Thursday, July 30, 2026

A/L කාලෙම තමන්ගෙ career path එක සැලසුම් කරන හැටි - මගේ අත්දැකීම් වලට අනුව

 මේ පෝස්ට් එක ලියන්නෙ මේ දවස් ටිකේම දැකපු jobs, internship නැති ප්‍රශ්නෙ වගේම layoff ප්‍රශ්නෙ ගැන සෑහෙන්න කතාබහක් හැදිලා තියන නිසා.

IT Industry එකේ හැමදේම වෙනස් වෙලා Ai නිසා. Entry level jobs මොකුත් නෑ. හැම කැම්පස් එකකින්ම වගේ IT ඩිග්‍රි අරන් එන ළමයි සෑහෙන්න අසරණ වෙලා. ඔක්කොටම හපන් විදිහට අවුරුදු ගණන් වැඩ කරපු අයත් දැන් රොත්ත පිටින් layoff ‌ෙවනවා. (layoff ‌සීන් එක ගැන මම මේ පෝස්ට් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒක ගැන මගේ අදහස වෙනම පෝස්ට් එකකින් ලියන්නම්. 

අපිට කෙල වුනේ කොතනද?

මට හිතෙන හැටියට අපිට කෙලවීමට පටන්ගත්තෙ ඔිලෙවල් ඉවර වෙලා ඒලෙවල් කරන්න පටන් ගත්ත කාලෙමයි. මං මේක විස්තර කරන්න කලින්, මෙන්න මේ කාරණාව මුලින් හිතට ගන්න. අපි ඉන්නෙ 2026. 2020 කොවිඩ් වලින් පස්සෙ ලෝකෙ වෙනස් වෙන්න ගත්තා සෑහෙන වේගෙන්. අපිට 2020දි කරපු දේවල් දැන් කරල බැහැ. අපි 2026 ඉන්නව නං අපි දැන් වැඩ කරන්න ඔිනෙ 2030 වෙද්දි ලෝකෙ කොහොම තියෙයිද කියලා අනුමාන කරලා අන්න ඒ කාලෙට හරියන්න හැඩගැහෙන්න. ඒ වගේම 2030 වෙද්දි ආයෙ වැඩ කරන්න ඔිනෙ 2035 වෙද්දි මොන වගේ වෙයිද අන්න ඒ විදිහට හරියන්න. 
අපිට ගැලවීමක් නෑ මචං... අපිට හැමදාම අලුතෙන් හිත හිත අලුත් දේවල්ම කරන්න වෙනවා. නැතුව මේ වර්තමාන ලෝකයේ ජීවත් වෙන්න බෑ... අපි ආසාවෙන් කරන දේවල් ඒ ඒ කාලෙට ගැලපෙන විදිහට අප්ඩේට් කරලා වැඩ කරන්න වෙනවා...

ඔිලෙවල් වලින් පස්සෙ කෙලවීම පටන් ගත්තා කියල මම කියන්නෙ හේතුව මේකයි. මනුස්සයෙක් තමන්ගෙ ජීවිතේ කරන වෘත්තීයට අදාලව ඇඟේ තියන passion එක අඳුනගන්න තියන හොඳම කාලෙ තමා ඔිලෙවල් වලින් පස්සෙ පටන්ගන්නෙ. ලංකාවෙ බහුතරයක් ළමයි කෙලවාගන්න ලොකුම පොයින්ට් එක විදිහට මම දකින්නෙ මේක. පොඩි කාලෙ ඉඳන්ම අපේ ඔලුවට දානවා ඩොක්ටර්, ඉංජිනියර්, ලෝයර්, එකවුන්ටන්ට්, රජයෙ රස්සා වගේ ජොබ් ටිකක් මේ මත පදනම් වෙලා තමා අපි අපේ ඉස්කෝලෙ අධ්‍යාපනය කරගෙන යන්නෙ. ඔිලෙවල් ඉවර උනාට ඒලෙවල් ස්ට්‍රීම් 5න් 1ක් තෝරගනිද්දි අපි ආයෙමත් ඇහුවොත් ළමයෙක්ගෙන් ඇයි මේ ස්ට්‍රීම් එක තෝරගන්නෙ කියලා, කීයෙන් කීදෙනාටද ටාගට් එකක් තියෙන්නෙ තමන් අනාගතයේ මෙන්න මේ වෘත්තිය කරනවා කියලා. මට ඩොක්ටර් කෙනෙක්, ඉංජිනියර් කෙනෙක්, ලෝයර් කෙනෙක් වෙනවා කියල අතිශය දැඩි උවමනාවක් තියන ඉතාම සීමිත පිරිසයි ඉන්නෙ. අනිත් හැමෝම ඒලෙවල් වලට එන්නෙ එන විදිහකට ඒලෙවල් කරනවා, එන රිසල්ට් එකට එන විදිහකට කැම්පස් එකක මොකක් හරි ඩිග්‍රියකට යනවා, ඩිග්‍රියෙන් පස්සෙ නිකන්ම ජොබ් එනවා එහෙම සීන් එකේ ඉන්නෙ.

දැන් එහෙම ජොබ් ලැබෙන්නෑ බං. 2020න් පස්සෙ ඒක වෙනස් වෙන්න ගත්තා. ඉස්සරහට තව තව කචල් වෙනවා. දැන් මම කියන්නං මගේ අත්දැකීම් එක්ක අනාගතය වෙනුවෙන් ඒලෙවල් කාලෙම career path එක සැලසුම් කරන හැටි. මේ පෝස්ට් එක දැනට ඒලෙවල් කරලා ඉන්න, කරන සහ ඔිලෙවල් ඉවර වෙලා ඒලෙවල් වලට ඉන්න එන්න සෙට් එකට.

පළවෙනිම දේ, ඒලෙවල් කරපල්ලා මචංලා. ඊට පස්සෙ කැම්පස් ගියා නැතා මහන්සි වෙලා පාඩම් කරලා ඒලෙවල් කරන්න. හොඳ රිසල්ට් එකකට යන්න. මොකද ඒකෙන් උඹලගෙ discipline එක හැදෙනව සහ ඒකට පුලුවන් උඹලට අවස්ථා ගොඩකට දොරවල් ඇරල දෙන්න.   

ඒලෙවල් වලින් පස්සෙ මෙන්න මේ විදිහට වැඩ කරගෙන යන්න. උඹලා මෙඩිසින්, law වගේ සිලෙක්ට් උනොත් මේ විදිහට වැඩ කරන්න අවශ්‍ය නෑ. මොකද ඒවා ඇවිල්ලා වෙන කිසිම දේකින් රිප්ලේස් කරන්න බැරි වෘත්තීන්නෙ. සහ ආට් කරලා ag office වල රජයෙ රස්සා වලට යන්න ඉන්න අයටත් මං හිතන්නෑ මේ ටික ලොකුවට වැදගත් වෙයි කියලා. කෝකටත් හැබැයි කියවලා බලන්න. කොහොමත් ආට් කරලා artist කෙනෙක් විදිහට ඉස්සරහට එන්න ඉන්න අයට වෙනම ලියන්න බලාපොරොත්තු වෙනවා මාත් ඒ සබ්ජෙක්ට් වල ඉන්න කෙනෙක් නිසා.

උඹලා මචං උසස් අධ්‍යාපනයට යොමු වෙනවත් එක්කම උඹල කරන්න ආස වෙන වෘත්තියට අදාලව self studies කරන්න සහ ඊට අදාලව තමන්ගෙ network එක හදාගන්න පටන්ගන්න ඔිනෙ. මං මේකට උදාහරණයක් විදිහට ගන්නං ටෙක් හෝ මැත්ස් කරලා IT හෝ engineering පැත්තට එන කෙනෙක් කරන්න ඔිනෙ දේවල්. මෙතනදි කරන්න ඔිනෙ දේ තමා උඹ කැම්පස් එකට ගිහින් දෙයක් ඉගෙනගනිද්දි කැම්පස් එක දේවල් උගන්නවට වඩා වේගෙන් සයිඩ් එකෙන් උඹේ තනි මහන්සියෙන් උඹ වෙනම ඉගෙනගෙන කැම්පස් එකට වඩා වේගෙන් යන්න ඔිනෙ.

 මුලින්ම හදන්න linkedin එකේ එකවුන්ට් එකක්. ඊට පස්සෙ ඒකෙන් බලන්න තව අවුරුදු 2,3 කින් ඔයා කරන්න ඉන්න ආසාවෙන් වෘත්තියට අදාලව තියන ජොබ් වේකන්සි. ඒ වේකන්සි වලින් ඔයා නෝට් කරන්න ඒ ජොබ් වල ඉල්ලලා තියන job requirements මොනවද කියලා. පළවෙනි පාරට මොකුත් තේරෙන්නෙ නෑ මොනව ඒ ජොබ් එකට ඉල්ලන ස්කිල් කියලා. එතකොට මචං ඒ requirements වල තියන ඉංග්‍රීසි වචන ගූගල් කරල බලන්න මොකක්ද තේරුම සහ මොකක්ද වෙන්නෙ කියල. නැත්තං chatgpt දාලා හොයල බලන්න මොකක්ද කියල. chatgpt ට කියන්න උඹ අවුරුදු 12ක ළමයෙක්ට පැහැදිලි කරන විදිහට උඹට ඒක කියල දෙන්න කියලා.

මෙහෙම වේකන්සි වල requirements බලාගෙන යද්දි ඔයාට දල අදහසක් එයි මොනවද මේ ඉන්ඩස්ට්‍රි ඉල්ලන ස්කිල් සහ ඉන්ඩස්ට්‍රි එකේ යන trend මොනවද කියලා. මෙතනදි අපි කලේ මචං self studies පටන් ගන්න සිලබස් එකක් හොයාගන්නව වගේ වැඩක්. දැන් අපිට පුලුවන් self studies පටන් ගන්න.

අපිට මචං self studies කරන්න ප්‍රධානම source එක තමා ඉන්ටනෙට් එක. මෙතනදි අපි ලේසියෙන්ම අපිට ඉගෙනගන්න සහ ප්‍රැක්ටිස් කරන්න පුලුවන් කම්පියුටර් එක ආශ්‍රයෙන් කරන දේවල්. උදාහරණයක් විදිහට programming, designing ඒවා. commerce කරන අයට accounting වැඩ වලට පාවිච්චි කරන සොෆ්ට්වෙයා (exel) වගේ ඉගෙනගන්න පුලුවන්. ඒ වගේම ඔයාගෙ ෆීල්ඩ් එකට අදාලව පාවිච්චි කරන Ai tools ගැනත් ඉගෙනගන්න පුලුවන්. youtube එකට ගියාම මේ හැමදේකටම අදාල මොකක් හරි වීඩියෝ එකක් තියනවම තමයි. බේසික් හරි ඉගෙනගන්න.  ඒ වගේම google එකේ සර්ච් කලාම ඔිනෙ තරං වෙබ්සයිට්, ආටිකල් තියනව.ඒව ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් හරි කියවන්න. තේරෙන්නෙම නැති තැන් කොපි කරලා chatgpt එකට පේස්ට් කරලා ඌට ප්‍රොම්ප්ට් එක දෙන්න අවුරුදු 12ක ළමයෙක්ට පැහැදිලි කරන විදිහට පැහැදිලි කරන්න කියලා.

ඔහොම කරගෙන යද්දි ඊළඟ ස්ටෙප් එක තමා මේ ඉගෙනගන්න දේවල් ප්‍රැක්ටිස් කරන එක. project based learning එකට බහින්න. මුල්ම දේ තමා පුලුවන් තරං කොපි කරන්න. උදාහරණයක් විදිහට ඔයා වෙබ් ඩිසයින් ඉගෙනගන්නව නං තියන වෙබ් සයිට් එකක් බලලා ඒක recreate කරන්න බලන්න ඒ විදිහටම. UI එක හරි හදන්න බලන්න ඒ විදිහටම css, html වගේ කෝඩ් කරල. මචං දෙයක් ඉගෙනගන්න පුලුවන් හොඳම ක්‍රමේ තමා දේවල් කොපි කරන එක. අනිත් අයගෙ ප්‍රොජෙක්ට් බලලා ඒ විදිහටම මැච් කරලා හදන්න ට්‍රයි කරන්න. මේවා කොහෙවත් පබ්ලිෂ් කරන්නෙපා. ඒත් ඒවා හදන්න. පස්සෙ පස්සෙ ඒ්වා ඔයාම හිතලා වැඩිදියුණු කරන්න.

ඊළඟට volunteer jobs (ස්වෙඡ්ඡා සේවක) මේ ප්‍රොජෙක්ට් වලට සෙට් වෙන්න. linkedin එකේ එහෙම සෑහෙන්න තියනවා. සල්ලි ගැනම හිතන්නෙපා යකෝ. සල්ලි හොයන්නත් ඉගෙනගෙන තියෙන්න ඔිනෙ සහ පුහුණුවක් ලැබිලා තියෙන්න ඔිනෙ.   

ඊළඟට එනවා කරන්න තවත් වැදගත්ම දෙයක්... ඒ තමා කනෙක්ෂන් හදාගන්නෙක...

මෙතනදි මචං ඔයා කරන්න ඔිනෙ linkedin, facebook වලින් තමන්ගෙ ෆීල්ඩ් එකේ ඉන්න ප්‍රොෆෙෂනල්ලා හොයාගන්නෙක. මේ වැඩේදි linkedin කලින් facebook එකෙන් පටන්ගන්න. මෙතනදි මචං ඔයා බලන්න ඔයාගෙ ෆීල්ඩ් එකට අදාල කම්පැනි සහ වල අදාල තනතුරු වල වැඩ කරන අය. ඒ අයව හොයලා ඇඩ් කරගන්න බලන්න ලිස්ට් එකට. ඔහොම ඉඳලා පොඩි මැසේජ් එකක් දාන්න "අයියා මම මේ ෆීල්ඩ් එකට අලුත්, මං සබ්ජෙක්ට් එකට ආසයි, මට පොඩි guide එකක් දෙන්න පුලුවන්ද ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න, මම higher studies කරනවා නං කොහොමද කරන්න ඔිනේ මෙහෙමයි මෙහෙමයි" කියලා... හොඳම පොයින්ට් එක තමා අයියගෙ ජීවිත කතාව අහන තැනට ටෝක් කරන්න.. මචං මිනිස්සු හරි කැමතියි තමන්ගෙ ජීවිත කතාව අලුත් පොඩි එවුන්ට කියලා උන්ට ජීවිතේ ජය ගන්න හැටි කියල දෙන්න. ඒ ජීවිත කතා සෑහෙන්න ඔයාගෙ ජීවිතේ වෙනස් කරාවි. මචං හෙනම භක්තියෙන් අහගන්න ඔිවා ඈ. හැබැයි මතක ඇතුව මීටරෙන් ඉන්න අයියා කියන දේවල් එකපාරම පිලිගන්නත් එපා. බුදුහාමුදුරුවොත් කියල තියනව ඔක්කොම අහලා තමන් තනියම හොයලා බලලා කරුණු තහවුරු කරගෙන විශ්වාස කරන්න කියලා. අයියගෙන් ඔක්කොම data ටික අරන් ඔයා තනියම ඒවා ප්‍රොසෙස් කරලා පැහැදිලි information එකක් ගන්න. ඔහොම වැඩ කරගෙන යද්දි මචං ඔයා self studies වලදි කරන ප්‍රොජෙක්ට් අරවා මේවා අයියට පොඩ්ඩක් යවලා රිවීච් එහෙමත් ගන්න. ඔහොම කරන් යද්දි අයියට උඹව මතක හිටිනවා වගේම අයියගෙ ප්‍රොජෙක්ට් වලදි නැත්තං අයියගෙ කම්පැනියෙ ප්‍රොජෙක්ට් වලදි එහෙම අයියා උඹව රිකමන්ඩ් කරලා උඹට සුපිරි ගේමක් ගහගෙන යන්න චාන්ස් සෙට් කරගන්න පුලුවන් ඉස්සරහට.

linkedin එකෙනුත් මේ වගේම තමා ෆීල්ඩ් එකේ වැඩ කරන අයව ඇඩ් කරගන්න. හැබැයි linkedin එකෙන් ජීවිත කතා නං අහන්න යන්නෙපා කරුණාකරලා. 

ඒ වගේම තමා කරන ප්‍රොජෙක්ට් පෝස්ට් කරන්න linkedin, facebook වල. පර්ෆෙක්ට් වෙන්න හිතන්නෙපා. පොඩි වැඩ වුනත් පෝස්ට් කරන්න ගානට. එහෙම පෝස්ට් කරද්දි work in progress එකත් එක්ක පෝස්ට් කරන්න. පොඩි වැඩේ වුනත් වැදගත් පොයින්ට් බලලා පෝස්ට් කරන්න ඈ අවදාන ගණිකාවක් වෙන තරම් එක දිගට මොකුත් දාන්න එපා. 

 ඔය ටික තමා කරගෙන යන්න තියෙන්නෙ. හරියට කරගෙන ගියොත් අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට වෙයි. විශේෂයෙන් මතක් කරන්න ඔිනෙ අනිවාර්යයෙන් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙනගන්නම ඔිනෙ. ඒ වගේම උවමානවක් තියේ නං තව භාෂාවක් ඉගෙනගන්න බලන්න රුසියන්, ජර්මන් වගේ.

ඒ වගේම තමා මෙතනදි final goal එකක් නෑ, තියෙන්නෙ නොනවතින process එකක් විතරයි.

මැරෙනකන්ම අලුතෙන් දේවල් ඉගෙනගනිමින්, අලුත් දේවල් කරමින් ජීවත් වෙන්න වෙනවා. එච්චරයි. 

 

කොටි මල්ලි (Snow Kotiya)
2026-07-30 

 ප.ලි - කලිනුත් කිවුවා වගේ මං කියපුවත් එකපාර විශ්වාස කරන්නැතුව ඔයාගෙම රිසර්ච් එකක් කරලා, කරුණු තහවුරු කරගෙන වැඩ පටන් ගන්න :D

Sunday, July 19, 2026

VFX Studio එකක ජොබ් එකක් සමග මගේ මතක

 මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG එකේ. ඔය දෙකේම මම වැඩ කලේ ඔන්ලයින්. මම තුන්වෙනියට සහ අවසානයට වැඩ කලේ මට මෙතන නම කියන්න බැරි VFX එකක. එතන තමා මං මුලින්ම onsite job එකකට කියලා ගියේ. ඔෆිස් එක තිබ්බෙ බොරලැස්ගමුවෙ. මේක ස්ටූඩියෝ එකක් වුනත් එතන තිබ්බෙ ස්ටූඩියෝ එන්වයර්මන්ට් එකකට වඩා ඔෆිස් එන්වයර්මන්ට් එකක්. අපිත් ඔෆිස් කිට් ගහලා එහෙම තමා වැඩට ගියෙ. Studio vs Office වෙනස දන්නැත්තං මෙන්න මෙහෙම සරලව කියන්නං..

ඔෆිස් (office) එකක් කියන්නෙ මචං පරිපාලන වැඩ, බිස්නස් ප්ලෑනින්, රැස්වීම් වගේ දේවල් වලට තියන productivity, hierarchy වලට focus කරලා වැඩ කරන ගොඩාක් professional discipline සීන් එකේ තියන තැනක්. හැබැයි ස්ටූඩියෝ (studio)එකක් කියන්නෙ මචං නිර්මාණකරණය, ඩිසයින් එක්ස්පෙරිමන්ට්, සහ කලාව ඇතුලෙ ප්‍රැක්ටිකල් වැඩ කරන තැනක්. මෙතන professional තැනක් වුනත් ගොඩාක් නිදහස් වටපිටාවක් තියෙන්නෙ. 

මං ඒ් ස්ටූඩියෝ එකේ මුලින්ම වැඩට ගියෙ 2024 නොවැම්බර් පළවෙනිදා. දික්හේනෙන් උදේ 6.10ට තිබ්බ බස් එකේ නැගලා හොරණට ඇවිත්, හොරණින් හොරණ කොළඹ 120 බස් එකේ නැගලා ගිහින්, බොරලැස්ගමුවෙ 10 කණුව හෝල්ට් එකේ බැහැලා, 10 කණුව පාරෙන් ගංගාරාම පාරෙ තියන ඔෆිස් එකට වෙනකන් තියන කිලෝමීටර් එක හමාරක වගේ දුර මම පයින් යනවා. අපේ ගෙදර ඉඳන් ඔෆිස් එකට දුර තිබ්බෙ කිලෝමීටර් 27ක් වගේ ගාණක් වුනත් මේ සම්පූර්ණ ගමනට මට පැය 2කට වඩා යනවා. හවස ඔෆිස් ඇරිලා එද්දි ඒක පැය 3කට වැඩියි. බයික් එකේ යනවා නං පැයෙන් යන්න පුලුවන් ගමනක් වුනත් මට තිබ්බ Suzuki GP100 එකේ වැඩට යන්න එන්න ගියා නං මාව විකිණෙනවා තෙල් ගහලම. මොකද ඒක 100cc වුනත් 2strock බයික් එකක් නිසා තෙල් කලේ 27ක් වගේ. තෙල් ලීටරේ 330ට වගේ ගියෙ ඒ දවස් වල මතක හැටියට.

උදේ හොරණින් නැගලා යද්දි මට සීට් එකක ඉඳගෙන සැපට යන්න පුලුවන් වුනත් හවස 5.30ට ඔිෆ් වෙලා ගෙදර එද්දි නං අමා මහ දුකක් තමා හැමදාම වින්ඳෙ. කොළඹ ඉඳන් ෆුල් පැක් වෙලා එන හොරණ කොළඹ බස් එකට රූට් එකේ මැදින් තියන බොරලැස්ගමුවෙන් හවස 6ට කිට්ටු කරලා නගින්න සෙට් වුනාම තියන සැප කොහොමද.. මම කවදාවත් ෆුට් බෝඩ් ගිය එකෙක් නෙවෙයි මචං මං සිරාවටම හෙන බයයි ෆුට්බෝඩ් යන්න.. ඒත් ෆුට්බෝඩ් කරුමෙට කරගහන්න වුනා මට හවස වැඩ ඇරිලා එද්දි.  සම්පූර්ණයෙන්ම කඳ එලියෙ බස් එකෙන්.. බොරලැස්ගමුවෙ ඉඳන් පිළියන්දලට වෙනකන්ම හැමදාම ෆුට්බෝඩ් එකේ ආවෙ. අච්චර කැස්බෑව බස් තියෙද්දි පිළියන්දලට එන්න හොරණ බස් එකේ නගින උද්ධික පුතාලට නං අම්මපා හෙන ගහන්න ඔිනෙ කැස්බෑවට එහා බහින එවුන්ව ෆුට්බෝඩ් යන්න සෙට් කරලා එච්චර අසරණ කරනවට... බස් එකේ බාගෙට බාගයක් සීට් වල ඉඳගෙන සැපට එන්නෙ පිළියන්දලින් බහින එවුන් මිසක් හොරණට යන එවුන් නෙවෙයි...

කොහොමහරි 2024 නොවැම්බර් වල මම වැඩට ගිහින් සති දෙකක් යන්න කලින් තමා අපේ පවුලට සෑහෙන්න අමාරු කාලයක් උදාවෙන්න ගත්තෙ අපේ පියාණන්ගෙ වම් කකුලෙ ඇඟිල්ලක් කපන්න වෙලා දියවැඩියාව නිසා. අවුරුදු ගාණක් දියවැඩියාව තිබිලත් පියාණන් කට පරිස්සම් කර ගන්නැතුව ආතල් එකේ කාලා බීලා හිටපු එකේ පල විපාක මුලු පවුලටම විඳින්න වුනේ මාස 2කට වඩා හොරණ-කොළඹ හොස්පිට්ල් වල ඉඳලා අන්තිමට වලලුකර ගාවින් කකුල කපන තැනට වෙනකන් බඩු පැකට් වුනාම.

ඒකෙන් මොනවා වුනත් මට වෙච්ච පොඩි වාසිය වුනේ පියාගෙ ප්ලැටිනා 100 බයික් එක මගෙ පාවිච්චියට ගන්න පුලුවන් වෙච්චෙක. 2025 ජනවාරි මාසෙ වගේ ඉඳන් මම ප්ලැටිනා එකේ වැඩට යන්න පටන් ගත්තෙකෙන් මගේ ගමන් පහසුව නෙක්ස්ට් ‌ලෙවල් එකට ගියා වගේම කාලය සහ සල්ලිත් ඉතුරු වුනා. ප්ලැටිනා එක ලීටරේට කිලෝමීටර් 60 පන්නලා කරපු සිරා බයික් එකක් නිසා බස් එකේ යන ගමන් වියදමටත් වඩා අඩු වියදමක් තමා මට තෙල් වලට ගියේ. කොච්චර ජපන් බයික් ලවර් කෙනෙක් වුනත් ඉන්දියන් බයික් වලට මම අදටත් හිස නමා ආචාර කරන්නෙ දෙපයින් නැගිටින මනුස්සයෙක්ට හයියක් වෙන්න ඒවට තියන සිරා හැකියාවට.

වැඩට යද්දි 10 කණුවෙන් හැරිලා යද්දි මම සාමාන්‍යයෙන් කරපු දෙයක් තමා පාරෙ පයින් යන කවුරුහරි ඉන්නවා නං ගංගාරාම පාරට වෙනකන් බයික් එකේ දාන් එන එක. මොකද මම බස් එකේ යන කාලෙ 10 කණුව පාරෙ තියන කිලෝමීටර් 1 හමාරක දුර පයින් එන එක මට ලේසි වුනේ නෑ. මොකෙක් හරි මනුස්සකමක් තියන එකෙක් දැකලා දාගෙන යයි කියලා හැමදාම බලාපොරොත්තු වුනත් කවුරුත් මාව එහෙම දාන් ඇවිල්ලත් නෑ. කොහොමහරි ඔහොම උදේට හැමදාම ගංගාරාම පාරට වැඩට එන අංකල් කෙනෙක් මාත් එක්ක යන්න නිතර සෙට් වුනා. වයස 60කට කිට්ටු කරල ඇති මයෙ හිතේ. ෆුල් ඔෆිස් කිට් එකක් ගහලා ඔ‌ෆිස් බෑග් එකකුත් අරන් යන නිසා මං මුලින් හිතුවෙ හොඳ ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් කියලා. ඒත් පස්සෙ කතා කරද්දියි දැනගත්තෙ අපේ ඔෆිස් එක ළඟම තියන ගරාජ් එකේ ටිංකරින් වැඩ තමා අංකල් කරන්නෙ කියලා. දවසක් මං වැඩ ඇරිලා යද්දි දැක්කා උදේ ෆුල් ඔෆිස් කිට් ගහලා එන අංකල් මජං ඇඳුමක් ඇඳගෙන ගරාජ් එකේ ඉන්නව!

අපේ ඔෆිස් එක තිබ්බෙ 10 කණුවෙ පාරෙන් ඇවිත් දකුණට දාලා ටික දුරක් ගියාම තියන බිල්ඩින් එකක. ඒක ඉස්සරහ තිබ්බ කලු පාට ලොකු ඉලෙක්ට්‍රික් ගේට්ටුව බිල්ඩිම බලාගන්න ඉන්න අංකල්ට කියලා ඇරවගෙන බයික් එක ඇතුලට දාන්, බිල්ඩින් එක පිටිපස්සෙ තිබ්බ පොඩි ගෙදර පේමන්ට් එකේ බයික් එක නවත්තලා ආයෙ ඉස්සරහට ඇවිත්, ගරාජ් එකේ නවත්තල තියන ලොකු බොස්ගෙ සුදුපාට ඩිෆෙන්ඩරේ ලස්සනින් සිත සනසාගෙන බිල්ඩිමට ඇතුලු වෙලා, ලිෆ්ට් එකේ 4 වෙනි තට්ටුවට ගිහින් 8.30 වෙද්දි ෆින්ගර් ප්‍රින්ට් එක තියලා ඔෆිස් එකට ඇවිත් බෑග් එක වැඩ කරන මේස යටට දාලා, මැශින් එකත් ඔන් වෙන්න දාලා, ටොයිලට් එකට එහෙම ගිහින් චූ පාරක් එහෙම දාලා මූණත් පොඩ්ඩක් හෝදගෙන ආයෙ මැශින් එකට ඇවිත් වැඩ පටන් අරන් තමා මගේ රැකියා ජීවිතය ආරම්භ වෙන්නෙ.

අපිට  ක්‍රියේටිව් ඩිරෙක්ටර් කියලා කෙනෙක් හිටියා අපේ වැඩ සුපර්වයිස් කරන්න. සහ ඌ තමා ප්‍රොජෙක්ට් ගෙනාවෙයි ඒවා මැනේජ් කලෙයි. පොර ගැන ඉදිරියට වෙනම ලියන්න ඔිනෙ. තව කොල්ලො 3 දෙනෙක් වැඩ කලා උන් 3 දෙනාත් එක්ක බලද්දි මං නිකන් අතදරුවෙක් වගේ සීන් එකක් තිබ්බෙ. උන් ඇත්තටම දක්ෂයි. උන් ටික වැඩ කරන විදිහ, ඉන්ඩස්ට්‍රිය ගැන අප්ඩේට් වෙන විදිහ ඇත්තටම මාරයි. ඒ කොල්ලො තුන් දෙනා එක්ක වැඩ කරන්න ලැබිච්ච එක මගෙ ජීවිතේ මට ලැබුනු හොඳම අත්දැකීම් වලින් එකක්.. 

 කොහොමහරි ඒ ස්ටූඩියෝ එක ඇතුලෙ අපි කරපු ප්‍රොජෙක්ට් සහ මම කලින් කියපු ක්‍රියේටිව් ඩිරෙක්ටර් නිසා අපිට ඇතිවුන ප්‍රශ්න ගැන මෙතන ලියන එක මේ වෙලාවෙ ගැලපෙන්නෙ නෑ කියල මම හිතනව. කොහොම උනත් පොර එක්ක මට තිබ්බ ගණුදෙනුව ගැන ලියන්න ඔිනෙ මොකද නැත්තං මේ පෝස්ට් එකේ අගමුලක් ගලපන්න අමාරු වෙන නිසා.

මේ ස්ටූඩියෝ එකට මම ජොයින් වෙන්නෙ මහරාජා එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරද්දි අපිට ග්‍රැෆික්ස්/ඇනිමේෂන්/කැමරා මොඩියුල් උගන්නන්න ආපු ලෙක්චරර් ගෙ ආරාධනාවකට. මේ  ලෙක්චරර්ම තමා මචං ස්ටූඩියෝ එකේ අපිට හිටපු ක්‍රියේටිව් ඩිරෙක්ටර් වුනේ. මහරාජා එකේ ලෙක් එන්න දවස් 2ක් නිවාඩු දෙන්නත් එකඟ වුනා. මම මචං මේක හොඳ අවස්ථාවක් විදිහට දැක්කා මොකද මම මේ ලෙක්චරර් ගැන පට්ට භක්තියකින් හිටියෙ. ඒ වගේම 3ඩී ආටිස්ට් කෙනෙක් විදිහට VFX industry එක ඇතුලෙ කලින් වැඩ කරල තිබ්බ නැති නිසා මට VFX පැත්ත ඉගෙනගන්නත් මේක හොඳ අවස්ථාවක් වේවි කියලා මම හිතුවා. ඒක ඇත්තටම එහෙම්මම වුනා. හොඳ ප්‍රොජෙක්ට් තිබ්බා,අපි හොඳට වැඩ කරගෙන ගියා. 

හැබැයි මෙතන ජොබ් යද්දිම මම දැනන් හිටියා එක දෙයක්. ඒ තමා මේ ස්ටූඩියෝ එක ඇතුලෙ මට ලියන්න තියෙන්නෙ උපරිම වුනොත් මාස 10ක විතර පොඩි පරිච්ඡේදයක් කියලා. ඒකට හේතුව වුනේ ජොබ් එකට එන්න කියලා ඔය ක්‍රියේටිව් ඩිරෙක්ටර් මට ආරාධනා කරන්නත් මාස දෙක තුනකට කලින් මගේ තිබ්බ ලොකු හීනයක් වෙනුවෙන් මම ලොකූ මෙහෙයුමක් පටන් අරන් තිබ්බේ. ඒ මෙහෙයුම සෑහෙන්න රහසිගත මෙහෙයුමක් වුනා. ඒ මෙහෙයුමේ 75%ක් විතර ඉවර වෙනකන් අඩු ගානෙ මම ගෙදර අයටවත් ඒ ගැන කියල තිබුනෙ නෑ.

මේක ඇත්තටම එක අතකින් මහ ආත්මාර්තකාමී කතාවක් මචං. ඒත් මට ඒකට කරන්න දෙයක් නැහැ. මොකද මගේ ලොකු මෙහෙයුමේ ඇතුලෙ තිබ්බ එක objective එකක් තමා මේ පොඩි කාලෙ ඇතුලත පුලුවන් තරං 3ඩී ආටිස්ට් කෙනෙක් විදිහට මගෙ ස්කිල් එක සහ එක්ස්පීරියන්ස් එක වැඩ කරගන්නෙක. සෑහෙන්න අසාර්ථක ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙච්ච මට ඒක තනියෙන් කරගන්න විදිහක් තිබ්බෙ නෑ. ඒ නිසා professionaly වැඩ කරන තැනක onsite වැඩ කරන්න ලැබිච්ච එක මට ඒ objective එක සම්පූර්ණ කරන්න ලැබුනු අවස්ථාවක්. මම විශ්වාස කරනවා මචං මම ජොබ් එක ඇතුලෙ මගේ උපරිමේ දුන්නා කියලා. මීට කලින් වැඩ කරපු තැන් දෙකේ වුනත් මම ඒ විදිහටම උපරිමේ දුන්නා. මෙතන ජොබ් එකට මං ඊටත් වඩා දුන්නා කියලයි හිතෙන්නෙ. මොකද මට මතකයි VAEG එකේ ඉන්න කාලෙ සංජය අයියා ඇනිමේෂන් වැඩ එහෙම දෙද්දි මං ටිකක් පස්ස ගැහුවා. හැබැයි මේ ස්ටූඩියෝ එකේදි මම කිසිම දේකට බෑ කිවුවෙ නෑ. කරන්න බැරිම දේවල් වුනත් උත්සාහ කරලා මිසක් අතෑරියෙත් නෑ. දීපු සැලරියට ඒ වගේ දෙගුණෙක වටිනාකමක වැඩ කරන්න මං හැමවෙලේම ට්‍රයි කලා. ස්ටූඩියෝ එකේ ලොකු බොස් මට දීපු ඒ අවස්ථාවට මම සාධාරණයක් කලා කියලා මම විශ්වාස කරනවා මචං...

2025 පෙබරවාරි මුල මගේ ලොකු මෙහෙයුමේ ලොකු කඩයිමක් පැන්නා මචං. ඒකෙන් තමා මට හරියටම ස්ටූඩියෝ එකෙන් අයින් වෙන්න ඔිනෙ දවස ප්ලෑන් කරන්න පුලුවන් වුනේ. 2025 ජුනි මාසෙන් පස්සෙ ස්ටූඩියෝ එකට ගෞරවාන්විත සමුදීමක් එක්ක කොල්ලො ටිකටත් හොඳ පාටියක් දීලා අයින් වෙලා යන්න තමා මං හිතුවෙ. හැබැයි මෙහෙයුමේ රහසිගතබව ඉතා වැදගත් නිසා මම අයින් වෙනවා කියල කට්ටියට එක්ස්පෝස් කලෙත් 2025 මැයි මාසෙ අග මගෙ resignation එක දෙන කොට. 

හැබැයි මේ කාලෙ වෙද්දි අපේ ක්‍රියේටිව් ඩිරෙක්ටර්ගෙ හැසිරීම සහ ස්ටූඩියෝ එකට ආව ප්‍රොජෙක්ට් මැනේජ් වෙච්ච විදිහ එක්ක අපිට සෑහෙන්න ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තිබ්බා. මම මැයි වල resignation දුන්නට පස්සෙ තත්ත්වෙ තවත් දරුණු වෙන්න ගත්තා කියලයි මට හිතෙන්නෙ. මේ හැමදේම එක්ක ක්‍රියේටිව් ඩිරෙක්ටර් මට එල්ල කරපු බලපෑම එක්ක මට තේරුනා මේ විදිහට ගියොත් මේක මගේ ලොකු මෙහෙයුමට බරපතල ප්‍රශ්නයක් වෙනවා කියලා. මොකද ඒ මෙහෙයුමේදි මම මානසිකව ගොඩක් හොඳ ලෙවල් එකක ඉන්න ඔිනෙ. ඒ වගේම අර ඩෑල් එකට තිබ්බ මූලග්ගාය එක්ක මගෙ මෙහෙයුම සම්පූර්ණ කඩාකප්පල් කරන්න පුලුවන් වැඩක් කරන්න උත්සාහ කරන්නත් බැරි නෑ. ඒ හැමදේමත් එක්ක මම තීරණය කලා අන්තිම දවස ජුනි 31 වුනත් ඊට කලින් ස්ටූඩියෝ එකෙන් මාරු වෙන්න.

මට ඒ සතිය ඇතුලෙ කරන්න තිබ්බ අන්තිම වැඩේ වුනේ එක්තරා ලොගෝ ඇනිමේෂන් එකක් කරන්න. ඒ වැඩේ කරලා ජුනි 17 වෙනි අඟහරුවාදා ඔිෆ් වෙලා ගෙදර ගියෙ ආයෙ මේ ඔෆිස් එක පැත්ත පලාතෙ නොඑන්නමයි. ක්‍රියේටිව් ඩිරෙක්ටර් එක්ක ඇරගෙන තිබ්බ ඇරිල්ල නිසා මම ආයෙ එන්නෙ නෑ කියලා කාටවත් කියන්න මට පුලුවන්කමක් තිබ්බෙ නෑ. 

එහෙම ගිහිල්ලා දවස් දෙක තුනක් ෆෝන් ඔි‌ෆ් කරන් සද්ද නැතුව හිටියා. ඒක ප්‍රොෆෙෂනලි වැඩ කරපු තැනක් වුනත් මම ක්‍රියේටිව් ඩිරෙක්ටර්ගෙ කටවචනෙ ආරාධනාවට වැඩට ආව නිසා මං කන්ට්‍රැක්ට් මොකුත් අත්සන් කරල තිබ්බෙ නෑ. resignation letter එකේ පවා මම දාල තිබ්බෙ බොරු එඩ්‍රස් එකක්. රැකියාවක තියන වෘත්තීයමය ගුණාංග පැත්තෙන් හෙන අපත වැඩ ටිකක් මම කරලා තිබ්බත් ඒ දවස් වල තිබ්බ තත්වෙ එක්ක මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ මචං.

ඒ ජුනි 17 වෙනි අඟහරුවාදා ඒ ඔෆිස් එක දාලා එද්දි මං කල්පනා කලේ ඒ අයින් වෙලා යන්නෙ පොඩි කාලෙකට මට සෑහෙන්න ජීවිතේ වටින අත්දැකීම් දීපු තැනක් නේද කියලා. එතනදි තමා ඇත්තටම ජොබ් එකකට යනවා කියන අත්දැකීම මම වින්ඳෙ. ඒ අත්දැකීම් මම මීට කලින් ලියපු රැකියාව සමග මම පෝස්ට් එකේ ලියලා තියනවා.

ගෙදරින් ගේන කෑම අපි එකතු වෙලා එකට කාපු හැටි මට තාම මතකයි. මම ඒ වුනාට ගොඩක් දවස්වලට කඩෙන් තමා කෑම ගන්නෙ. ඔෆිස් එක ළඟ තිබ්බා ගමේ කඩේ කියලා කෑම කඩයක්. ඔෆිස් එකේ හැමෝටම අනුව ඒක තමා පැත්තටම තියන ජරාව කෑම කඩේ. ඒ වුනාට ඒකෙ රයිස් ඇන්ඩ් කරි එකේ මට නං කවදාවත් අඩුපාඩුවක් තිබ්බෙ නෑ. 

මං බයික් පදින එක, වාහනයක් එලෝන එක සෑහෙන්න එංජෝයි කරන මනුස්සයෙක් නිසා ප්ලැටිනා එකේ වැඩට ගිය ගමන මම හැමදාම සෑහෙන්න එංජෝයි කලා මචං. හොරණ කොළඹ පාරෙ පොඩි වලවල් ගානෙ ඉඳන්, ට්‍රැෆික් ලයිට් එක වැඩ කරන ටයිමින්, පොලීසිය ඉන්න තැන් හැම එකක්ම මට නූලට කටපාඩම් සීන් එකක් තිබ්බෙ. මං හරි ආසයි මචං වැස්සෙ බයික් එක පදින්න. වැඩ ඉවර වෙලා යද්දි වැස්සක් සෙට් වුනාම මට පට්ට ආතල් ඒ දවස් වල. මට මතකයි නා කපන වැස්සෙ හෙල්මට් එකේ වයිසරෙන් පාර හරියට පේන්නැතිව තියෙද්දි පවා මම නවත්තන්නැතුව ගෙදර එනවා.

මේ ස්ටූඩියෝ එකේ වැඩට යන කාලෙ තමා මට මගේ මගේ මෙලෝ රහක් නැති මාස 3 ප්‍රේමය තිබ්බෙ. ඔය ගංගාරාම පාරෙන් ගිහින් මොරටුව හරහා පානදුරට යන්න පුලුවන්. සෙනසුරාදා හාෆ් ඩේ වැඩ ඉවරවෙලා මම පානදුර යනවා ඒකිව බලන්න ඒ කාලෙ. එකපාරක් ඔහොම යද්දි මම ගිහින් තව බයික් එකක ඇන්නා ගංගාරාම පාරෙදි මගෙ එකේ බ්රේක් නැතුව ගිහින්. මොකද ප්ලැටිනා එකේ බ්රේක් අඩුයි. කොහොමත් මම කවදාවත් බ්රේක් තියන වාහනයක් පැදපු එකෙක් නෙවෙයි. GP100 එකෙත් බ්රේක් තිබ්බෙ නෑ ලාන්සරේ බ්රේක් තිබ්බෙත් නෑ. එදා වෙලාවට වැඩි වේගෙන් නොගිය නිසා සහ අනිත් බයික් එකටවත් ආපු එකාටවත් ආපදාවක් නොවිච්ච නිසා සෑහෙන්න කුණුහරුප ටිකක් අහලා පොලොවෙ පස් කාලා වැඳ වැටිලා සමාව ඉල්ලගෙන මාරු වෙලා එන්න පුලුවන් වුනා.

මේ පෝස්ට් එක කියවන කෙනෙක්ට සමහර විට ක්‍රින්ජ් හැඟීමක් එන්න පුලුවන් ජොබ් එකක් කරපු ඔෆිස් එකක් ගැන මෙච්චර කියවන්න පුලුවන්ද කියලා. ඒක මෙහෙමයි මචං. ඒ ජොබ් එකේ වැඩ කරන කාලෙ මට සෑහෙන්න විශේෂිත වුනා මොකද මගේ තිබ්බ ලොකු මෙහෙයුමත් එක්ක ඒ ගෙව්වෙ ලංකාවෙ හුළඟ වදින අවසාන කාලෙ නිසා. අනිත් එක එතන ජොබ් එකේ ඉද්දි මම තේරුම් ගත්ත දෙයක් තමා ඔෆිස් කිට් ගහගෙන වැඩට ගිහින් කරන 8-5 රස්සා මට හරියන්නෑ කියනෙක. ජීවිතේ හැමදාම independant artist කෙනෙක් විදිහට ඉස්සරහට යන එක ගැන හිතන්න ගත්තෙ ඒ කාලෙ නිසා. මම දන්නෙ නැහැ අනාගතයෙ මම ආයෙ ජොබ් එකකට යයිද කියලා. ඒත් ලංකාව ඇතුලෙ ආයෙ මම කවදාවත් ජොබ් එකක් කරන එකක් නැහැ.

මම එදා බයික් එක ගේට්ටුවෙන් එලියට දාලා යන්න කලින් එකෙක්ට කිවුවා "මම උඹලට දෙනවා කිවුව පාටිය අනිවාර්යයෙන් දෙනවා" කියලා. ඌ ඒකට හා හා කිවුවට මං මේ යන්නෙ ආයෙ වැඩට නොඑන්න කියල ඌට  ඒ වෙලාවෙ තේරුනේ නෑ . 

උන්ට වෙච්ච ඒ පොරොන්දුව ඉටු කරන්න මට ඊට පස්සෙ අවස්ථාවක් ලැබුනෙ නෑ.... හැබැයි මං තාම ඒක අමතක කරලත් නෑ...  

 ඔය ඔක්කොටම වඩා මට තියන අවුල අර මං බයික් එකේ දාන් ආව අංකල්ට මං ආයෙ එන්නෙ නෑ කියලා යන්න බැරි වුන එක. අපි ඒ බයික් එකේ ගිය කිලෝමීටර් එක හමාරෙ පොඩි දුරට සෑහෙන්න දේවල් කතා කලා. ලාන්සරේ ටිංකරින් වැඩ ටිකත් අංකල් මට කරලා දෙන්න පොරොන්දු වෙලා තිබ්බෙ...

 

කොටි මල්ලි (Snow Kotiya)
2026.07.19

 

2026-08-13 Update

මේ පෝස්ට් එක තමා මං හිතන්නෙ මේ මුලු බ්ලොග් එකෙන්ම වැඩිපුරම සංස්කරණය වුන පෝස්ට් එක. මම මුලින් මේක ලියද්දි මේ ස්ටූඩියෝ එකේ නම වගේම මාත් එක්ක හිටපු අයගෙ නම් පවා එලිකරලා ලියලා තිබ්බත් අදාල පාර්ශවයන්ගේ ඉල්ලීම සහ ඇත්තටම සදාචාරාත්මක හේතු ගොඩාක් මත ටික කාලයක් ඩ්‍රාෆ්ට් විදිහට හරවලා සෑහෙන්න සංස්කරණය කරලා අද නැවත පබ්ලිෂ් කරනවා. මේ පෝස්ට් එකේම කලින් කොටසක් වෙච්ච රැකියාව සමග මම පෝස්ට් එකත් මේ සමගම සංස්කරණය කරන්න සිදුවුනා.  

Sunday, July 12, 2026

මේකත් වෙනස් වෙනවා...ඒ වගේම... Regret කරන්නෙපා...

 උඹට හිතෙන්නැද්ද අපි නිසාන් ජීටීආර් ගැන හිතනව වැඩියි කියලා.

ඉතින් හිතන්න වෙන දේකුත් නෑනෙ බං... මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන්නෙ එතන විතරයි...

උඹට ට්‍රැක පැනලා හොඳටම...

මං දන්නවා බං... ඒත් මං ආසයි මේ පැනපු ට්‍රැකේම දිගටම ඉන්න.. 

ඔය ඉන්න විදිහෙන් උඹ තව අගාදෙටමයි යන්නෙ. ගෙදරින් එලියට බහින්නෙ නෑ. කෙල්ලෙක් ටෝක් කරන්නෙ නෑ. වෙන යාලුවෙක් එක්කවත් හම්බෙලා කතා කර කර ඉන්නවත් යන්නෙ නෑ. හැමදාම ඇතුලට වෙලා කම්පියුටරේ බදාගෙනම හිටපන්.

මං ඉන්න තත්වෙ උඹට තේරෙන්නෑ බං. මට ආස දේවල් ගන්න මට මෙහෙම ඉඳලත් මදි. ඒ හැමදේටම කලින් මම ජීවත් වෙලා ඉන්න ඔිනෙ. ඒක කරන්න මට අනිත් එවුන් ජීවත් වෙන සාමාන්‍ය විදිහට ඉඳල හරියන්නෙ නෑ... අඩු ගානෙ එදිනෙදා ජීවත් වෙන්න මම ගහන ගේම් එක ගැනවත් උඹට ‌තේරෙන්නෙ නෑ. අවුරුදු ගාණක් ගොඩනගපුවා තත්පරෙන් නැතිවෙද්දි ආයෙ ඒවා පඩියෙන් පඩිය තියලා තිබ්බට වඩා හොඳට ගොඩ නගන එක කොච්චර අමාරුද කියල උඹට තේරෙන්නෙ නෑ. 
මට මේ ඉන්න විදිහට තනියෙන් ජීවත් වෙන එකත් කොච්චර අමාරුද කියල උඹට හිතාගන්නවත් බෑ. 

මේ ජීවිතේ මට හරි මහන්සියි මචං. මට මං ඉපදුන විදිහ ගැන තරහක් නෑ. ඒත් මිනිස්සුන්ට දේවල් ලැබෙන විදිහ ගැන හිතලා බලද්දි මට දෙයක් ලබාගන්න ඔිනෙ වුනාම ඒක මට ලැබෙන්නෙ කොච්චර අමාරුවෙන්ද කියලා කල්පනා වෙද්දි මට මං ගැනම හෙන දුකයි මචං. ඒත් මොනවා කරන්නද මචං... අපිට කොච්චර අමාරු වුනත්, අපිට ලැබිල තියන ජීවිතේ අපිට අතාරින්න බෑ. අපිට වඩා අනන්ත දුක් විඳින මිනිස්සු ඉන්නවා මේ ලෝකෙ. අඩු ගානෙ ඉන්න වහලක් කන්න බොන්න යමක් මොනවා හරි උනොත් පොඩි හරි උදවුවක් කරන්න නෑයෙක් දෙන්නෙක් හරි ඉන්නවා. ඒ නිසා ජීවිතේ කොච්චර අමාරු වුනත්, ඒ අමාරුකම් ගැන මං දිගට හිතන්නෙ නෑ.

ජීවිතේ සරලයි මචං... මේ හැමදේම වෙනස් වෙනවා... ඒක තමා යථාර්තෙ... මේ අමාරුකම් හැමදාම තියෙන්නෙ නෑ...

එදා රංදිමයා වැදගත් කතාවක් කිවුවා Regret කරන්නෙපා... ඒක තමා මේ ලෝකෙ වැඩකටම නැති දේ කියල..

ඌ කිවුව කතාව ඇත්ත. මගෙ ජීවිතේ දැන් තියරි 2යි. 

මේකත් වෙනස් වෙනවා...ඒ වගේම... පසුතැවිලි වෙන්නෙ නෑ, මොන දේ සිද්ද වුනත්... 

ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්

" ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්." උදේ පාන්දරම දිනේෂ් මට වොයිස් මැසේජ් එකක් එවලා තිබ්බා. (දිනේෂ් ...