Saturday, July 18, 2026

RS මෙහෙයුම - පළමු කොටස

"සොරි මැඩම් මට ගෙදර පර්සනල් ප්‍රශ්න වගයක් තියනවා ඒ නිසා මම ස්කොලර් එක කැන්සල් කරනවා"

2024 වසරේ මාර්තු මස මැද භාගයේ දිනක විද්‍යුත් මාධ්‍ය පිලිබඳ ඩිප්ලෝමාව හදාරන කොළඹ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ සිට මාර්ග අංක 120 හොරණ කොළඹ බස් රථයේ නැඟී නිවස බලාඑමින් සිටියදි ජංගම දුරකථනයට පැමිණි ඇමතුමකට ඔහු එලෙස පිළිතුරු දුන්නේය.

ඔහු රුසියානු රජයේ එම ශිෂ්‍යත්වයට අයදුම් කලේ මීට මාස 4කට පමණ පෙර එනම් 2023 වසරේදීය. නමුත් ඔහුට රට යෑමට උවමානවක් තිබුනේ නැත. අහම්බෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දුටු දැන්වීමකට අනුව යමින් ඔහු ශිෂ්‍යත්වයට අයදුම් කලේ නිකමට වගේය. අනෙක් අතට අයදුම් කලත් ශිෂ්‍යත්වයෙන් ලැබෙන්නේ විශ්වවිද්‍යාල ගාස්තු පමණක් නිසා අනෙකුත් ගුවන් ටිකට්පත ඇතුලු අනෙකුත් ලියකියවිලි සෑදීම සඳහා අවශ්‍ය මුදල් ඔහු සතුවවත්, පවුල සතුවවත් තිබුනේද නැත. අනෙක් අතට පෞද්ගලික  අධ්‍යාපන ආයතනයේදී ඉගෙනීමට පටන් ගත් විද්‍යුත් මාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාව සහ එහිදී හමුවූ මිතුරන් ඔහුට ප්‍රසන්න හැඟීමක් ඇති කල අතර එය අතහැරීමට ඔහුට කැමැත්තක්ද නොවීය. කෙසේ වෙතත් "ස්කොලර් එක කැන්සල් කරනවා" කියලා කිවුවාට පසු "මොනවා වුනත් අපරාදේ" යන හැඟීමද ඔහුගේ සිත තුල පහල වූයේය. එබැවින් දිග සුසුමක් හෙලා සියල්ල අතහරිනලද සුලු හැඟීමකින් සිත පුරවාගත් ඔහු නැවතත් ජංගම දුරකථනයේ වාදනය වෙමින් පැවති ගීතයට සවන් දෙන්නට පටන් ගත්තේය.

කාලය ගතවී ගියේය. විද්‍යුත් මාධ්‍ය ඩිප්ලෝමාව නරක නැත. ඔහු හොඳින් වැඩකටයුතු කරගෙන ගියේය. හමුවූ මිතුරු මිතුරියන්ද ඉතා ප්‍රියමනාපය. සාමාන්‍යයෙන් ඔහු මිතුරන් ආශ්‍රයට වැඩි කැමැත්තක් නැති අයෙකු වුනත් ඔවුන් ඔහුට මනාව ගැලපුනේය. මෙම විද්‍යුත් මාධ්‍ය පාඨමාලාව පවත්වන පෞද්ගලික අධ්‍යාපන ආයතනය රටේ ප්‍රධාන රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාවක් හා අනුබද්ධ ආයතනයක් වූ බැවින් එම නාලිකාවේ විකාශන ආයතන වලදී පුහුණුව සහ ඉගැන්වීම් කරන ලද අතර එම පාඩම් සහ පුහුණූව ඔහුට ඉතා ආශ්වාදජනක විය.

කෙසේ වෙතත් වසරේ මැද භාගය වන විට ඔහුට නැවතත් අතෘප්තිකාර අසහනය දැනෙන්නට පටන් ගත්තේය. එයට හේතු කිහිපයක්ම තිබිණ. පළමුවැන්න වූයේ ඔහු ත්‍රිමාණ ආකෘතිකරණ සහ සජීවීකරණ ක්ෂේත්‍රයේ වැඩ කල ත්‍රිමාණ නිර්මාණකරුවෙකු වූ බැවින්, ඔහුට අවශ්‍යව තිබුනේ එම ක්ෂේත්‍රයන් හරහා වැඩිදුර ඉගෙනීම වුවත්, විද්‍යුත් මාධ්‍ය පාඨමාලාව විශාල වශයෙන් රූපවාහිනී වැඩසටහන් නිර්මාණකරණය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයන් ඔස්සේ ඉගෙැන්වීම් කටයුතු කරගෙන යාමයි. මුල් කාලයේ පාඨමාලාව ඔහුගේ සිත තදින් ඇද බැඳ ගෙන තිබූ නමුත් ක්‍රමයෙන් "මේ කෝස් එක මට මදි" කියන හැඟීම ඔහුගේ සිතට ඇතුල්වීමට පටන්ගෙන තිබුනේය. නමුත් වඩාත්ම වැදගත් හේතුව වූයේ එය නොවේ.

මීටත් වසර එකහමාරකට පමණ පෙර තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය සමත්වී විශ්ව විද්‍යාල ප්‍රවේශය අයදුම් කරන මොහොතේ ඔහු එතරම් වාසනාවන්ත වූයේ නැත. 

විශ්වවිද්‍යාල අයදුම්පත එනම් කැම්පස් පොත යනුවෙන් හැඳින්වෙන අයදුම්පත පිරවීමේදී ත්‍රිමාණ නිර්මාණකරණ ක්ෂේත්‍රය ඔස්සේ ඉදිරියට ඉගෙනගැනීම සඳහා ඔහුට තිබූ එකම තෝරාගැනීම වූයේ මොරටුව විශ්වවිද්‍යාලයේ නිර්මාණවේදය පාඨමාලාවයි. Z score සුදුසුකම සපුරා තිබූ නමුත් අවාසනාවන්ත ලෙස එම පාඨමාලාවට අදාල යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී තිබූ බැවින් එම පාඨමාලාව සඳහා ඔහු තේරීපත්වූයේ නැත. කැම්පස් පොත පිරවීමේදී සාමානයෙන් සිසුන් පොදුවේ කරන, Z score එක තිබූ පලියට අවශ්‍ය නැති පාඨමාලා පවා මනාප පාඨමාලා ලැයිස්තුවට ඇතුලත් කිරීමේ වරද ඔහුද සිදුකල බැවින් අවසානයේදී ඔහු තේරීපත්වූයේ වයඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදී උපාධි පාඨමාලාවටය. 

වයඹ විශ්වවිද්‍යාලයට තේරීපත් වූ මොහොතේ ඔහු ඒ ගැන වැඩිදුර සිතුවේ නැත. ඉංජිනේරු තාක්ෂණවේදය හොඳ උපාධියකි. ඔහුට තිබූ ගැටලුව විශ්වවිද්‍යාලය දුර බැහැර තිබීම සහ එය නවකවදයේ තෝතැන්නක් බවට පත්වී තිබීම පමණි. කෙසේ වෙතත් ඔහු මුල් කාලයේ නැවත නැවතත් වැඩිදුර සිතුවේ නැත. ඔහු ඒ ගැන නැවත සිතන්නට පටන් ගත්තේ වයඹ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිය සඳහා ගිය දවසේ සිටය.

වයඹ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිය සඳහා 2023 වසරේ මාර්තු මස අග භාගයේ දිනක සිය පියාණන් සමග ප්ලැටිනා යතුරු පැදියේ නැගී පැය 4කට ආසන්න වෙහෙසකර ගමනකින් හොරණ සිට කුලියාපිටිය දක්වා ගිය ගමන තාමත් ඔහුට ඡායාවක් මෙන් මතකය. ජීවිතයේ විශේෂ තැන් සාමාන්‍යයෙන් ඔහු හොඳින්ට මතක තිබුනත් වයඹ විශ්වවිද්‍යාලය හා බැඳුනු සිදුවීම් ඔහු ආයාසයෙන් හෝ අමතක කිරීමට උත්සාහ කලේය. ඔහු වයඹ විශ්වවිද්‍යාලයට ගිය පළමු සහ අවසාන දවස ඒ දවසය. මුල් දිනයේ සිටම වයඹ විශ්වවිද්‍යාලය ඔහුගේ සිත ඇදගත්තේ නැත. ලියාපදිංචියෙන් පසුව විශ්වවිද්‍යාලයේ online orientation පටන්ගත් අතර ඒත් සමගම ඔහුට ඉංජිනේරු තාක්ෂණවේදී පාඨමාලාවේ විෂය කරුණුද ඉතා ඉක්මනින් එපාවීමට පටන් ගත්තේය. මේ ඔහු බලාපොරොත්තු වූ දෙය නොවේ. සාමාන්‍ය පෙළ කරන අවධියේ සිටම ඔහුට ගණිතය යනු තේරුම්ගැනීමට ඉතා අපහසු විෂයක් බව ඔහුට වැටහීමට පටන්ගෙන තිබූ නමුත් සා.පෙළ ගණිතය විශිෂ්ට ප්‍රතිපලයක් ලබාගත් බැවින් ඔහු ඒ පිළිබඳ නැවතත් සිතුවේ නැත. උසස් පෙළ විෂය ධාරාවන් තෝරාගැනීමේදීද මුලින් ඔහු භෞතික විද්‍යා විෂය ධාරාවේ සිට ඉතා ඉක්මනින් තාක්ෂණවේදය විෂය ධාරාවට මාරුවූයේද එම හේතුව මතය. නමුත් දැන් නැවතත් ඔහු පැමිණ ඇත්තේ එම තැනටමය. වෙනස ඇත්තේ මෙහිදී ඔහුට නැවතත් මාරු වීම් නොමැත.

ඒත් සමගම ත්‍රිමාණ නිර්මාණ ක්ෂේත්‍රය තුල මේ දක්වා ඔහු ගොඩනඟාගෙන තිබූ දියුණුවද මෙම උපාධියත් සමග බිඳවැටීගෙන යන අයුරු එම මාස කිහිපය තුළ ඔහු ඇස්පනාපිටම දුටුවේය. ඒ දිනවල ඔහු රැකියාව කලේ රටේ ප්‍රධාන පෙලේ visual art ආයතනයක වන අතර එහි වැඩකිරීමට ඔහු සිහින මැවුවේ වසර 3ක පමණ සිටය. නමුත් අවාසනාවන්ත ලෙස විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ වූ බැවින් එහි රැකියාවෙන් ඔහුට ඉවත්වීමට සිදුවිය. බෝඩිං කාමරයේ පරිගණකය තබාගෙන විශ්වවිද්‍යාල වේලාවෙන් පසු නිර්මාණ කටයුතු වල නිරතවීමට ඔහු මුලින් සිතාගෙන සිටියත් උපාධියේ ඇති course work සමග එය කිරීමට නොහැකිබවත් ඔහුට මනාව පැහැදිලි විය. මේ හැමදෙයකින්ම ඔහුට ඔහුවම නැතිවේගෙන යන බව ඔහුට දැනෙන්නට විය. ජීවිතයේ අතිශය දුෂ්කර වූ තීරණයක් ගැනීමට සිදුවූයේ මේ මොහොතේදීය.

2023 ජුනි මස මුලදී වයඹ විශ්වවිද්‍යාලයට නොගිහින් සිටීමට ඔහු තීරණය කලේය. පවුලේ සැමගේ බලාපොරොත්තු වලට මරු පහරක් එල්ල කල මෙම තීරණය ඔහුගේ ජීවිතයේ දුෂ්කරම කාලපරිච්ඡේදයක් ආරම්භ කලේය. ඔහුගේ තීරණය වැඩියෙන්ම බලපෑමේ ඔහුගේ මවටය. ඔහු රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගැනු දැකීම ඇගේ එකම සිහිනය වී තිබිණ. කෙසේ වෙතත් මවගේ සිහිනය සැබෑ කිරීම සඳහා තමන්ගේ සිහින මරා දමමින් වයඹ විශ්වවිද්‍යාලයේ තමන් අකමැති උපාධියක් කිරීමට යාමට තරම් ඔහුගේ සිත පරාර්ථකාමී නොවීය. 

 වයඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදී උපාධියට පයින් ගසා නැවත 3D වලට පැමිණීමෙන් පසු ජීවිතය ඔහුගේ ජීවිතයේ අසීරුතම කාල පරිච්ඡේදයක් සනිටුහන් කලේය. ඉදිරියට යෑමට විවර වී ඇති කිසිම දොරක් තිබුනේ නැත. සෑම දෙයම කනපිට ගැසීමට පටන්ගත්තේය. පරිගණකය ලෙඩ විය. ආර්ථිකය නැති බංගස්ථාන විය. අවට සිටියාවුන්ගේ කුණුකතා ඔහුගේ සහ ඔහුගේ මවගේ හිස් තදින් පෑරීය. විෂයන් 3ටම ගෙවල් වලට පෞද්ගලික ගුරුවරුන් ගෙන්වා උගන්නලාත් S කටු 3 දාගන්න බැරි වෙච්ච ගොබ්බෑස්ලගේ මවුවරුන්ගෙන් පවා "A/L හොඳට පාස්වෙලත් හරියට දෙයක් කරගන්න බැරි වුනා නේද" වැන කතා සෑහෙන්න අහගන්නට සිදුවිය. ඒ අතරේ ඔහු කැම්පස් පොතේ ඔහුගේ මනාප ලැයිස්තුවේ පහල තිබූ කෝස් එකකට මාරුවක් ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සෑහෙන්න ඇපීල් යැවුවේය. බෝට්ටු එනතුරු බලාසිටියේය. නමුත් ඒ කිසිවක් සිදුවූයේ නැත. කුඩා මාකටින් ඒජන්සියක සුලු රැකියාවක් පමණක් ආර්ථිකමය වශයෙන් එම වකවානුවේ ඔහුට පිහිට විය.

2023 නොවැම්බර් මස 2022 ඒලෙවල් බැච් එකේ කටොෆ් මාක් පැමිණීමත් සමග බෝට්ටු සහ ඇපීල් ගැන ඔහු තැබූ බලාපොරොත්තු බිඳී ගියේය. ජීවිතයේ බලාපොරොත්තු 0ටම ඇද වැටීම යනු කුමක්දැයි ඔහුට තේරුම් ගියේ එවිටය. සියලු උත්සාහයන් වතුරේ ගොස් ඇත. ඉදිරියට යාමට කිසිම මඟක් පේන්නේද නැත. අනාගතයේ අවිනිශ්චිතබව නම් ගණාන්ධකාරයෙන් ඔහුගේ ජීවිතය පිරී ඉතිරී ගියේය.

මේ අතර රටේ ප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවක් හා අනුබද්ධ අධ්‍යාපන ආයතනයක් මගින් මෙහයවනු ලබන විද්‍යුත් මාධ්‍ය පිළිබඳ පාඨමාලාවකට ඇතුලත්වීමට ඔහුට හැකියාව ලැබෙන්නේ එකී අවිචිශ්චිත අනාගතය නිශ්චිත අරමුණකට යොමු කරවීමේ බලාපොරොත්තුවක ඡායාවක් සිතේ දල්වමිනි. ඒ අතරේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළකර තිබූ දැන්වීමකින් රුසියානු රජයේ ශිෂ්‍යත්වයකටද ඔහු නිකමට අයදුම් කලේය. එයට ඔහු "නිකමට" ඇප්ලයි කලේ වැලේ වැල් නොමැති මොහොතේ අහක යන පඳුරු වලට පවා ඊතල විදීමේ පුරුද්දටය. කෙසේ වෙතත් 2023 වසර අවසාන කාලයේ මාකටින් ඒජන්සියේ රැකියාව සහ තවත් ෆ්‍රීලාන්ස් වැඩ සමග ආර්ථික ප්‍රශ්න දශම ගාණකින් සමනය වූ අතර 3ඩී වැඩ සඳහා නව ජවයක් ලබා දෙමින් නව පරිගණකයක් මිලදී ගැනීමටද ඔහුට අවස්ථාව හිමිවිය. ඒ සියල්ලත් සමින් අඩියටම වැටී තිබූ තම අනාගතය නැවත පඩියෙන් පඩිය ගොඩනැගීමේ ඒකායන අරමුණත්, කිසිදා අත්නොහැරි සුබවාදී බලාපොරොත්තුවේ ගිනි දැල්ලත් සමග 2024 නව වසර ආරම්භ විය.

 

මතු සම්බන්ධයි...! 
කොටි මල්ලි (Snow Kotiya)


No comments:

Post a Comment

Tusker Infinity Studios සමග මගේ මතක

 මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG ...