Tuesday, August 10, 2021

සුදු පාට D Tracker සහ මගේ ප්‍රථම ප්‍රේමය

 ආයුබෝවන්!

2021 ජනවාරි මාසෙන් පස්සෙ මං මේ බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් වෙන්නෙ මාස 7කට විතර පස්සේ... ලොග් වෙච්ච ගමන් මුලින්ම මම කලේ බ්ලොග් එකේ තීම් එකේ ඉඳන් ප්‍රොෆයිල් පික්චර් එකේ ඉඳන් අලුතෙන් අප්ඩේට් කරපු එක. 2020න් පටන් ගත්ත පාර අවුරුදු 1 හමාරක් වගේ ඇතුලත කොටි මලයා හෙවත් මගේ ජීවිතේ අංශක 180කින් අනිත් පැත්ත ගහපු එකේ... බ්ලොග් එක විතරක් අනිත් පැත්ත නොගහ ඉන්නෙ මොකද😀

කොහොම උනත්, අද මගේ අරමුණ මම දැනට ගෙවන ජීවිතේ වත්, රටේ තත්ත්වෙ වත්, කොරෝනා වසංගත තත්ත්වෙ ගැනවත් කියන්න නෙවෙයි... අතීත කතාවක්... අවුරුදු 3ක් 4ක් විතර ජීවිතේ පස්සට යන්න වෙන කතාවක්... ප්‍රේම කතාවක්... ඔව් මචෝ! කොටි මලයාගෙ ප්‍රථම ප්‍රේමේ ගැන කියන්න😀

මේ කතාවෙ මෙතන මම නොකියන කතා ගොඩක් තියනවා. ඒවා එකක් වත් ඇය ගැන නෙවෙයි. වැඩි හරියක් මම ගැන. මොකද මේ ප්‍රථම ප්‍රේම කතාවෙ ඇත්තටම වැඩිහරියක්ම මට හිතන්න, කතා කරන්න තියෙන්නෙ එදවස මගේ ජීවිතය, මගේ චින්තනය සහ අනෙකුතේ මගේ දේවල්. නමුත් මේ වෙලාවෙ ඒ එකක්වත් ලියන්න උවමනාවක්වත්, වෙලාවක්වත් නැති නිසා මම තීරණය කලා කතාවෙ ගොඩක් තැන් මගඇරලා ගොඩක් තැන් සංක්ශිප්ත කරලා මූලික කතාව විතරක් මෙතන ටයිප් කරලා යන්ඩ.

මේ කතාව වෙන්න 2017-2018 අවුරුද්දු දෙක තුල. ඒ කාලෙ කොටි මලයා ඕලෙවල් පන්තියේ. 10 සහ 11 වසර. හිරිමල් නව යොවුන් වියට පා තැබූ සොඳුරු යාමයේ කෙල්ලෝ දැක්කම අහක බලාගත්ත කාලෙ ඉවර වෙලා හොරෙන් හොරෙන් හරි කෙල්ලෝ දිහා බලන්න (බලන්න නෙවෙයි ඔටෝම බැලෙන්න) පටන් ගත්ත කාලයේ මුල් කාලයේම තමයි මම ඇයව දකින්නේ. ඒ මම විද්‍යාවට පන්ති ගිය පොකුණුවිට ක්ලාස් එකේදි.

මේ කාලෙ තමයි මොන්ටිසෝරි යන කාලෙ වගේ තිබිලා යටපත් වෙලා තිබ්බ මගේ බයික් පිස්සුව අවුරුදු 10කට විතර පස්සෙ නැවත දරුණු ලෙස ආයෙ යට නොයෙන ලෙස දලු ලාපු කාලෙ. ඒකට හේතු උනේ ෂාන් සමරවීර කියලා අයියා කෙනෙක් කරගෙන ගිය BIKE HOME ෆේස්බුක් ගෲප් එක. කොහොම හරි... පොඩි කාලෙ ඉඳන්ම වගේ මම වැඩිපුරම ආදරේ කරපු සුපර් මොටෝ ටයිප් එකේ බයික් වලට නිසාම මේ කෙට්ටු සුදු උස ගෑනු ළමයව පෙනුනෙ අලුතින් ජපානෙන් ගෙන්නපු සුදු පාට Kawasaki D Tracker එකක් වගේ💓

 

ඇය ඇත්තෙන්ම සුන්දරයි. සුදු හමත්, රෝස පාට තොල් පෙතින්, ලා රෝස පාට දෙපතුල් (මම් යටිපම්තුල් පිම්සෙක්😅) ඇගේ සුන්දරත්වය තවත් වැඩි කලා. ඉතින් එදා ඉඳන් විද්‍යා පන්තිය තමා මම වඩාත් උනන්දුවෙන්ම යන පන්තිය බවට පත් උනේ.

ඉතින් කොහොම හරි...  මගේ අවංක නොහැකියාව, භය, අඩු පෞර්ෂය සහ අනෙකුත් විවිධ හේතූන් මත මට ඇගේ නම සහ අනෙක් විස්තර හොයාගන්නත් සෑහෙන කාලයක් ගියා. මොකද මම සෑහෙන කාලයක් යනකන් මගේ යාලුවන්ටවත් මම මෙහෙම ඇය ගැන අදහසක් තියනවා කියල කිවුවෙ නෑ. කොහොම හරි කල් ගත වෙද්දි මගේ ළඟම මිතුරන් කියල මම හිතාගෙන හිටපු පොරවල් තුන් හතර දෙනෙක් එහෙම දැනුවත් කරලා යද්දි ඇගේ නම පාසල එහෙම සොයාගන්න හැකි උනා.

ඇය ගියෙ පානදුර ප්‍රදේශයේ ගැහැනු පාසලකට. ගෙවල් තිබුනෙ මගේ මාමාගේ ගෙවල් පැත්තේ. 2018 අවසන් බාගයේ තමයි මම දැනගත්තෙ ඇය මාමාගේ ළඟම අසල්වැසියෙක් කියලාත්. කොහොම නමුත්, මට මුලින්ම ඕනි උනේ ඇය වෙන කාගේ හරි පෙම්වතියක්ද කියලා දැනගන්න එක. නමුත් ඒකටත් සෑහෙන කාලයක් ගියා. මොකද මම උදවු බලාපොරොත්තු උන මගේ යාලුවො කියල හිතන් ඉන්න උන් එකෙක්වත් මට ඒකට උදවු කලේ නෑ. උදවු කරනවා කියලා පෙන්නුවා උනත් සහ මාව වට්ටන්න සහ මට කෙලවන්න පුලුවන් උපරිම දේට ඔවුන් දායකත්වය දුන්නා. නමුත් අදටත් මම ඒ ගැන දුක් වෙන්නෙ නෑ මොකද මම ආශ්‍රය කරපු අය ඇතුලු හැමෝම මගේම තෝරාගැනීම් ඒ වගේම ඔවුන් නිසා ලබපු අමිහිරි අත්දැකීම් තමා අද මම ඉන්න තැනට එන්න මට ශක්තියක් උනේ... 

කොහොමින් කොහොම හරි මට ආරංචි වෙනවා ඇය ඇත්තටම වෙන කෙනෙක්ගේ පෙම්වතියක් කියලා.😆 කොහොම උනත් ඒවා ඇත්තද බොරුද කියලා දැනගන්නවත් ඇත්තටම විදිහක් තිබුනෙත් නැහැ සහ කාලෙ ඇය සමග කෙලින් කතා කරන්නවත් පෞර්ෂයක්, කොන්දක් මට තිබුනෙ නෑ... ඉතින්... කොල්ලෙක් ඉන්නවා කියපු ආරංචිය ඇත්තද බොරුද කොහොමද සෙවීමත් පැත්තක දමා එය ඉස් මුදුනින්ම පිලිගනිමින් මම ඇය ගැන අදහස අතෑරියා...

2018 අගෝස්තු වාර විභාගෙ ලකුණු එහෙම ආවට පස්සෙ තමයි මිතුරන් කියා මම ආශ්‍රය කරපු වැරදි අය නිසා මම වැටී තිබූ තත්ත්වය මට තේරුම් ගියේ. මගේ අධ්‍යාපන තත්ත්වය ඇත්තටම වැටී තිබුනා. මානසික තත්ත්වය 0ටත් වඩා වැටී තිබුනා. නමුත් මම වඩාත්ම සතුටු වන දේ මානසිකව කෙසේ වැටුනත් මම වැරදි දේකට යොමු නොවුන එක ගැන. කොච්චර වැටිලා හිටියත් මම පන්ති කට් කලේ නෑ වල ගැහුවෙ නෑ බොන්න ගියෙ නෑ...ඒ ගැන අදටත් මම අවංකව මටම ගරු කරනවා සහ මට මං ගැනම ලොකු අභිමානයක් තියනවා කොච්චර මානසිකව වැටුනත් මගේ ප්‍රතිපත්ති නොකඩපු එක ගැන සහ මගේ දෙමව්පියන්ගේ විශ්වාසය නොබින්ඳ එක ගැන...

2018 අගෝස්තුවෙන් පස්සෙ මම රහසිගතව මගේ දියුණුව වෙනුවෙන්, ඕලෙවල් ගොඩ දාගැනීම වෙනුවෙන් වැඩ කලා. විද්‍යා පන්තියේ අවසන් දිනයට පසුව 2018 නොවැම්බර් 28 වෙනිදා විද්‍යා පන්තියේ ගුරුතුමා පොකුණුවිට ගලේ පන්සලේදි ඕලෙවල් ලියන්නට යන අපි වෙනුවෙන් දාන පිංකමක් සහ ආශීර්වාද පූජාවක් සංවිධානය කරලා තිබ්බා. ඉතින්... එදා මම එහිදී හිතාගත්තා නැවත මට ඇයව කවදාවත් දකින්න නොලැබෙන්න කියලා...

ඉතින් ඕලෙවල් ලියලා ඒලෙවල් වලට ආවට පස්සේ විෂය ධාරාවන් වෙනස් වීම මත මගේ වටේ හිටපු වේස හැත්ත මගෙන් කැපිලා ගියා සහ මමත් උන්ගෙන් කැපිලා ගියා... එයින් පසු මගේ ජීවිතේ ඇත්තටම සුබවාදීව වෙනස් වෙන්න ගත්තා... මට වටිනාකමක් දෙන පිරිසක් මගේ වටේ එකතු උනා... මගේ හැකියාවන්, මගේ පෞර්ෂය, මගේ චින්තනය ධනාත්මකව සහ සුබවාදීව වර්ධනය වුනා...

ඉතින් මම විශ්වාස කරන දේ, හැමතිස්සෙම වෙන්න පුලුවන් හොඳම දේ, වෙන්න පුලුවන් හොඳම විදිහට, වෙන්න පුලුවන් හොඳම වෙලාවට වෙනවා කියන එක. අපිට හොඳම දේ ලැබෙන්න නම්, අපිට තියන නරකම දේ අපෙන් ඉවත් වෙලා යන්න ඕනි කියන එක. මොකද නැත්තං අපි ගාව තියන නරකම දේ, හොඳම දේ කියලා හිතාගෙන හැමදාම අපි රැවටෙන එකයි වෙන්නේ. ඒ වගේම තමයි, හරි තීරණයක් ගන්න නං වැරදි තීරණ අරන් නට්ටටෙම කෙල වෙන්න ඕනි කියන එක. මොකද, වැරදි තීරණයි අපිට ජීවිතේ හරි තීරණ ගන්න නිවැරදි මග පෙන්වීම, ඉගැන්වීම ලබා දෙන්නේ...

ඉතින්...

එදා ඉඳන් නොවැම්බර් 28 දිනය මම සමරනවා සුපිරි කොත්තුවක් කාලා එහෙම😅 ජීවිතේ අමතක නොවෙන මතක ගොඩාක් රිප්‍රසෑන්ට් කරන දවසක් ඒක.

මං දන්නෙ නෑ මට ඇය ගැන අදහසක් තිබ්බා කියලා ඇය දැනන් හිටියද නැද්ද කියලා. නමුත් මට හිතෙන්නෙ ඇය දැනන් හිටියා කියල. මොකද මම මේක රහසිගතව තියාගන්න උත්සහ කලත් මං ඇය ගැන හිතපු බව හුඟක් අය දැනන් හිටපු බව මට පස්සෙ කාලෙක තේරුම් ගියා. ඒ වගේම දැන් ඇය හොරණ දේශපාලනික තදයෙකුගේ පුතෙක් සමග පෙමින් වෙලී සිටිනා බවකුත් මට ආරංචි උනා. 

 කොහොම උනත්,

මගේ සිත් අහසින් ඇය බැස ගොස් දැන් අවුරුදු 3කට ආසන්නයි. මම දන්නෙ නෑ මම ඇයට ඇත්තටම ආදරය කලාද නැතිනම් ඒක හුදෙක් නව යොවුන් වයස නිසා ඇතිවන ආකර්ෂණයක් පමණක් විතරද කියලා. කොහොම උනත් ඇයට කොල්ලෙක් ඉන්නවා කියලා ඇහුවම මට දැනුනු දේවල් එහෙම එක්ක... ඒකත් එක්ක... මං හිතනවා ඇය තමයි මගේ ප්‍රථම ප්‍රේමය...අද මගේ හිතේ කොනකවත් ඇය නැහැ. නමුත් අදටත් මම ඒ මතකයන්ට ගොඩාක් ආදරෙයි මොකද ඒ අත්දැකීම් තමයි අද මං ඉන්න තැනට මට එන්න මට ශක්තියක්, මූලික අත්තිවාරමක් උනේ...

ඉතින් ලේ පිරුණු හදවතක් තියන ඇය මගේ හදවතේ කොනකවත් නැති උනත් ඔයිල් පිරුණු හදවතක් තියන ඒ ජපන් කෙල්ල Kawasaki D Tracker එක නං අදටත් මගේ හදවතේ ගැඹුරුම තැනක තියනවා මගේ යකඩ හීන ලිස්ට් එකේ උඩින්ම තියන හීනයක් විදිහට💓

 

------------------------------------------------------------------------------------------------------------------------\

ඉතින් මිත්‍රවරුණි,

ඔන්න ඔහොම තමයි කොටි මලයාගෙ ප්‍රථම ප්‍රේමයේ කතාව අවසන් වෙන්නෙ. ඇත්තටම ලියපු විදිහ ගැන මලයාගෙ හිතට එච්චර හරි නැහැ. හේතුව ඇත්තටම කොටි මලයා හරි කම්මැලියි බ්ලොග් එක ලියන්න. කම්මැලිකම මේ දවස් වල ඒලෙවල්, කොරෝනා වසංගත, දවස තිස්සෙ ක්ලාස්, කරගෙන යන ඔන්ලයින් කෝසස් එක්ක පීඩනෙන් ගත කරන නිසා වෙන්නැති. 

ඒ වගේම තමයි මේ කියන කාලෙ මට වල කපපු උන් කොච්චර හිටියත් හැමදාම මගේ ළඟින් ඉඳපු, මගේ අධ්‍යාපන වැඩ වලට උපරිම සපෝට් එක, මම වැටෙන වෙලාවට මට උපරිම ශක්තියක් ධෛර්යයක් උනු මිතුරන් කීප දෙනෙකුත් හිටියා. අපේ තෙවිඳු (ප්ලේන් මල්ලි), මානෙත් (පලංචියා), සවින්ද්‍ය (සොත්ති) මේ අතරින් ආදරයෙන් මතක් කරන්න ඕනිම චරිත. උසස් පෙළ විෂය ධාරාවන් වෙනස් වීම මත සහ කොරෝනා වසංගතේ නිසා ඉස්කෝලෙ නැති වීමත් මත මේ කට්ටිය දැනට මගෙන් තරමක් දුරට ඈත් උනත් එදා තිබුනු හිතවත්කම තවමත් එහෙම්මමයි.

මේ කියන ගෑනු ලමයව 2018 නොවැම්බර් 28න් පස්සෙ කොටි මලයා ආයෙ දකින්නෙ 2021 පෙබරවාරි 4 වෙනිදා. කොටි මලයාගෙ මව්තුමී ගෙදර ඇන්තූරියම් තවානක් කරන නිසා පැල ගන්න තමයි ඇය ඇගේ මව්තුමී සමග කොටි මලයාගෙ ගෙදර ආවා. මලයාගෙ මාමණ්ඩි තමා එවලා තිබ්බේ. මාස්ක් එක නිසා ඇගේ මූණ හරියට නොපෙනුනත් මාස්ක් එකට උඩින් පෙනුන ඇස් දෙක දැක්කම මලයට තේරුනා ඇය තවමත් පෙර ලෙසම සුන්දරයි කියලා. 

ඒකෙන් උනේ නොවැම්බර් 28 දවස සමරන එකෙත් පොඩි අගයක් නැති වෙච්ච එක. ඇයි ප්‍රාර්ථනා කලේ ආයෙ මලාට ඕකිව දකින්න ලැබෙන්නෙපා කියලනෙ😅

කොටි මල්ලි (Snow Kotiya)

2021.08.11 

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...