් අප්ලෝඩ් කරල තියෙන්නෙ. මට මතකයි මම මුලින්ම කලේ මෙන්න මේ පඩි පෙලේ ත්‍රීඩි මොඩ්ල් එක. මං හිතන්නෙ අලුත් අවුරුද්දෙ වැඩ අල්ලන නැකතින් කරපු එකක් වෙන්න ඔිනෙ මට හරියට මතක නෑ දැන් :D


 ඉතින් මේ පඩිපෙලෙන් පටන්ගත්තම මගෙ 3ඩී ගමනෙ එක එක සංදිස්ථාන ගොඩක් තියනවා. එයින් පළවෙනිම එක තමා 2020 නොවැම්බර් වල visual arts and experience group එකේ සංජය ප්‍රභාෂ්වර ගුණවර්ධන අයියා Fb එකේ මම දාල තිබ්බ මොඩ්ල් ටික දැකලා මට 3ඩී මොඩලින් වැඩ වලට කතා කරපු එක. law of attraction වැඩ කරන හැටි හරි පුදුමයි මචංලා. චරිතගෙ කුවේණි කොන්සට් එකේ vaeg එකෙන් කරපු වැඩ ටික දැකලා ආසාවෙන් ඉද්දිම සංජය අයියා කතා කරපු එක සිරාවටම මගෙ ජීවිතේ law of attraction වැඩ කරපු තැනක්. සංජය අයියා මට කතා කරන්නෙ 3ඩී වලින් commercialy වැඩ කරනවා තියා හිතලවත් නැති පසුබිමක. මට පුලුවන් මොඩලින් විතරමයි. ටෙක්ස්චරින්වත් බෑ. කොහොමහරි සංජය අයියා මාව සෙට් කලා එතන හිටපු සුනෙත් දීප්ත අයියට. සුනෙත් අයියා එක්ක virtual event වලට 3ඩී මොඩ්ල් හදපු එක තමා 3ඩී වලට ආවට පස්සෙ මම professionaly කරපු පළවෙනි වැඩේ. ඉතින් මාව 3D artist කියන career එකට ඇදලා ගත්තෙ vaeg සංජය අයියා. ඒ ගෞරවේ හැමදාම මගෙ හිතේ තියනව.

එතනින් පස්සෙ vaeg එකේ ප්‍රොජෙක්ට් කීපෙකටම මම ඒ කාලෙ සහභාගි උනා 3ඩී මොඩලර් කෙනෙක් හැටියට. projection mapping ප්‍රොජෙක්ට් වල පවා මම වැඩ කලා.  මට හැබැයි එතන ෆුල් ටයිම් වැඩ කරන්න උනේ ඒලෙවල් වලින් පස්සෙ මාස කීපයක් විතරයි මොකද ඒ කාලෙ මගේ උසස් අධ්‍යාපන කෙරුවාව සෑහෙන්න අවුල් සහගත මට්ටමක තිබුන නිසා. ඒ කතා කියන්න වෙනම පෝස්ට් එකක් මම පස්සෙ ලියනවා.

හැබැයි මට මේ කතාව කියන්න ඔිනෙ. 2020 ඉවර වෙද්දි 3ඩී කියන්නෙ මගෙ අනාගතය සහ මගෙ සම්පූර්ණ career එක කියනෙක මම තීරණය කරලා ඉවරයි. ඒකත් එක්ක මට ලොකු ප්‍රශ්නයක් උනේ මගෙ උසස් අධ්‍යාපනය. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයත් එක්ක මට මේ  career එකේ ඉස්සරහට යන්න පුලුවන්ද කියන ප්‍රශ්නේ මගේ හිතේ තිබ්බා. මොකද අඩු ගානෙ රජයෙ කැම්පස් වල මේ සබ්ජෙක්ට් උගන්නන්නෙ නැහැ. ළඟින් යන්න දෙයක් කරන්නෙ මොරටුවෙ කැම්පස් එකේ integrated design කෝස් එකේ විතරයි. සහ ආට් සයිඩ් එකේ ඩිග්‍රියකට යන්න මට කැමැත්තක් තිබුනෙත් නැහැ මොකද ඒවල සිලබස් මම කරන වැඩේට 100%ක් හරියන්නෙ නැති නිසා. ඒ වගේම මම ටෙක් කරපු නිසා මට ඒ ඩිග්‍රි බහුතරයකට ඉල්ලන්නත් බැහැ. සහ මම ඒ කාලෙ ඉන්ස්පයර් උණ ආටිස්ට්ලා එක්ක කතා කලාමත් ඒ හැමෝම වගේ ඒලෙවල් අතෑරලා මේක කරපු අය. ඉතින් ඒවත් එක්ක කාලයක් තිබ්බා මමත් ඒලෙවල් අතෑරලා ගෙදරත් එක්කත් වලි දාගෙන 3ඩී කරපු. හැබැයි සෑහෙන බල්ටි ගොඩකට පස්සෙ 2021 මැද වගේ ඉඳන් මම 3ඩී කරනෙකත් ටිකක් විතර අඩු කරලා සීරියස්ලි පාඩම් කරලා රජයෙ කැම්පස් එකකට සිලෙක්ට් වෙන්න ඒ්ලෙවල් රිසල්ට් එකක් දාගන්නව.

හැබැයි සෙල්ලම පටන් ගත්තෙ ඊට පස්සෙ...

මේ කාලෙ වෙද්දි මචං මගෙ ඔලුවෙ තිබ්බා මෙන්න මේ දේ. 1ක් තමා මම හරියටම මේ 3ඩී වලින් කරන්නෙ මොකක්ද කියනෙක සහ මම මේ ලෝකෙට මම මේ දන්න ශිල්පෙන් මොකක්ද දෙන්න ඔිනෙ කියනෙක. ඒ් මොකක්ද සහ මගේ අනාගත බලාපොරොත්තුව, මගේ හීනේ මොකක්ද කියලා මම දැනට රහසක්ව තියාගන්නවා. හැබැයි මේ හීනෙට යන්න නං, මම මේ ෆීල්ඩ් එකේ මාස්ටර් කෙනෙක් වෙන්නම ඔිනෙ සහ එක්ස්පීරියන්ස් එකෙන් වගේම ඇකඩමික් වලින් උඩම තැනකට යන්න ඔිනෙ කියන තැන මම සැරටම හිටියා. අන්තිම කාලෙ ඒලෙවල් බොක්කෙන් කරන්නත් ඒක එක හේතුවක්. 

මේ කාලෙ මම සෑහෙන්න ට්‍රයි කලා මොරටුවෙ කැම්පස් එකේ integrated design කෝස් එකට. ඒ්ත් ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ෆේල් වීමත් එක්ක ඒක කරගන්න බැරි වුනා. මාව සෙට් උනේ කැම්පස් පොත දාද්දි නිකමට දාපු වයඹ කැම්පස් එකේ engineering technology ඩිග්‍රී එකට. මම වයඹ කැම්පස් එකට ගියෙ රෙජිස්ට්‍රේෂන් දවසෙ විතරයි. මට පලවෙනි දවසෙ ඉඳන් කැම්පස් එක හිතට ඇල්ලුවෙ නෑ. අපේ ඔරියන්ටේෂන් තිබ්බෙ ඔන්ලයින්. මට කෝස් කන්ටෙන්ට් එකම එපා උනේ ඔරියන්ටේෂන් එකේ ඉඳන්. ඒකත් එක්ක 2023 ජුනි මාසෙ මුල මං ගත්තා මගෙ ජීවිතේ ගත්ත අමාරුම තීරණයක්, ඒක මට විතරක් නෙවේ අපේ මුලු ගෙදර අයටම විශේෂයෙන් අපේ අම්මට සෑහෙන්න අමාරු තීරණයක් වුනා. ඒ තමා වයඹ කැම්පස් එකට නොගිහින් ඉන්නෙක සහ 3ඩී වලින් දිගටම ඉස්සරහට යන එක. මොකද අපේ අම්මගෙ ජීවිතේ තිබ්බ ලොකු හීනයක් තමා මං රජයෙ කැම්පස් එකකින් ඩිග්‍රියක් ගන්නවා දකින එක. මේ හැමදේමත් එක්ක මට මගේ ඇඟේ තියන passion එකත් මරාගෙන වයඹ කැම්පස් එකට යන්න උවමානවක් තිබුනෙ නෑ. හැබැයි මම එක දෙයක් හිතාගත්තා, ඒ තමා අම්මගෙ හීනෙ මම හැබෑ කරනවා වයඹ කැම්පස් එකටත් වඩා හොඳ විදිහකට සහ මගෙ හීනෙත් මම මොන ලෝකෙන් හරි හැබෑ කරගන්නවා කියනෙක.

මේ කාලෙ වෙද්දි මම freelancer කෙනෙක් විදිහට මේ ෆීල්ඩ් එකේ ගොඩක් සීනියර් අය සමග වැඩ කරලා මගෙ එක්ස්පීරියන්ස් හදාගත්තා. නිපුන මාකලන්ද අයියා කියන්නෙ මේ අතරින් අනිවාර්යයෙන් මතක් කළ යුතු කෙනෙක්. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා. හැබැයි, එයා ගැන මම වැඩිය කියන්න කැමති නෑ. මොකද එයා එක්ක මට තියෙන්නෙ වෙනම කතාවක්, ඒ කතාව මම ලියනවා මේ පෝස්ට් එකේ දෙවනි කොටසෙදි.

ඉතින්, මම තීරණය අද මේ කතාවෙ පළවෙනි කොටසේ අවසානය මෙතනින් සනිටුහන් කරන්න. මොකද ලස්සනට ලියන්න ඔිනෙ කරන මල්වර නැකතින් නෙවේ අද ලිවුවේ. අද ලිවුවෙ විනයෙන්. ඒ නිසා කතා රසය ගොඩක් අඩුයි. හැබැයි, මම දිගටම ලියනවා.... නවත්තන්නැතුව...

 

කොටි මල්ලි (Snow Kotiya)
2026-05-10

 

 

Saturday, March 28, 2026

අපි සෑහෙන කාලෙකට ආයෙ හම්බෙන එකකුත් නෑ මචං....

මේක සුබවාදී පෝස්ට් එකක් නෙවේ, 

ඒ වගේම මේකෙ තියෙන්නෙ ප්‍රශ්න ගොඩක් විතරයි. මම මේක ලියන්නෙ, පණ පිටින් හිටියොත් තව අවුරුදු 10කින් අපි මොන තැන් වල හිටියත්, අද අපි හිටියෙ මෙහෙමයි කියල මට ආයෙ මතක් වෙන්න...

මට මේ බ්ලොග් එකේ පරණ පෝස්ට් කියවද්දි දැන් ගොඩක්ම හෙන ක්‍රින්ජ් ෆීලිං එකක් දැනුනත්, අවුරුදු 10කට කලින් පොඩි ළමයෙක් විදිහට ගෙව්ව ජීවිතේ තිබ්බ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස සහ අහිංසක බව, මම දැන් ගෙවන ජීවිතේ තියන හැමදේටම වඩා වටිනවා කියල හිතෙනවා.  ඒ කාලෙ ඇත්තටම තිබ්බෙ පූසොන්ගෙ ප්‍රශ්නයි, කම්පියුටරේ ප්‍රශ්නයි, ඉස්කෝලෙ ප්‍රශ්නයි විතරයි. ඒත් අද, කන්නෙ මොනවද කියන එකේ ඉඳන් හැමදේම ප්‍රශ්නයක්.

මීට අවුරුදු 10කට කලින් මගෙ ළඟින් ඇසුරු කරපු, මම ආදරය කරපු ගොඩක් අය මගෙ ළඟ නෑ. සමහරු ජීවතුන් අතර නෑ. බහුතරයක් තව සෑහෙන කාලයක් යනකන් මට ආයෙ හම්බෙන එකකුත් නෑ. අවුරුදු 10කට කලින් මේ බ්ලොග් එකේ සෑහෙන්න ලියවිච්ච නම් තිබ්බා...ඒ අය එක්ක සෑහෙන කාලෙකින් මම කතා කරල නෑ, දැකල නෑ... 2019න් පස්සෙ මගෙ ජීවිතේ ලොකූ කතාවක් වුන ටීම් විත් පන්තිනායක ගෲප් එකේ අවසානයත් සනිටුහන් කරපු ස්ක්‍රීන්ෂොට් එකක් ඊයෙ පෙරේදාවක රංදිම එව්වා, ගෲප් එකේ හැමෝම ලීව් වෙලා කියලා. අඩුගානෙ හදපු මටවත් ඒක අවසානයක් නොදී රැකගන්න බැරි වුනා. 

අපි දැන් ඉන්නෙ තුන් වෙනි ලෝක යුද්ධෙ අභියස. ඒත් ඊට කලින් අපි හැමෝම ජීවිත යුද්ධෙට අහුවුනා. 2022 පෙබරවාරි වල ඒ්ලෙවල් ඉවර කරලා සමාජෙට වැටුන ගමන් අපිට මේ වෙන්නෙ මොකක්ද කියනෙක මට තාමත් හිතාගන්න බෑ. 2016 දි ගණන් පන්ති ඉවර වෙලා රුපියල් 150ට ෆුල් කොත්තුවක් තුන් හතර දෙනෙක් එක්ක සෙට් වෙලා කාපු අපිට අද තනියම කන්න නෝමල් කොත්තුවක් කන්න වෙලාවක්, නිදහසක්, සල්ලියක් හොයාගන්නත් සතියක් ජොබ් එක කරන්න වෙලා. ඔක්කොටම වඩා, අපිට ආයෙ බොක්කෙ හිටපු එවුන් තුන් හතර දෙනා එක්ක සෙට් වෙලා කොත්තුවක් කන්න කවදා අවස්ථාවක් ලැබෙයිද කියන එක ප්‍රශ්නයක් වෙලා.

ඔිලෙවල් කාලෙ අපි සිරාවටම ලව් කලා මචං. ඒ කාලෙ අපේ එවුන්ගෙ තිබ්බ සිරා ලව් එකක්වත් දැන් නෑ. බොක්කෙ යාලුවො දැන් බැඳලා නැත්තං එංගේජ් වෙලා.. ඒ් කාලෙ හිටපු ලව් නෙවේ බං වෙන වෙන එවුන්ව.... බොක්කෙන්ම ලව් කරපු කොල්ලො තාම තනිකඩයි, සමහරවිට... උන් කවදාවත් ආයෙ ලව් කරන එකකුත් නෑ... 

මම අද මේක පෝස්ට් එක ලියන්නෙ ඉපදුන දා ඉඳන් ජීවත් වුන තැනේ ඉඳන් ගොඩාක් ලොකු දුරක ඉඳන්.. දුර ඉඳන් හරි ළඟින් ඉන්නෙ ගෙදර අයයි රංදිමයයි විතරයි... අනිත් හැමෝම, ගතින් වගේම හිතිනුත් මගෙන් ගොඩක් දුර ගිහින්, මම එයාලගෙන් දුර ගිහින්.. 

අපි සෑහෙන කාලෙකට ආයෙ හම්බෙන එකකුත් නෑ මචං....


කොටි මල්ලි (Snow Kotiya) 
2026-03-28 

Saturday, March 7, 2026

මගේ මොටෝ බයිසිකල් කෙරුවාව...

 ඉතින් මිත්‍රවරුනි,

පොඩියට ලියන්න පටන් ගත්ත මෝටිවේසන් එකෙන් පස්සෙ, පොඩි පෝස්ට් 2,3කුත් වැටුනට පස්සෙ, දිග පෝස්ට් එකක් ලියවෙන්න ඔිනෑ කරන හිත, ගත, වටපිටාව හැමදේම සන්සුන් උන ඒ දුර්ලබ මංගල නැකතක් 2026 මාර්තු 7 වන අද දින, දවල් 1 වගේ වෙන මේ මොහොත වෙද්දි උදා වෙලා තියනවාය කියල කොටි මලයාගෙ හදවතට දැනෙන්න පටන් ගත්ත නිසා සෑහෙන කාලයක් තිස්සෙ බ්ලොග් එකේ ලියවෙන්න නියමිත වෙලා තිබ්බ කොටි මලයගෙ ජීවිතේ සිරා කතාවක්, ජීවිතයේ එක්තරා කොටසක් ගැන ලියන්නයි මේ සූදානම..

මීට කලින් පෝස්ට් වල කොටි මලයාගේ කාර් පිස්සුව ගැන ඇති වෙන්ඩ ලියලා තිබ්බ උනත් බයික් පිස්සුවක් ගැන සඳහන් කරල තිබුනෙ මිට වසර 9කට කලින් ලියවෙච්ච හිරු බැස යන සැන්දෑවක චැලි බට්ටා සොයා ගියෙමි  පෝස්ට් එකේ. ඉතින් ඒ් පෝස්ට් එකේ දිගුවක් සහ ඊටත් කලින් කොටි මලයගෙ බයික් පිස්සුවේ අල ගිය මුල තැන් ඉඳන් සියල්ලම දිගාරින්න තමා කොටි මලයා ලැප් එක උකුලට අරන්, ඇඳට වෙලා සැපේ ඉඳගෙන, කිරි කෝපි එකකුත් පැත්තකින් තියාගෙන සෙට් වෙන්නෙ... 

මගෙ බයික් පිස්සුව පටන් ගන්නෙ අවුරුදු 10කට විතර කලින් 2016 විතර... ඊට කලින් මට සිරාවටම බයික් පිස්සුවක් කියල දෙයක් තිබුනෙ නෑ මචංලා. මට තිබ්බෙ කාර් පිස්සුවක් විතරයි. ඊට කලින් බයික් පිස්සුවකට කියල තිබ්බෙ ITN එකේ ගිය "අමන්දා" කතාවෙදි (තව ,"පබලු" කියල කතාවකුත් තිබ්බා) දැක්ක හොනට් එකට තිබ්බ ආසාවයි, පාරෙදි ලොකු බයික් දැක්කම පොඩ්ඩක් හැරිලා බලනෙකයි, නවත්තලා තියන ලොකු බයික් වල මීටරේට එබිල මීටරේ ටොප් ස්පීඩ් කීයට තියනවද කියල බලපු එකයි විතරයි. හැබැයි 2016 වෙද්දි මම ගොඩක් ෆේස්බුක් පාවිච්චි කරන්න පටන් අරන් තිබුනෙ. ඒකත් එක්ක මචං මං ජොයින් උන ගෲප් එකක් තිබ්බා BIKE HOME කියල. ඔය ගෲප් එකේ පෝස්ට් මට අල්ලලා ගියා මචංලා. හොඳ බයික් පදින කමිනිටි එකක් තිබ්බා. සහ මට තියන එක්තරා මානසික ආබාදයක් තමා මට බං මොකෙක් හරි එකෙන් මොකක් හරි දේකින් මලොත් අන්න ඒ් දේ ගැන හෙන ඉන්ටරෙස්ට් එකක් එනව මචං. මට මතකයි පොඩි කාලෙ ලංකාවෙ ෆයිටර් පයිලට් කෙනෙක් මලා ඊට පස්සෙ මට පයිලට් කෙනෙක් වෙන්න සෑහෙන උනක් තිබ්බ. ඔය කාලෙත් උනේ ඔය ෆේස්බුක් ගෲප් එකේ සහ ෆේස්බුක් එකෙත් ගොඩක් වයිරල් උනා කොල්ලෙක් සෙත්තපෝච්චි වෙච්ච සීන් එකක් හයිකැපෑසිටි බයික් එකක ගිහින් ඇනගෙන. XJ6 එකක් බස් එකක වදින සීන් එකක් සමහර විට බයික් පිස්සුව තිබ්බ ඒ් කාලෙ කොල්ලන්ට මතකත් ඇති. කොහොමින් කොහොමින් හරි බයික් වලට මගේ හිතේ තිබ්බ ආසාව ඇවිස්සුනේ ගොඩක්ම ෆේස්බුක් එකෙන්ම ආපු influence එකෙන්. 

කොහොමින් කොහොමින් හරි විශ්වයාගෙ ආශ්‍රයත් එක්ක තමා ඔය යටි හිතේ ආසාව සෑහෙන දලු ලා වැඩෙන්න ගත්තෙ. ඒකට චැලි බට්ටගෙ කතාව සිරා ටර්නින් පොයින්ට් එකක් වගේ උනා ඒ් දවස් වල. ඒ් වගේම තව සීන් එකක් උනේ සුදු පාට D Tracker සහ මගේ ප්‍රථම ප්‍රේමය කතාවෙදි ප්‍රථම ප්‍රේමෙන් හිත චූට්ටක් විතර රිදිලා ඉන්න දවස් වල ඒ දුක් ගින්න නිවාලන වතුර පොද උනේ බයික් පිස්සුව වෙච්චෙක. ඒ් කාලෙ වගේම අදටත් මගේ හදවතේ තියෙන්නෙ කෙට්ටු උස බයික් වෙන්න ඒකත් එක හේතුවක් වෙන්නැති.  

ඔය අතරවාර කාලෙ ඒ් කියන්නෙ 2017-2018 වකවානුවෙ තමා මම මුලින්ම මොටෝ බයිසිකලයක් පදින්න පුරුදු වෙන්නෙ. මුලින්ම පැද්දෙ චූටි අම්මට රජයෙන් රුපියල් 50000ට හම්බෙච්ච Hero Pleasure ස්කූටරේ. මගෙ දයාබර පියාණන් තමා පදින්න පුරුදු කලේ (අඩෝ ඒ කාලෙ රජයෙන් අඩුවට දීපු ඒ බයික් ටික නං සිරාවටම මාර වටිනවා. අදටත් පුංචිලගෙ Hero Pleasure එක තියනවා. චූටි අම්මලගෙ එක නං පසුකාලීනව විකුණුවා.) ස්කූටරේ පදිද්දි තමා මට මුලින්ම තේරුනේ බයික් වල ස්පීඩ් යන්න කොල්ලො සිරාවටම ආස ඇයි කියල. ඒ්ක ආතල්, නිදහස්, මරු... සිරාවටම... වෙනම හැඟීමක්...

කොහොම හරි ඊට පස්සෙ පියාණන් ගෙදර තිබ්බ පියාණන්ගෙ පියාණන්ගෙ Suzuki GP100 එක කුණු දූවිලි ගසා දමා, කාබ් එකට ටියුන් එකක් දීලා (අපේ පියාගෙ කාබ් ටියුනින් වලට ආයෙ ගහන්න වෙන ටියුන් එකක් නෑ ඒ් බයික් එකේ නං) මට මුලින්ම ක්ලච් බයික් එක පදින්න දුන්නෙ. මුලින්ම කාර් එක පැදලා ක්ලච් එක හුරු වෙලා තිබ්බ නිසා ගේමක්ම උනේ නෑ. ඒ් කාලෙ දික්හේනපුර අතුරුපාරවල් අස්සෙ රවුම් ගහන එකමයි වැඩේ ඉතින්. මට මතකයි ඔය අපි ඔිලෙවල් කරන අවුරුද්දෙ. ඔික ඒ දවස් වල අපේ පමෝදය එක්කයි පැද්දෙත්. මට මතකයි මම තමා ඔිකට මුලින්ම ක්ලච් එක හුරු කරල බයික් එක පදින්න ඉගැන්නුවෙ. ගස් බල්ලට මතකවත් නැතුවැති ඒව දැන් :D

ඊට පස්සෙ 2018 අග වගේ වේගෙන එද්දි GP එක ආයෙ ගෙදර මුල්ලට වැටෙනවා ඒකෙ ආපු පොඩි රෙපයාර් ටිකක් නිසා. සහ පියාණෝ සමග මගෙ තිබ්බ පොඩි අඩදබර ඒවත් එක්ක මට මගේම බයික් එකක් ගැනීමේ පුකේ අමාරුවත් ඇති වෙනවා. මේ කාලෙදි මගේ චැලි පිස්සුවත් උපරිමයි සහ හම්බෙන සොච්චම් වලින් චැලියක් ගැනීම තමා පුකේ අමාරුව. මට මතකයි මං ඉස්සර ඔය තල්ගහවිල පාරෙ චැලි සෙට් එකට ෆේස්බුක් එකෙන් මැසේජ් දදයි කෝල් කර කරයි වද දිදී රුපියල් දහදාහට චැලි හෙව්වා විශ්වයා වගේම. ඒ් දවස් වල චැලි පිස්සුව ලංකාවෙ බහුතරයක් කොල්ලොන්ගෙ හිත් වල පීක් එකේම තිබ්බ පිස්සුවක් නිසා දහදාහට කවදාවත් චැලියක් ගන්න අපිට සෙට් උනේ නෑ. 


 

ඔිලෙවල් ඉවර වෙච්ච ගමන් ඒ් දවස් වල අතේ ඉතුරු වෙලා තිබ්බ රුපියල් 3500ක පොකට් මනී ටික වියදම් කරලා මං කලේ ෆුල්ෆේස් හෙල්මට් එකක් ගත්තෙක. බයික් එකක් නැති උනත් ඒ් ෆුල්ෆේස් හෙල්මට් එක පවා මගෙ බයික් පිස්සුවට දිව්‍ය අමෘතයක් වුනා ඒ කාලෙ. තල්ගහවිල පාරෙ ප්‍රසිද්ද චැලි අන්ඩයෙක්ගෙන් තමා මං ඒ්ක ගත්තෙ. ඒක දෙන්න ඌ ආවෙත් සුපිරියට හදපු චැලියකින්. මට මතක හැටියට 2018 දෙසැම්බර් 25 වගේ තමා මං ඒ හෙල්මට් එක ගත්තෙ. එදා ඉඳන් අද වෙනකන්ම ඒ් ආදරණීය බියොන් ෆුල්ෆේස් හෙල්මට් එක තමා බයික් එකේ යද්දි මගේ ඔලුවේ නිත්‍ය ආරක්ෂකයා වෙලා ඉන්නෙ. 

මගේ beon ෆුල්ෆේස් හෙල්මට් එක සහ මම

කොහොමහරි ඔිලෙවල් ඉවර වෙලා, හොඳ රිසල්ට් එකකුත් දාලා ගැම්මෙන් ඉද්දි මට තෑගිබෝග විදිහට ලැබෙන සල්ලි ටිකක් සහ ෆයිවරේ වැඩ කරලා හම්බෙච්ච සල්ලි ටිකකුත් දාලා බජට් එකත් ටිකක් වැඩිකරගෙන මම ආයෙත් චැලියක් ගන්න සීන් එකට එන්ටර් වෙනවා. මේ පාර නං වැඩේ නැගලම යන සීන් එකක් තිබ්බෙ අපේ මාමාකාරයයි පියාණන්වයිත් සීන් එකට ඈඳගෙන මම චැලියක් හොයන්න ගන්නවා 2019 අප්‍රේල් මාසෙදි. ඉතින් ඔය අතරවාරෙ ෆේස්බුක් එකේ මම ඇඩ් එකක් දකිනවා 100 එංජිමක් තියපු පොත්පත් තියන, ලයිසන් පරණ චැලියක් (මට මතක හැටියට 15000කට) විකුණන්න දාලා තියනවා මීගොඩ පැත්තෙ. ඒ් පාර හවස (හවස කිවුවට මහ රෑ යන්න උනේ) මාමයි පියාණොයි වැඩ ඇරිලා ආවට පස්සෙ 13ශ්‍රී6127 එක්ක අපි ගියා මීගොඩට. මේ ගිය දවස හරි විශේෂ දවසක් හේතුව පස්සෙ කියන්නං. මට මතකයි යද්දි පාදුක්ක හරියෙ වගේ පොලීසියෙනුත් අපිව නවත්තලා චෙක් කලා. කොහොමහරි මට ගිය පැත්ත හරියට මතක නෑ කොහොමහරි එක්තරා අතුරුපාරකින් හැරිලා පාර හොයාගන්න බැරුව ඩෑල් එකට කෝල් කලාම මොඩිෆයිඩ් සීටී100 එකක නැගපු සුදාත්ති ටයිප් එකේ එකෙක් මගට ආවා. ඊට පස්සෙ උගෙ පිටිපස්සෙන් උගෙ ගෙදරට ගිහින් අපි බැලුවා බයික් එක.

මචං මට ඒවෙලාවෙ දැනුන ෆීලිං එක වචන වලට හරවන්න හරි අමාරුයි මචංලා. අපි බයික් එක බලන්න යද්දි රෑ 9ට විතර කිට්ටු කරල ඇති. බයික් එක ඒ් ගෙදර මිදුලෙ තිබ්බෙ. මුල ඉඳන්ම මට මහ මුස්පේන්තු ගතියක් දැනෙන්න ගත්තා වටේ හැමුවෙන් හොල්මන් ටයිප් එකේ සීතලක් තියන හුළඟක්. බයික් එකේ පෙනුමත් මාර මරුමුස් පත 100 එංජිමක් තියල තිබ්බෙ. බයික් එකේ තත්ත්ව පරීක්ෂාකලේ මාමණ්ඩියා. මාමණ්ඩියයි බයික් එක විකුණන සුදාත්තියගෙයි කතාබහ තමා මේ...

මාමා - මේක ස්ටාට් කරන්න බැරිද?

සුදාත්ති - ස්ටාට් කරන්න බෑ මං එංජින් ඔයිල් අයින් කරල තිබ්බෙ. 

මාමා - පොත්පත් බලන්න පුලුවන්ද?

සුදාත්තියා ඒ පාර ෆෝන් එක අරන් පොතෙයි ලයිසන් කොලවලයි ෆොටෝ පෙන්නුවා.

මාමා - ෆොටෝ නෙවේ මල්ලි ඔරිජිනල් පොතයි ඒ ටික නැද්ද? ෆොටෝ බලල ගෙනියන්න බෑනෙ

සුදාත්ති -  ඒව නං දැනට මං ගාව නෑ. මේ ළඟ ගෙදරක මල්ලි කෙනෙක්ගෙ බයික් එකක් එයාගෙ ගෙදර අය මට කිවුවා මේක විකුණලා දෙන්න කියලා.

මාමා - ඒ් මල්ලි කෝ දැන්?

සුදාත්ති - මල්ලි නං නැතිවුනා.

අපේ පියා - කොහොමද එයා නැති වුනේ?

සුදාත්ති - හැප්පිලා තමා නැති වුනේ

මේ අවස්ථාවේ මගෙ බොක්ක කූල් වෙලා, කකුල් හිරි වැටිලා, පලු යන්න බය වෙලා හිටියේ. මට හොඳටම විශ්වාසයි මචං ඒ වෙලාවෙ ඒ බයික් එකේ අයිතිකාරයගෙ ආත්මය ඒ අවට සැරිසැරුවා. 

එතනින් ඒ් සංවාදය අවසන් වුනා මචං. මාමගෙයි, අපේ තාත්තගෙයි, සුදාත්තිගෙයි සංවාදය අවසානය මගේ චැලි පිස්සුවේ අවසානයත් සනිටුහන් කලා වගේ හැඟීමක් ඒ් වෙලාවේ කොටි මලයාගේ චින්ත සන්තානයට දැනුනා.

ඊට පස්සෙ අපි එතනින් කැපිලා ආවා. ඒ ගමන් ඒ් අවට විකුණන්න තිබ්බ චැලි දෙක තුනක ඇඩ් ෆේස්බුක් එකෙන් හොයලා අංක වලට කතා කලත් ගොඩක් රෑ වෙලා තිබ්බ නිසා ප්‍රතිචාරයක් ලැබුනෙ නැති නිසා අපි ආයෙ ගෙදර ආවා. 

ඊට පස්සෙ පහුවෙනිදා ඉරිදාවක්, මායි පියාණොයි උදේ පාන්දරම ඈගල්ඔය පැත්තට චැලි හංටින් විසිට් එකක් දැම්මා. හැබැයි ඒ වෙද්දි මගේ හිතට හෙන අවුලක් දැනෙමින් තිබ්බා චැලි ගැන එදා රාත්‍රියෙ සිදුවීමෙන් පස්සෙ. හරි හමන් බයික් එකක් හම්බුනේ නැති හින්දා අපි දවල් වෙද්දි ගෙදර ආවා. එතකොට තමා නිවුස් වල ගියෙ පල්ලි වලට බෝම්බ ගහපු සීන් එක. ඔව්...ඒ අප්‍රේල් 21 වෙනිදා 2019. අපි මීගොඩ චැලිය බලන්න ගියෙ 20 වෙනිදා.

ඉතින් ඊට පස්සෙ රටේ ඇවිලුනු භීතිය පිරුණු වාතාවරණය එක්ක චැලි හංටින් සැසි එතනින් නිමා වුනා සහ මගේ චැලි පිස්සුව එතනින් සහමුලින්ම නිමාවුනා. ඒ වගේම මගේ බයික් පිස්සුව පරිණත බයික් පිස්සුවක් වීමේ මූලාරම්භය විදිහටත් ඒ මීගොඩ චැලි හංටින් එකේ ගිය දවස මට හඳුන්වන්න පුලුවන්. කොහොමහරි ඊටත් දින කිහිපයකට පස්සෙ තමා චැලියක් ගන්න ඉතුරු කරන් හිටපු සල්ලි ටිකෙන් මම ආයෙත් ඩෙස්ක්ටොප් කම්පියුටරයක් ගෙනාවෙ. ඒ කතාව මගේ ඩෙස්ක්ටොප් කෙරුවාව පෝස්ට් එකේ ලියල තියනව. හොඳම ආතල් එක තමා මට කම්පියුටරේ විකුණපු එකා ඒක විකිණුවෙන් චැලියක් හදන්න සල්ලි ඔිනෙ නිසා වෙච්චෙක.

ඔය සිදුවීම් සියල්ලෙන් පස්සෙ 2020 ඉඳන් වෙච්ච සිදුවීම්, කොරෝනා සහ ගොඩාක් දේවල් එක්ක මගේ බයික් පිස්සුව සැලකිය යුතු ලෙස පහල ගියා මචං. යටි හිතේ ආසාවල් එහෙම්මම තිබ්බත් බයික් දිහා ගොඩක් පරිණත ඇහැකින් බලන්න මම පුරුදු වුනේ එතකොට. 2023 ලයිසන් ගත්තට පස්සෙ 86ශ්‍රී3748 GP100 එක මගේ නිත්‍ය ගමන් සගයා බවට පත්වෙනවා සහ ඒක මගේ පරම්පරා උරුමය වෙමින් අපේ පියාණෝ ඒක මගේ නමටම පවරා දෙනවා.  

මයෙ වස්තුව

Platina එක... මේක තාම තියනව අපි ගාව

86ශ්‍රී3748 එක්ක මගේ ජීවිතයේ රසවත් තැන් ගොඩක් තියන නිසා ඒකට වෙනම පෝස්ට් එකක් ලියන්න ඔිනෙ. ඒ නිසා ඒ කතාව මෙතන මම ලියන්නෙ නැහැ. නමුත් ඒ අතරම ලොකු shout out එකක් යන්න ඔිනෙ අපේ පියාණෝගෙ Suzuki GS125 බයික් දෙකට සහ Bajaj Platina 100 බයික් එකට. මගේ මොටෝ බයිසිකල් කෙරුවාවෙ වැදගත් සන්ධිස්ථානයත් ගොඩක් ඒ් බයික් 3ත් ලකුණු කරලා තියන නිසා ඒවට නිසි ගෞරවේ දෙන්න ඒ්වට වෙනම පෝස්ට් එකක් ලියන්නම ඔිනෙ.

මේ තමා GS125 දෙක.. මේ දෙකම විකිණුවා සෑහෙන කාලෙකට කලින්

ඉතින්, ඔන්න දැන් මට ෆුල් කම්මැලිකම ගහල තියෙන්නෙ මේක ලියාගෙන යන්න... ඒත්, සෑහෙන කාලෙකට පස්සෙ දිග පෝස්ට් එකක් ලිවුවා, දිග පෝස්ට් ලියන නැකත වැඩ කලා. පෝස්ට් එකෙන් සමුගැනීම සනිටුහන් කරන්නයි මේ හදන්නෙ.

මගෙ මොටෝ බයිසිකල් කෙරුවාව මගේ ජීවිතේ පීක් එකට එන දවසක් එනවා මචංලා... එදාට මගෙ ගරාජ් එකේ 86ශ්‍රී3748 GP100 එකයි, පියාණෝගෙ Suzuki GS125 දෙකයි, Bajaj Platina 100 එකයි වගේම Suzuki DRZ 400SM එකකුයි, BMW S1000RR එකකුයි ලස්සනට පාක් කරල තියේවි...


කොටි මල්ලි (Snow Kotiya)
2026-03-07 





Tuesday, March 3, 2026

මං පොඩියට හරි, එක දිගට ලියන්න ගන්නවා...

" මම තාම ආසයි බං ලියන්න... ඒ්ත් මට දැන් ලියන්න බෑනෙ මචං ඉස්සර වගේ... "

ඉස්සර පිටු ගණන් මේකෙ ලියපුවා මතක් වෙද්දි දැන් පොඩියට ලියන එක හෙන මදිකමක් වගේ බං... එතකොට ආයෙ ලියන්න හිතෙන්නෙම නෑ... ඉස්සර වගේ දැන් වචන එන්නෙත් නෑ... එක දිගට ලියන්න ෆෝකස් එකකුත් නෑ... 

ඒ්ත් ආයෙ මගේ ලියන කලාව අලුතෙන් හදාගන්න ඔිනෙ... කලින් තරං බැරි උනත් පොඩියට පටන් අරන් ආයෙ උඩට යමු... 

ඉතින් මචංලා ආයෙ පොඩියට ලියන්න අරන් ලොකුවට ලියන එක දක්වා දියුණු වෙන්න ඔිනෙ නිසා තමා මේ ටිකේ  පොඩි පොඩි පෝස්ට් වැටෙන්නෙ...

කොහොමත් මං දන්නවා බං මගෙ බ්ලොග් එක මෙලෝ යකෙක් කියවන්නෙ නෑ කියල...ඒ්ත් මං ලියනවා මං ලියන්න ආස නිසා... නැත්තං 2015 ඉඳන් මේ දක්වා අවුරුදු 11ක් විතර තිස්සෙ අතාරින්නැතුව මොකක් හරි මේකෙ කොටල යන්න ඔිනෙ නෑනෙ ... හැබැයි මං එකක් දන්නවා... මං නවත්තන්නෙ නැතුව එක දිගට හැමදාටම ලිවුවොත්, එක කාලයක් එයි මම දාන එක වචනයත් මුලු ලෝකයක් කියවන...

මං ඉපදුනේ 2002 මාර්තු 3 වෙනිදා... ඉතින් අදට මට 24ක් මචංලා... ජීවිතේ වැඩිපුරම ගෙදර, යාලුවො හැමෝගෙන්ම ඈතකට ඇවිත් සමරන පළවෙනි උපන්දිනේ අද... ඒ්ත් දුර ඉඳන් හරි ආව එයාලගෙ සුබ පැතුම්, ආශීර්වාදයන් එක්ක මට කොයි වෙලේවත් තනියක් දැනුනෙ නෑ...

ඉතින්... මටම සුබම සුබ උපන් දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් මේ පොඩි පෝස්ට් එකෙන් මම කැපෙනවා...

 

කොටි මල්ලි (Snow Kotiya)
2026-03-03

 

 

 

Saturday, January 24, 2026

මං ඔයාට තාම ආදරෙයි... ඒ්ත් මට ඔයාව එපා...

මතකයන් ආදාහනය කොට ඒ භෂ්මාවශේෂ මිහිදන් කිරීම සිදු කළද සිතේ හිර වූ ආදරය ආදාහනය කිරීමට මට තවමත් නොහැකි වී ඇත.

ගෙවීගිය වසර 5ක කාලය තුළ නුඹව මතක්නොවූ එකඳු මොහොතක් මට සිහියට නඟාගත නොහැකිය.

වැර වෑයමින් ජීවිතයේ සාර්ථකත්වය සොයමින්, පවුලේ සියල්ලන් සතුටු කරමින්, ජීවිතයේ ඉලක්කයන් සපුරමින් කොතරම් ඉදිරියට පැමිණියද නුඹ සිහිවන විට දැනෙන හැඟීම තවමත් මා සිත දරුණුවට රිදවයි.

වසර 4කින් නුඹේ රුව දැක නොමැති වුවත්, නුඹේ රුව මතක ඇත්තේ අපැහැදිලි ඡායාවක් මෙන් වුවත් තවමත් මගේ සිත නුඹ මත්තේ එල්ලී සිටින්නේ මන්දැයි මම නොදනිමි.

පුරුෂ ආධිපත්‍යයේ කිරුළ හිස මුදුනේ දරාගෙන සිටිනා මගේ බුද්ධිය සහ මා විසින් මා හට කරනා ආදරය,male ego බල්ලට දමමින් මගේ හදවත සිදුකිරීමට තැත් කරන ගොන් වැඩ වලින් මගේ ආත්ම ගෞරවය රැකගෙනසිටීමට මහත් යුද්ධයක් සිදුකරමින් සිටිති.

 කෙසේ වෙතත්,

නැවත මට නුඹ වෙත පැමිණිය නොහැක. හැකිවුවත් මා එන්නේද නැත. 

මා ඔබට කෙතරම් ආදරය කළද මට නැවත කවදාවත් නුඹව උවමනා නැත.

 මං ඔයාට තාම ආදරෙයි... ඒ්ත් මට ඔයාව එපා... 

 

2026-01-24
කොටි මල්ලි (Snow Kotiya) 

Tusker Infinity Studios සමග මගේ මතක

 මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG ...