කවුරුහරි මගෙන් ඇහුවොත් මගෙ ජීවිතේ සතුටුම දවස මොකක්ද කියලා, මං කියන්නෙ 2016 අප්‍රේල් 12 කියලා. ඒ තමා අපේ පියාණෝ අපේ ගෙදර පළවෙනි වාහනේ වෙච්ච 13ශ්‍රී6127 මිට්සුබිෂි ලාන්සර් වැගන් එක ගෙනාපු දවස. ලාන්සරේ ගේද්දි මට වයස 14යි. මගෙ ජීවිතේ වෙච්ච කිසිම සතුටුදායක සිදුවීමක එදා දවස තරං පිරිසිදු, හදවත උතුරාගලා යන සතුටක් දැනිච්ච වෙන කිසිම දවසක් තිබිල නෑ මචංලා. ඒ කාර් එක ගෙනාපු කතාව මම ඒ කාලෙම අකුරු කලා අවුරුදු කුමාරයා... පෝස්ට් එකේ. මුලු ජීවිතේම "පලමුවත් වාහන, දෙවනුවත් වාහන, තෙවනුවත් වාහන" තියරියෙ ඉඳන් ගෙවපු මගේ වාහන පිස්සුවෙ අගමුල ගිය තැන් හැමඑකම ඒ කතාවෙ වගේම බ්ලොග් එකේ පෝස්ට් බහුතරයක ලියලා තියනවා.

ලාන්සරේ එක්ක මට තිබ්බෙ සිරා ලව් එකක් උනත්, කාලෙත් එක්ක වෙච්ච ගොඩක් සිදුවීම් නිසා මම කාර් එක බලාපොරොත්තු වෙන එක නැවැත්තුවා මචං. ඒකත් එක්ක සෑහෙන කාලයක් මට කාර් එක මිස් උනා කියන්න පුලුවන්. කොහොමහරි 2024 මැද ඉඳන් වාහනේ එකතැන තිබ්බා පියාණන් අසනීප වීම, වාහනේ තිබ්බ ලෙඩ, ආර්ථික ප්‍රශ්න සහ මට මෙතන කියන්න බැරි එක්තරා පෞද්ගලික ගැටලුවක් නිසා. හැබැයි 2024 අග බාගයේ මම බොරලැස්ගමුවෙ vfx studio එකේ ජොබ් එකට යන්න පටන් ගැනීමත් එක්ක තිබ්බ ආර්ථික ගැටලු දශම ගාණකින් පමණ සමනය වීම නිසා මට ඔිනෙ උනා කාර් එක ආයෙ ගොඩදාගන්න. මේ කාලෙ දියවැඩියාව නිසා කකුල ඉවත් කිරීම නිසා පියාණන් සම්පූර්ණයෙන් ඔත්පල වෙලා හිටියෙ. ඉතින් සම්පූර්ණ මෙහෙයුම මට තනියෙන් දියත් කරන්න සිද්ධ උනා. ඒකට හොඳ සහයෝගයක් මෑණියන්ගෙන් ලැබුනා.
කොහොමහරි මම වැඩේට එන්ටර් උනේ 2025 ජනවාරි මාසෙ. වැඩේට බහිද්දි වාහනේ තත්වෙ මෙහෙමයි.
බැට්රිය ඩෙත්. අලුත් බැට්රියක් දාන්න ඔිනෙ.මාස 6ක් එක තැන තිබ්බ නිසා රෝද ගල් වෙලා. ටයර් 4 එච්චර හොඳ නෑ. 3ක් වගේ නං ටිකක් manageble. ඒත් පිටිපස්සෙ එකක කැන්වස් පෑදිලා. හතර වටේ දිරුම් ඇවිත්. ලයිසන් නං 2025 අප්‍රේල් වෙනකන් තිබ්බ නිසා ඒ ගැන ලොකුවට හිතන්න දෙයක් තිබ්බෙ නෑ. මට ඔිනෙ උනේ මුලින්ම වාහනේ රනින් කන්ඩිෂන් එකට ගේන එක. දිරුම් ගැන ලොකුවට ඒ වෙලාවෙ හිතුවෙ නෑ කොහොමඋනත් ටිකක් කෙලින් කටින් වාහනේ තිබ්බ නිසා.
මම මුලින් අලුතෙන්ම බැට්‍රියක් දැම්මා. ටර්මිනල් දෙකකුත් අලුතෙන් ගෙනාවා තිබ්බ ඒව මලකඩ කාල නිසා. ගෙනල්ලා හරිකරලා, පෙට්‍රල් කෑන් එකක් ටැංකියට දාලා, එයා ෆිල්ටර්ට උඩින් තව පෙට්‍රල් චුට්ටක් දාලා, එංජින් ඔයිල්, රේඩියේටර් වතුර අරවා මේවා සියල්ල පරීක්ෂා කරලා, කාර් එක ස්ටාට් කලා.
මාස 6ක් ස්ටාට් කරල තිබ්බෙ නැති කාර් එක එකපාරින් ස්ටාට් උනා...
ස්ටාට් උනාට වැඩක් උනේ නෑ රෝද ගල් වෙලා නිසා වාහනේ හෙල්ලෙන්වෙත් නෑ. මං හිතුවෙ ඇතුලෙ බ්‍රේක් හිර වෙලා ඇති කියල. කොච්චර වාහන පිස්සුවක් තිබ්බත් මට කවදාවත් වාහන වල මිකැනිකල් පැත්ත ගැන දැනුමක් තිබ්බෙ නෑ. ඉතින් මං කලේ සති දෙකක් විතර තිස්සෙ බ්‍රේක් බුරුල් කරගන්න මිකැනික්ලා හොයපු එක. මොකද වාහනේ කොහෙවත් ගෙනියන්න බැරි නිසා ගෙදරට ගෙන්නන් එන්න ඔිනෙ උනා එකෙක්. ලංකාවෙ වාහන මිකැනික්ලා ගැන මේ පෝස්ට් එකේ වාක්‍යයෙන් 2න් එක ඡේදෙකින් කතා කරන එක ඒ් උතුමාණන්ලට කරන මහා අගෞරවයක් නිසා උන්නාන්සෙලා ගැන වෙනම පෝස්ට් එකකින් ලියන්න කොටි මලයා බලාපොරොත්තු වෙනවා. කොහොමහරි පිනට නෙවේ එන්න කියන්නෙ වැඩේට සල්ලි දෙනවා කියන එකේ ඉඳන්, දවස් ගාණක් කෝල් කර කර, වාහනේ හොල්ලන්වත් බැරි නිසා අසරණ වෙලා පීචං වෙලා කුල්ල කුජීත වෙලා ඉන්නෙ කියල පිණ්සෙන්ඩු වෙලත් එක උද්ධික පුතෙක් මං ගැන අනුකම්පා කරලවත් වැඩේට ආවෙ නෑ. 8-5 රස්සාවකට හිර වෙලා ඉන්නෙකේ කරුමෙත් සෑහෙන්න දැනෙන්න ගත්තෙ මොන රෙද්ද කරන්නත් වෙලාවක් තියෙන්නෙ සෙනසුරාදා හවස් වරුවෙයි ඉරිදයි වෙච්ච නිසා.
අන්තිමට දෙවෙනි සතියෙ ඉරිදා වෙද්දි එක මිකැනික් උද්දික පුත්තෙක් ගෙන්නගන්න බැරි වෙච්ච පාර මගේ ඉවසීමේ ග්‍රහයා නීච වෙලා මං හිතුවා මං තනියෙන් හරි මල ඉලව්ව ගලෝනව කියල. ඊට පස්සෙ කලේ මගෙ දයාබර හිත මිත්‍ර, 3D modeling කරන සගයෙක් වෙච්ච දිනෙත් ආලෝකට මැසේජ් එකක් දාපු එක. උගෙ ගෙදර ගරාජ් එකක් තියන නිසා සහ ඌත් මං වගේම වාහන පිස්සුව ජීවිතේ කරන් ඉන්නෙකෙක් වෙච්ච නිසා ඌට වාහනවල මිකැනිකල් පැත්ත ගැන හොඳ දැනුමක් තිබ්බා. පොරගෙන් ඇහුවම මොකක්ද කරන්න පුලුවන් කියලා පොර මට කිවුවා ජැක් එක ගහලා රෝදෙ උස්සලා, පොල්ලක් දාලා ඩ්‍රම් වලට හොඳට දෙදරන්න ගහන්න සහ අතින් රෝදෙ කරකරවන්න ට්‍රයි කරන්න කියල.
සඳුදා හවස වැඩ ඇරිලා ආවා 6 හමාර වගේ වෙද්දි. මදුරුවො කනවට ඇඟ වැහෙන්න ඇඳගෙන සපත්තුත් දාගෙන වැඩේ පටන් ගත්තා. දිනෙත් ආලෝකව තිස් තුන් කෝටියක් බුදු වෙන්ඩ සති දෙකක් තිස්සෙ මිකැනික්ල ලව්ව කරගන්න බැරුව හිටපු දේ සල්ලිත් ඉතුරු කරගෙන මම තනියම කරගත්ත.
එදා රෑ තමා මම ලයිසන් ගත්තට පස්සෙ පළවෙනි වතාවට ලාන්සරේ එලවන් ගියෙ. සහ අවුරුදු ගාණකට පස්සෙ වාහනේ අතට ගත්තෙ. වෙනදට තාත්ත ඉන්නවා. අද මම තනියම. මදි හරියට නංගිව දාගත්තා යං කියල. දික්හේනපුර පාරෙ කෙලවරට වෙනකන් ගිහින් ආවා. වාහනේ 30ට වඩා යන්න බැහැ. රෝද දෙදරන්න ගන්නව මීමැස්මොරේ හැදිල වගේ. ඒක අවුරුදු ගාණක ඉඳන් තිබ්බ, හැමදාම ටයර් මාරු කර කර තෙල් බෙහෙත් ගගා හොඳ කර කර හිටපු ලෙඩක්. ඉස්සර නං 60 වගේ පනිද්දි තිබ්බෙ. දැන් ඒක වැඩි වෙලා. බ්‍රේක් සෑහෙන්න අඩුයි. තැනිතලා පාර නිසා අවුලක් නැතුව හැබැයි ගිහින් ආවා.
කාර් එක දුවන ලෙවල් එකට ගත්ත නිසා ඊට පස්සෙ මම කලේ වාහනේ ගෙනිහින් ඉලිඹෙ ඩග්ලස් අයියගෙ ගරාජ් එකට දාපු එක වාහනේ දෙදරන සීන් එක හදන්නයි බ්‍රේක් හදාගන්නයි. දෙදරන සීන් එක හදාගන්න බෝල් ජොයින්ට් දාන්න උනා. ස්ටියරින් බොක්ස් එකම ඉක්මනට මාරු කරන්න වෙනවා කියල වෝනින් එකක් දෙනගමන් රේසර් ටික විතරක් අලුතෙන් දාලා මට එවෙලෙට ශේප් එකක් දාලා දුන්නා. මොකද ඒවෙලේ මට ස්ටියරින් බොක්ස් එකක් දාන්න තරං වත්කමක්වත්, බඩු හොයන්න පංචිකාවත්තෙ යන්න තරං හැකියාවක්වත් තිබුනෙ නෑ. බ්‍රේක් ටිකත් වොෂර් ටික අලුතෙන් දාලා අවුලක් නැතුව දුවන්න පුලුවන් ගානට රනින් ටික හදාගත්තා.
රනින් හැදුවට පස්සෙ මම මුලින්ම කාර් එකේ ගියේ පානදුර බීච් එකට. කියන්න අමතක උනානේ... මට ඒ දවස් වල කෙල්ලෙක් හිටියනෙ යකෝ. මෙලෝ වැඩකට නැති මාස 3ක ප්‍රේමයක් තිබ්බා මට. ඒකි කලුතර හිටියේ. 2025 පෙබරවාරි මහේ මුල් හරියෙ ඉරිදාවක කලුතර ගිහින් ඒකිවත් දාගෙන පානදුර බීච් එකට ගිහින් ආවා. ඒ ලව් ස්ටෝරිය මගෙ ජීවිතේ මෙලෝම වැඩකට නැති කතාවක් උනත් පසු කාලීනව ඒකත් මේ බ්ලොග් එකේ ලියවෙයි. කොහොම උනත් එදා දවසෙත් මං වැඩිහරියක් එංජෝයි කලේ ඩ්‍රයිව් එක.
එදා ඩ්‍රයිව් එකෙන් පස්සෙ මට කාර් එක අරන් ඔිනෙ තැනක යන්න පුලුවන් වගේ අමුතු විශ්වාසයක් දැනෙන්න පටන් ගන්නවත් එක්ක මට ඔිනෙ උනා මගේ මිත්‍ර සනුහරේ එක්ක කාර් එකේ වටයක් දාන්න. මේ වෙලාවෙ තමා මට කල්පනා උනේ අපේ බිග් මැච් පැරඩ් එකට යන්න පුලුවන් නේද කියල. හැබැයි පොඩි අවුලක් හිතට තිබ්බා. පහුගිය ටිකේ වාහනේ ලගට ඩ්‍රයිව් කරපු ටිකෙන් මට තේරුම් ගිහින් තිබ්බා ආයෙ කාර් එක ගරාජ් එකට දාන්න වෙනවා වගේ ලයින් එකක් බ්‍රේක් මදි ගතියක් මට මුල ඉඳන් දැනිලා තිබ්බ නිසා. මොකද කොළඹ ට්‍රැෆික් එකේ ඩ්‍රයිව් කරන්න ඔිනෙ. සහ පිටිපස්සෙ ටයර් එකක කැන්වස් පෑදිලා තිබ්බා. සහ පහුගිය ටිකේ කරපු රෙපයාර් සහ ගෙදර වැඩ වලට ගිය වියදම් එක්ක මට ආයෙ අතේ රුපියල් දහදාහක්වත් තිබ්බෙ නෑ. පෙට්‍රල් ගැහුවට පස්සෙ ටයර් එකක් දාගන්න ගානක් ඉතුරු වෙන්නෙ නෑ. පැරඩ් එකට යනවා නං අතේ රුපියල් 1000ක්වත් වෙනම තියන් යන්න ඔිනෙ බීම එකක් බීලා කොත්තු මී එකක් කාලා එන්නවත්. සහ කාර් එකේ තත්වෙත් එක්ක හදිසියකට අනිවා ගානක් තියාගන්නම ඔිනෙ.
ඔය ඔක්කොම සලකලා බලලා මම හිතුවා කාර් එකේ පැරඩ් එකට යන ගමන අතෑරල දාන්න. හිත හදාගෙන රංදිමය එක්ක බස් එකේ ගිහින් පැරඩ් එක බලලා එනවා කියල හිතාගත්තා. පැරඩ් එක තිබ්බෙ මට මතක හැටියට 2025 පෙබරවාරි 23 ඉරිදා. ඉතින් සෙනසුරාදා දවල් වැඩ ඇරිලා එනගමන් රංදිමයගෙ ගෙදරටත් ගොඩ වෙලා, ඌ එක්කත් සෑහෙන්න සාකච්ඡා කරලා ස්ථිරව තීරණය කලා බස් එකේ ගිහින් එමු කියල.
ඒත් ගෙදර ආවත් මගෙ හිතේ අවුල ගියෙ නෑ... මොකද මේ කාලෙ වෙද්දි මම මගේ ජීවිතේ වැඩිපුරම ආදරය කරන දේවල් ටික කාලකට මිස් වෙන්න යනවා කියල දැනගෙන හිටියේ.. ඒක මොකක්ද කියලා ඉදිරි කාලයේදි ලියවෙයි... මේ පැරඩ් එකට යන්න බැරි උනොත් මට ආයෙ සෑහෙන කාලෙකට පැරඩ් එක, කාර් එක වගේම රංදිම ඇතුලු මිතුරු කැලත් මිස් වෙනවා කියන දේ සෑහෙන්න මගේ හිතට වද දෙන්න පටන් ගත්තා... ඉතින් මම වැඩිපුර හිතන එක නැවැත්තුවා..
සාමාන්‍යයෙන් මොකක් හරි මරිමෝල් වැඩක් කරන්න ඔිනෙ උනාම මමයි රංදිමයයි පොදුවේ අනුගමන කරන තියරියක් තියනවා. ඒ තමා "වැඩිපුරම බය වෙන දේ කරපන්" කියනෙක. අපි ඒක ඉගෙන ගත්තෙ Hridayam ෆිල්ම් එක බලලා.
මං රංදිමයට කෝල් කලා...
"මචං ඔිනි මගුලක් කියල අපි හෙට කාර් එකේ යන්... "
එදා හවස මම කාර් එක හේදුවා. තිබ්බ පරණ ටයර් එකකුත් නිකමට දාගත්තා. ගෙදර තිබ්බ නියන්, අඬු බඩු, යතුරු ටිකක් දාගත්තා. බ්‍රේක් ඔයිල් බෝතලයක්, එංජින් ඔයිල් ටිකක්, එකි මෙකී නොයෙක් නොයෙක් දේවල් ටිකක් දාගත්තා.
පැරඩ් එක පටන් ගන්න තිබ්බෙ දවල් 2ට නිසා මම ගෙදරින් පිටත් උනා දවල් 11 ට විතර. විස්සෙ කණුවෙ ෂෙඩ් එකෙන් 3000කද කොහෙද පෙට්‍රල් ගැහුවා. ඉරිදා දවල් ටවුමෙ හොරණ මහලොකු ට්‍රැෆික් එකක් තිබ්බෙත් නෑ. ටයර් අවුල් නිසා මං 40න් එහා වගේ ආවෙත් නෑ. හැබැයි මොකක්දෝ අවුලක් තියනවා වගේ නොදැනුනාමත් නෙවෙයි උනත්, සෑහෙන අවුල් ජාලාවක් මැද්දෙ හිතුවක්කාරෙන් වගේ යන ගමනක් නිසා හිතේ අවුලක් කියලා මම ඒක ගැන වැඩිය ගණන් ගත්තෙ නෑ. සිංගර් එක ගාවින් හැරෙන්න තියන අතුරු පාර ගාවින් හරෝලා එතන ටයර් කඩෙන් හුලං ගහගෙන, එහෙම්ම උඩවත්ත පාරෙන් ඇවිත්, උඩවත්ත පාරෙන් මේන් රෝඩ් එකට දාන්න දාන T හංදියට ඇවිත් මම වාහනේ නවත්තලා බ්‍රේක් එක ගැහුවා වාහන අඩුවෙනකන් පාරට දාගන්න. එතන තියෙන්නෙ පොඩි කන්දක්..
වාහනේ පිටිපස්සට යන්න ගත්තා යකෝ... !
මං හිටු කියල බ්‍රේක් ගැහුවා, පැඩ්ල් කර කර ගැහුවා.. හෑන්ඩ් බ්‍රේකුත් ඇද්දා (හෑන්ඩ් බ්‍රේක් නං දන්න කාලෙ ඉඳන්ම වැඩ කලේ නෑ හැබැයි) වාහනේ පස්සටම යනවා.. පිටිපස්ස බැලුවම වෙලාවට මගෙ පස්සෙන් වාහන මොකුත් නෑ..මම දකුණු පැත්ත බැලුවම කඩේක හිටපු කොල්ලො දෙන්නෙක් මං දිහා බලන් ඉන්නව... එකෙක් කියනව ඇහුන "ඒ්යි පස්සට යනව නේද කියල".
හිත හිත ඉන්න දෙයක් නෑ මං ආයෙ ක්ලච් එක අතෑරලා වාහනේ ඉස්සරහට ගත්තා. වෙලාවට ට්‍රැෆික් එක අඩු උන නිසා මම එහෙම්මම මේන් රෝඩ් එකට දාගෙන කොළඹ පැත්තට ශේප් එකේ යන්න පටන් ගත්තා. යන ගමන් හිමීට බ්‍රේක් ගහ ගහ බැලුවා...
මචං කාර් එකේ බ්‍රේක් බිංදුවක්වත් නැහැ... !
මං හිතාගත්තා කලබල වෙන්නෑ කියල... එවෙලෙම කොහෙන් හරි හරෝගෙන ගෙදර යන්න හිතුනත් පාරෙ ට්‍රැෆික් එකත් වැඩිඋන නිසා මම හිතුවා පොකුණුවිටට ගිහින් හොරණ කොළඹ පාරට හරෝලම මොකද වෙලා තියෙන්නෙ කියලා බලනවා කියලා. ශේප් එකේ අඩු ගියර් වල දාගෙන ක්ලච් එක පාගන වම් කකුල කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තියලා පොකුණුවිටට ගියා. ගිහින් නවත්තලා බොනට් එක ඇරලා බලද්දි බ්‍රේක් ඔයිල් ටැංකි දෙකෙන් එකක් සම්පූර්ණයෙන් හිස්. ඊට පස්සෙ බ්‍රේක් ඔයිල් ටිකක් දාගෙන යද්දි ශේප් එකක් දාගන්න පුලුවන් මට්ටමකට බ්‍රේක් ආව නිසා මම හිතුවා කහතුඩුවට ගිහින් රංදිමව දාගෙන ඌට තත්වෙ පැහැදිලි කරලා දිගටම කාර් එකේ යනවද නැත්තං කාර් එක රංදිමලෑ ගෙදරට දාලා බස් එකේ යනවද කියලා තීරණය කරනව කියල. යන ගමන් මං තැන් දෙකක විතර නවත්තලා බ්‍රේක් ඔයිල් බලද්දි අර ටැංකියෙ බ්‍රේක් ඔයිල් අඩු වෙනවා. මට හොයාගන්න බෑ කොහෙන් ලීක් වෙනවද කියල. ඒත් ඒ වෙලාවෙ ලීක් වෙන්නෙ කොහෙන්ද කියල හොයන්නවත්, හොයාගත්තත් ඒක හදාගන්නවත් කිසිම විදිහක් තිබ්බෙ නෑ.
කහතුඩුවට ගිහින් රංදිමව දාගෙන තත්වෙ පැහැදිලි කලා... වාහනේ බ්‍රේක් අඩුයි ඔයිල් ලීක් එකක් තියනවා, මගින් මග ඔයිල් පොඩ්ඩ පොඩ්ඩ දදා තමා ගියොත් යන්න වෙන්නෙ, සහ ටයර් අවුල්. යන්න වෙන්නෙ අමා මහ ට්‍රැෆික් එකක.
මම රංදිමට කිවුවා "final decision එක උඹ දියන්, උඹ යන් කිවුවොත් යනවා නැත්තං නෑ" කියල... මොකද අවදානම් කලමණාකරණයෙදි ඌ මට ඉන්නෙ සෑහෙන්න ඉස්සරහින් සහ මේ වගේ තැන් වලදි ඌ මට වඩා දුර හිතනවා. මම සිරාවටම හිතුවෙ පොර යන්න බෑ කියයි කියල. හැබැයි ඌ කිවුවෙ එකම දෙයයි.
"උඹට ෂුවර් නං යමන්...".
රංදිමගෙ බලාපොරොත්තු නැති උත්තරෙත් එක්ක මට ආවෙ අමුතු කන්ෆිඩන්ස් එකක්. සමහර විට ඌත් මං වගේම "වැඩිපුරම බය වෙන දේ කරපන්" තියරියෙ ඉන්නැති. ඉතින්, අපි වැඩිපුරම බය වෙච්ච දේ කරන්න පටන් ගත්තා.
යන්න කලින් රංදිම මට කිවුවා "හදිසියෙවත් බ්‍රේක් නැති උනොත් උඹ කලබල නොවී මට කියපන්, මං හතරවටේට කෑගහන්නං "අයින් වෙයාන් htto බ්‍රේක් නෑ" කියල. ඌ ඒක කියපු ටෝන් එකත් එක්ක මට තිබ්බ ස්ට්‍රේස් එක එහෙම් පිටින්ම නැති වෙලා ගියා. අපි දෙන්නා හිතුවා යුධ ටැංකියක් එලවන මහා මෙහෙයුමක් වගේ මේ ගමන යන්න. මං උට කිවුවා උඹ කැප්ටන් වෙයන් මං ඩ්‍රයිවර් විදිහට ෆුල් ෆෝකස් එකේ වාහනේ එලවන්නං ඉතුරු ටික උඹ බලාගනින් කියල.
මඟින් මග නවත්ත නවත්ත බ්‍රේක් ඔයිල් දදා අපි දෙන්නා ඉස්කෝලෙ ගාවට ගියා. පාරෙ අයිනෙ එක දිගට වාහන නවත්තලා. මං හිතන්නෙ 2025 ආනන්ද නාලන්ද පැරඩ් එක ඉතිහාසෙ වාහන වැඩිම ප්‍රමාණයක් ගිය පැරඩ් එකක්. කොහොමහරි අපිත් ඉඩ තිබ්බ තැනකින් කාර් එක නවත්තලා ඉස්කෝලෙට ගියා කාර් එක රෙජිස්ටර් කරන්න. අපිට ලැබුනෙ 485 අංකෙ තිබ්බ ස්ටිකරයක්. අදටත් ඒ ස්ටිකර් එක මගෙ කාමරේ අලෝලා තියනවා.
අපිට ඉස්කෝලෙදි ආනන්දෙ ටෙක් එකේ අපිත් එක්ක හිටපු සඳුන්වයි, මානෙත්වයි සෙට් උනා. සඳුන්ගෙ ගෙදර ඉස්කෝලෙ අල්ලපු වැටේ නිසා උගෙ ගෙදර තිබ්බ තව ආනන්දෙ කොඩි 2කුයි මං ගාව තිබ්බ කොඩියයි අරන් ඇවිල්ලා කාර් එකේ ගැහුවා.
පැරඩ් එක පටන් ගද්දි 3-3.30 වගේ වුනා. මගෙ ජීවිතේටම ලාන්සරේ ගිය වැඩිපුරම සතුටුම, වැඩිපුරම එංජෝයි කරපු ගමන 2025 ආනන්ද නාලන්ද පැරඩ් එකට රංදිම, සඳුන්, මානෙත් එක්ක ගිය ගමන. මේ වෙද්දි වාහනේ මට ෆුල් කන්ට්‍රෝල් කියනෙක මට බොක්කට වැදිලා තිබ්බෙ. බ්‍රේක් අඩු වෙච්ච එක ගැටලුවක් උනේම නෑ හද්ද ට්‍රැෆික් එකේ යද්දිවත්. මාස ගානක් එක තැන ඉඳලා එකපාර දුවන්න ගත්තත් අබමල් රේණුවක මිස් එකක්වත් කාර් එකේ ආවෙ නෑ. අන්තිමට හවස විහාර මහාදේවි පාක් එකේ තිබ්බ after party එකටත් ඉඳලා, ටවුන්හෝල් එක ගාව තිබ්බ ඩොමිනෝස් එකෙන් පීසාත් කාලා, හැමෝවමව පරිස්සමට ගෙවල් වලට බස්සලා රෑ 12 විතර වෙද්දි මම ගෙදර ආවා...
ඒක හරි ලස්සන දවසක් මචං...
අපි හතරදෙනා.. වමේ සිට දකුණට මම, සඳුන්, රංදිම සහ මානෙත්
පැරඩ් එකෙන් පස්සෙ අපි අලුත් නමක් දැම්මා ලාන්සරේට "යුධ ටැංකිය" කියල. මොකද අපි යුධ ටැංකියක් අරන් යනව වගේ ආතල් එකක ගියේ. ගිය හැමෝටම කරන්න දෙයක් තිබ්බා. මානෙත් නැවිගේටර් උනා. සඳුනා හරවන්න ඔිනෙ වෙලාවට අත දාලා සිග්නල් ලයිට්. රංදිම පිරිස කලමණාකරණය. ඒ් වගේම රංදිම හිටියෙ නැත්තං කොහොමත් මේ ගමන නොඑන්නත් තිබ්බා... ඌ යන් කියලා දීපු ගට් එකයි, ගමන පුරාම දීපු සපෝට් එකයි නැත්තං සිරාවටම මේ ගමනෙදි මොකක් හරි බාල්දියක් පෙරලෙන්නත් තිබ්බා කියලා මට හැමවෙලේම හිතෙනවා...
මේ හැමදේටම පස්සේ "අපිට දැනුන දේ තමා ලාන්සරේ අපේ ජීවිත කතාවෙ ගොඩාක් වටින වස්තුවක් වෙලා කියනෙක... මෙච්චර දවසක් අපේ ගෙදර වාහනේ වෙලා ඉඳලා, එතනින් එහාට තවත් පිරිසකගෙ ජීවිතේ අමතක නොවෙන වස්තුවක් වෙන්න ලාන්සරේට පුලුවන් වුනා...
 |
මේ ෆොටෝ එක මට පැරඩ් එක දවස මතක් කරන iconic ම ෆොටෝ එක. සඳුන්ව රෑ ගෙදරට බස්සන්න ගිහින් ඉන්න වෙලාවෙ මානෙත් අරන් තිබ්බ ෆොටෝ එකක්.
|
පැරඩ් එකෙන් පස්සෙ අවුරුද්දට ගමේ යන එකයි එදිනෙදා ගමන් බිමයි යෑමයි ඇරුණම
ආයෙ කොල්ලො ටික එක්ක ලාන්සරේ වටයක් දාන්න පුලුවන් උනේ වෙසක් දවසෙ. ඊට පස්සෙ
ඉඳන් ස්ටියරින් බොක්ස් එකේ ඉඳන්, කාබියුරේටර් ඉඳන් ප්‍රශ්න වගයක් ආවා සහ
ඒත් සමගම එක පිට එක ආව ආර්ථික ප්‍රශ්න සහ රස්සාවෙ ප්‍රශ්න එක්ක ආයෙත් කාර්
එක දුවන මට්ටමකට ගන්න උනේ 2025 නොවැම්බර් කිට්ටු වෙද්දි. ඒත් ඒ් වෙද්දි
එක්තරා විශේෂ හේතුවකට කොටි මලයා වෙච්ච මට ටික කාලෙකට හැමදේම අතෑරලා දුර
ඈතකට එන්න කටයුතු සූදානම් වෙලා තිබ්බ නිසා ගෙදර අය එක්කවත්, යාලුවො ටික
එක්කවත්, මට තනියෙන්වත් ලාන්සරෙත් තනියෙන් ජීවිතේ ගැන කතා කර කරවත් වටයක්
දාන්න අවස්ථාවක් ලැබුනෙ නෑ...
මේක කොච්චර සතුටින් පටන් ගත්ත කතාවක් වුනත්, ලාන්සරේ ගැන මේ මොහොතෙ ඉතුරු වෙලා තියෙන්නෙ කඳුලු කතාවක් නිසා මෙතනින් එහා මොකක්ද වුනේ කියලා ලියන්න මට හදවත මට ඉඩ දෙන්නෙ නෑ...
ඒත් මම එකක් ලියනවා... මම කවදාවත් ලාන්සරේ අතාරින්නෙත් නෑ... ඒකෙ ඉරණම කවදාවත් හැමෝම හිතන විදිහට විසඳෙන්න ඉඩ තියන්නෙත් නෑ...
කොටි මල්ලි (Snow Kotiya)
2026.05.18