Tuesday, June 2, 2026

මං ආයෙ ඔයාව හොයන්නෙ නෑ...

 වෙලාව හවස හය, හය හමාර වගේ වෙන්න ඔිනෙ...  

මං හිටියෙ හොරණ උඩවත්ත පාරෙ, ඔරියන්ට් එක ගාව, එතන තිබ්බ ටී බනිස් විකුණන කඩේ ගාව... අපි මොකක් හරි ක්ලාස් එකක් ඉවර වෙලා මං හිතන්නෙ... එතන විශ්වයයි තව කොල්ලො ටිකකුයිත් හිටියා.. 

හසාරා එකේ ස්කූල් බස් එකක් ඇවිත් ඔරියන්ට් එක ඉස්සරහ තිබ්බ sysygy restaurant එක (මස් කට්ටගෙ කඩේ කියල කියන්නෙ ඒකටද කොහෙද... මට හරියට මතක නෑ.) නැවැත්තුවා... මං කොහොමත් හසාරා එකේ බස් යද්දි බලනවා, මාත් ගියෙ ඒවලනෙ... මට ඒ වෙලාවෙ එක දෙයක් මීටර් උනා... හවස 6 ගානට වගේ හසාරා බස් එකක් හොරණට එනවා කියන්නෙ මේක ඒලෙවල් හෝ ඔිලෙවල් විභාගෙට ළමයි ගෙනිච්ච බස් එකක්. හවස විභාගෙ ඉවර වෙලා ළමයි එක්කන් එනවා. කොහොමහරි බස් එකෙන් ලස්සන දේවි බාලිකා එකේ කෙල්ලෙක් බැස්සා...

ඒ ඔයා...

ඔයාගෙ තාත්තද කොහෙද බයික් එකක් නවත්තගෙන එතන හිටියා. ඔයා තාත්තා ගාවට ගියා. ඒ එක්කම ඔයා දැක්කා පාරෙ අනිත් පැත්තෙ ඉඳන් ඔයා දිහා බලන් හිටපු මාව.. 

ඔයා තාත්තට මාව පෙන්නලා මොනවාදෝ කිවුවා.. ඊට පස්සෙ මට අත වනලා එන්න කිවුවා..

මම රත් වෙලා ගියා.. ඒත් මං හිතුවා පැනල යන්නැතුව ඔයයි තාත්තයි ගාවට එන්න.. ඒ දවස් වලත් අද වගේ "වැඩිපුරම බය වෙන දේ කරපන්" කියන තියරියෙ මං හිටියද කොහෙද.. මම පාර පැනලා ඔයාලා ළඟට එද්දි මං ඇස් කොනින් දැක්කා විශ්වයයි කොල්ලො සෙට් එකයිත් මං දිහා පුදුම වෙලා වගේ බලන් ඉන්නවා. 

මං ඔයාලගෙ තාත්තා ළඟට ආවම මට මතක නෑ එයා මුලින්ම මොකක්ද කිවුවෙ කියලා... මට මතක එයා හිනාවෙලා "කැමති දෙයක් කතා කරගන්න" කියලා කියනව විතරයි...

ඔයා එක්ක කතා කරන්න කියලා ඔයා දිහාවට හැරුණට ඔයාට කියන්න කිසිම දෙයක් මගෙ ඔලුවට ආවෙ නෑ... තත්පර කිහිපයක් ඔයාගෙ මූණ දිහා බලාගෙන ඉඳලා මට කියාගන්න පුලුවන් උනේ,

"ඔයා හරි ලස්සනයි"  

කියල විතරයි.

ඔයා කිසි දෙයක් කිවුවෙ නෑ... ඔයා කලේ මම ජීවිතේ දැකපු ලස්සනම හිනාව දාගෙන මං දිහා බලන් හිටපු එක විතරයි. මේක ලියන වෙලාවෙත් මං කල්පනා කලේ, මගෙ ජීවිතේ කවදාවත් කෙල්ලෙක් මං දිහා බලලා එහෙම හිනා වෙලා නෑ... ඒ තරං ලස්සන හිනාවක් මං මේ ජීවිත කාලෙටම දැකලත් නෑ...

ඔයාගෙ ඒ හිනාව දිහා බලන් ඉද්දිම,

ඒ හීනෙන් මං ඇහැරුණා.... 

වෙලාව පාන්දර 5ට විතර ඇති. මං හිටියෙ ඇඳේ...  

එදා ඉඳන් මං අවුරුදු 3ක් තිස්සෙ පොඩ්ඩ පොඩ්ඩ දන්න 3D modeling සාස්තරේ පාවිච්චි කරලා, ඒ හීනෙ මතක ඡායාවන් වලට පුලුවන් තරං match කර කර ඔයාව 3D rendered artwork එකක් විදිහට හදන්න උත්සාහ කලා...!!! 

මම අදටත් දන්නෙ නෑ ඔයා කවුද, කාගෙ කවුද, කොහෙද ඉන්නෙ කිසිම දෙයක්. වෙන එකක් තියා ඔයාව මේ සැබෑ ලෝකෙදි කවදාවත් දැක්කෙ නෑ. ඔයාව මං දැක්කෙ හීනෙන් විතරයි. මේ ආට්වර්ක් එක කරනකන්ම ඔයා මගෙ ඔලුවෙ හිටියෙ ඡායාවක් විදිහට විතරයි.

 පොඩි කාලෙ ඉඳන්ම මට දේවි බාලිකා යුනිෆෝම් එක දැක්කම එන අමුතු කික් එකක් තිබ්බා. මම සචිනි ගැන හිතද්දි එයාට වෙන කාටත් වඩා ආදරේ හිතුනෙත් ඒ නිසා වෙන්නැති. ඒකත් එක්ක මට දේවි බාලිකා කියන නම ඇහෙද්දිත් අර සන්නස්ගලට විශාකා ටයි එක දකිද්දි දැනෙනවා වගේ නලියංකාර, ඇඟ කිලිපොලා යන විදිහේ හැඟීමක් සෑහෙන කාලෙක ඉඳන් දැනුනා.

හැබැයි ඒ ඉස්සර... දැන් මට දේවි බාලිකාව කියන්නෙ වචනයක් විතරයි...

කාලෙත් එක්ක වෙච්ච හිත් රිදීම්, ඉගෙනගත්ත දේවල්, තේරුම් ගත්ත දේවල්, දරාගත්ත දුකවල් අරවා මේවා හැමදේම එක්ක, මං ජීවිතේ ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන එක අතෑරලා මේ මොහොතේ ජීවත් වෙන්න හුරු වෙන්න පටන් ගත්තා. ඉස්සර මායි රංදිමයි දිනෙයයි කොච්චර නං කෙල්ලො ගැන කතා වෙන්න ඇද්ද. කොච්චරවත් සැබෑ ප්‍රේමය, සෝල් මේට්ලා, ට්වින් ෆ්ලේම්ලා ගැන කතා කරන්න ඇත්ද. අපි සෑහෙන්න දේවල් හෙව්වා, සෑහෙන්න ඉගෙනගත්තා... ඒ හැමදේම අස්සෙ අපි හැමදාම අපේ බොක්කට වැදිච්ච ඒ ආත්මීය සිරා ලව් එක හෙව්වා... ඒක එනකල් බලන් හිටියා...

මට දැන් එහෙම බලන් ඉඳලා හති... 

මට එහෙම හිතෙන්නෙ මගෙ ඉවසීම පැනලා නිසා නෙවේ.. වෙන කවරදාටත් වඩා ලොකු ඉවසීමක් මට දැන් තියනවා. මට එහෙම හිතෙන්නෙ මම දේවල් බලාපොරොත්තු වෙන එක අතෑරලා නිසා.

මේ ආට්වර්ක් එක කලාට පස්සෙ, මට පොඩි කික් එකක් තිබ්බා, ඔයාව හොයන්න. මේ රූපෙ තියන, දේවි කෙල්ලෙක්... මං රංදිමයා එක්ක සෑහෙන්න ප්ලෑනුත් ගැහුවා ඔයා වගේ කෙනෙක් හොයන්න... 

ඒත් මට තේරුනා, ඒක තේරුමක් නැති වැඩක්...

ඔයාව මං දැක්කෙ හීනෙන්... ඒක ඒ දැක්ක හීනෙ වගේම, කවදාවත් ආයෙ දකින්න බලාපොරොත්තුවක් නැති විදිහටම හිතෙන් අතෑරලා ඉවරයි මං... සමහර විට මං ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් උනොත්, මං කවදහරි හදන ෆිල්ම් එකකට ඔයා වස්තු බීජයක් වෙයි... ඒ ඇර, මං ආයෙ කවදාවත් ඔයාව බලාපොරොත්තු වෙන්නෙ නෑ...

මං ආයෙ කවදාවත් ඔයාව හොයන්නෙත් නෑ...

 

-------------------------------------------------------------------------------------------------------------- 

කොටි මලයාගේ බ්ලොග් පිටුව කියවන මගෙ රත්තරං යාලුවේ, මෙච්චර වෙලා ඔයාලා කියෙව්වෙ කොටි මලයා 2022 මැයි මාසෙ 6 වෙනිදා උදේ 4-5 අතර වෙලාවෙ දැකපු හීනෙකුයි, ඒ හීනෙ පාදක කරගෙන මම කරපු මගෙ වඩාත්ම iconic ම 3d artwork එකකුයි. ඒ ආට්වර්ක් එක ඉවර කලේ 2025 අගෝස්තු 13 වෙනිදා. මේ ආට්වර්ක් එකක මම ප්‍රින්ට් කරලා, ෆ්‍රේම් කලා. ඒ වගේම මේක ඩිජිටල් අවකාශයේ ප්‍රකාශනය කරල තියෙන්නෙ මේ බ්ලොග් එකේ විතරයි. අවදානෙ ගන්න හිතෙන වෙලාවට වට්සැප් ස්ටේටස් වල, ෆේස්බුක් එකේ එහෙම ෂෙයා කලත් කවුරුත් බලන්න කලින් මම ඒවා ආයෙ ඉක්මනට ඩිලිට් කලා. මං දන්නෑ ඒ ඇයි කියල. ඒත් මේ බ්ලොග් එක මගෙ ජීවිතේ පූජනීය වස්තුවක් නිසා, මේකෙ විතරක් ඒක පෝස්ට් කරනවා.
 

කොටි මල්ලි (Snow Kotiya)
2026-06-02

No comments:

Post a Comment

මගේ ලෝකෙ ජාතික වීරයා

"මගේ එදා දේශනයෙදි මම පොඩි වැඩක් කලා. මම හැමෝගෙන්ම ඇහුවා කවුද ඔයා කැමතිම වීරයා කියලා. එක එක උත්තර හම්බුනා. අනගාරික ධර්මපාල, පුරන් අප්පු ...