Saturday, August 29, 2026

ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්

" ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්."

උදේ පාන්දරම දිනේෂ් මට වොයිස් මැසේජ් එකක් එවලා තිබ්බා. (දිනේෂ් කියන්නෙ උගෙ ඇත්ත නම නෙවේ. සදාචාරාත්මක හේතූන් මත මේ කතාවෙ නම් ගම් වෙනස් කරලා දාන්නෙ මචංලා).

"කාවද බං?"

 "සඳුනිගෙ කොල්ලව බං... බඩු තියන් ඉඳලා අහුවෙලා... එස් ටී එෆ් එකෙන් අල්ලල තියෙන්නෙ"

"ආච්චිට හාල් ගරනවා"

මට ඔය ප්‍රවෘත්තිය ඇහුවම දැනුනෙ කුරිරු සතුටක් මචංලා... මට වඩා දග ගුණයක් වැඩියෙන් ඒක දිනේෂ්ට දැනෙන්න ඇති. මේ සිද්ධියෙ පසුබිම් කතාව මෙන්න මෙහෙමයි.

මේක වෙන්නෙ 2022 වසරෙ අගභාගයේ. එතකොට අපි ඒලෙවල් ලියලා රිසල්ටුත් ඇවිල්ලා කැම්පස් කට් ඔිෆ් මාක් එනකන් බලන් ඉන්නවා. මේ කාලෙ මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටියා කෙල්ලෙක් තමා සඳුනි කියන්නෙ. අපේ වයසෙ කොළඹ ප්‍රසිද්ධ බාලිකා ඉස්කෝලෙකට ගිය. මගෙ පහුගිය පෝස්ට් සඳහන් වෙච්ච දුෂ්ඨ පොඩි කෙල්ල ගිය ඉස්කෝලෙමයි. ඒකිත් එක්ක පොඩි චැට් එකක් තිබ්බා ඉතින් මට ඒ දවස් වල. ඔහොම ඉන්න කාලෙ ෆේස්බුක් එකෙන්ම තමා මට දිනේෂ්ව සෙට් උනෙත්. ඌ අපේ ඉස්කෝලෙ වුනත් මට ඌව එච්චර මතක තිබුනෙ නෑ. හැබැයි ඌට මාව මතක තිබ්බා. දිනේෂ් සහ සඳුනි දෙන්නම සබරගමු පළාතේ එකම නගරයක ගෙවල් තිබුන දෙන්නෙක්. ඒ නිසා ඒ දෙන්නත් දෙන්නට දෙන්නා අඳුරනවා සහ පොඩි පහේ චැට් යනවා ඒ දවස් වල. මම හිතුවෙ මුලින් දිනේෂ් සඳුනිට ට්‍රයි කියලා. හැබැයි ඌ ඒ දවස් වල වෙන කෙල්ලෙක්ට ට්‍රයි කලේ. කොහොමහරි ඔහොම ඉන්න අතරෙ මම "ගියොත් වචනයක් ආවොත් අලියෙක්" නිසා නිකමට ඔය සඳුනිගෙන් යාලුවෙන්න ඇහුවා. ඒකි කැමති නෑ සහ ඒකට හේතු විදිහට බරසාර දාර්ශනික හේතු ටිකක් දාලා තිබ්බා මට. කොහොමත් ඒ්කි සෑහෙන්න පොත් කියවන, දාර්ශනිකව හිතන සීන් එකේ හිටපු කෙල්ලෙක්. ඒලෙවල් වලින් ගියෙත් ලෝ ෆැකල්ටියට. මම ඉතින් මාසයක් දෙකක් ඇතුලත සැරින් සැරේ 3 පාරක් විතර අහලා කැපිලා අයින් වුනා. කොහොම හරි ඊටත් ටික කාලෙකට පස්සෙ දිනේෂ් සැරටම සඳුනිගෙ පස්සෙ වැටුනා මචං. ඌ ඒකිට සිරා ලව් කරන්න පටන් ගත්තා. සහ ඌ සඳුනිගෙන් රිජෙක්ට් වුනා නැති වෙන්නම. මොකද ඌට ප්‍රශ්න ගොඩක් තිබ්බා ඒලෙවල් නිසා. ෂයි එකක් ස්කිප් කරලා ඒලෙවල් කරන ගමන් හෙන අමාරුවෙන් හිටියෙ. මං පුලුවන් විදිහට දිනේෂ්ට උදවු කලා හිත හදාගන්න. ඌ ඒකෙන් තමා මගෙ ළඟම බොක්කක් වුනේ.

කොහොමහරි කාලෙත් එක්ක රිලේෂන්ෂිප් එකකට යන්න උවමනාවක් නෑ සහ තවත් විශාල බරසාර දාර්ශනික ටෝක් දීලා අපිව රිජෙක්ට් කරපු සඳුනි කොල්ලෙක්ට කැමැත්ත දුන්නා සහ ඒ ලව් එක සෝෂල් මීඩියා වල ප්‍රසිද්ධත් කරලා පැල් බැඳගෙන ලව් කලා. ඒ කොල්ලත් එයාලගෙ ගම් පෙදෙසමයි. ඒ වගේම දිනේෂුත් දන්න කියන එකෙක්. පොර නැවක වැඩ කලේ. වැදගත්ම දේ තමා මේ හාදයා ඔිලෙවල් කරන කාලෙ ඉඳන් මත්ද්‍රව්‍ය පාවිච්චියට ප්‍රසිද්ධ වෙලා හිටපු ඩයල් එකක්. ඉතින් ඔය යකාව බඩු තියන් ඉඳලා මාට්ටු වෙච්ච ප්‍රවෘත්තිය දන්වලා දිනේෂ්ගෙ යාලුවෙක් එවපු වොයිස් එක තමා දිනේෂ් මට ෆෝවඩ් කලේ.

අපි කතා වුනේ මොනවා වුනත් ඒක ගැලපෙන කපල් එකක් කියලා. අරූව මාට්ටු වෙන වෙලාවට වයිපරේ ඉන්නවා ලෝයර් ගාස්තු නැතුවම නඩුවට කතා කරන්න. ඒකත් මරු ඉතින්. 

ඔය කතාව පැත්තකින් තිබ්බත් අපි කොල්ලො ටික කයියකට සෙට් වෙන ගොඩක් වෙලාවට අපේ ප්‍රධාන මාතෘකාවක් තමා මේක. ඒ තමා සරලව ඇයි මේ කෙල්ලො කුඩ්ඩො, බඩුකාරයො එක්කම යාලු වෙන්නෙ කියෙනක. ගොඩක් වෙලාවට කුඩ්ඩො එක්ක යාලුවෙන කෙල්ලො ඉගෙන ගත්ත වගේම ලස්සනත් තියන කෙල්ලො.  අරක්කු/බියර්/සිගරට් කටේ තියල නැති, බඩු ගහන්නැති, ස්පා යන්නැති, බුල කෙලින්නැතුව ඉස්කෝලෙ ගිහින් හරියට ඉගෙනගත්ත, කැම්පස් ගිහින් ඉගෙන ගත්ත, හොඳ වෘත්තියකුත් කරනසත්ගුණවත් කොල්ලොන්ට කෙල්ලො කැමති නැති වෙන්න හේතුව අපිට තාමත් හොයාගන්න බැරි වෙලා තියනව. 

මේකට තව සිරා උදාහරණයක් Premalu (2024) මලයාලම් ෆිල්ම් එකේදි. මං කල්පනා කලේ, අන්තිමට කතාවෙ දුෂ්ඨයා සහ පරාජිතයා වුන ආදි වගේ වෙන්නයි අපිට හැමදාම ඔිනෙ වුනේ. ඌ හොඳට ඉගෙන ගෙන සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක් විදිහට හොඳ රස්සාවක් කරන වාහනයක් තියන ස්ටේබල් කොල්ලෙක්. හැබැයි අන්තිමට කෙල්ල යාලු වුනේ මොන මගුලක්වත් නොකර දාර බේබද්දෙක් සහ නිකමෙක් වෙච්ච සචින් එක්ක. අන්තිමට අර අහිංසකයව කතාවෙ දුෂ්ඨයත් කලා. 

dating කියන්නෙ දැන් කාලෙ එක්තරා ගේම් එකක්. මේ ගේම් එකේදි අපි වගේ සත්ගුණවත්, සැබෑ ආදරයක් හොයන එවුන්ට තැනක් නෑ. ගේම ගහන්නෙ පුලුවන් තරං කෙල්ලො ටෝක් කරන එකා. එතන ලව් එකක් නෑ. තියෙන්නෙ ආසාවක් විතරයි. කෙල්ලො වුනත් සැබෑ ආදරය ගැන ලොරි ටෝක් දුන්නට උන් අන්තිමට කැමති වෙන්නෙත් එහෙම රැන්ඩම් ආසාවකටම වෙන්න ඔිනෙ. ඒ නිසා වෙන්න ඔිනෙ දැන් කාලෙ බොහොමයක් ලව් එංගේජ්මන්ට් එකෙන් වෙඩින් එකකට යන්නැත්තෙ. ඒ නිසා වෙන්න ඔිනෙ කසාද බැඳල ඉද්දිත් අනියම් ප්‍රේමයවල් තියාගන්නෙ. 

මේ හැමදේම එක්ක මිනිස්සුන්ගෙ loyalty (පක්ෂපාතීත්වය) සහ අවංකකම මැරිලා ගිහින් තියන හැටි වගේම සිරා ලව් කරපු ලෝයල්ටි, අවංකකම අඩුවක් නැතුව තියන මිනිස්සු වේදනාවෙන් මිරිකි මිරිකි ජීවත් වෙන හැටි දකින්න වෙලා තියන එක සෑහෙන්න ඛේදවාචකයක් මචං. 


කොටි මල්ලි (Snow Kotiya)
2026.08.29

Thursday, July 30, 2026

A/L කාලෙම තමන්ගෙ career path එක සැලසුම් කරන හැටි - මගේ අත්දැකීම් වලට අනුව

 මේ පෝස්ට් එක ලියන්නෙ මේ දවස් ටිකේම දැකපු jobs, internship නැති ප්‍රශ්නෙ වගේම layoff ප්‍රශ්නෙ ගැන සෑහෙන්න කතාබහක් හැදිලා තියන නිසා.

IT Industry එකේ හැමදේම වෙනස් වෙලා Ai නිසා. Entry level jobs මොකුත් නෑ. හැම කැම්පස් එකකින්ම වගේ IT ඩිග්‍රි අරන් එන ළමයි සෑහෙන්න අසරණ වෙලා. ඔක්කොටම හපන් විදිහට අවුරුදු ගණන් වැඩ කරපු අයත් දැන් රොත්ත පිටින් layoff ‌ෙවනවා. (layoff ‌සීන් එක ගැන මම මේ පෝස්ට් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒක ගැන මගේ අදහස වෙනම පෝස්ට් එකකින් ලියන්නම්. 

අපිට කෙල වුනේ කොතනද?

මට හිතෙන හැටියට අපිට කෙලවීමට පටන්ගත්තෙ ඔිලෙවල් ඉවර වෙලා ඒලෙවල් කරන්න පටන් ගත්ත කාලෙමයි. මං මේක විස්තර කරන්න කලින්, මෙන්න මේ කාරණාව මුලින් හිතට ගන්න. අපි ඉන්නෙ 2026. 2020 කොවිඩ් වලින් පස්සෙ ලෝකෙ වෙනස් වෙන්න ගත්තා සෑහෙන වේගෙන්. අපිට 2020දි කරපු දේවල් දැන් කරල බැහැ. අපි 2026 ඉන්නව නං අපි දැන් වැඩ කරන්න ඔිනෙ 2030 වෙද්දි ලෝකෙ කොහොම තියෙයිද කියලා අනුමාන කරලා අන්න ඒ කාලෙට හරියන්න හැඩගැහෙන්න. ඒ වගේම 2030 වෙද්දි ආයෙ වැඩ කරන්න ඔිනෙ 2035 වෙද්දි මොන වගේ වෙයිද අන්න ඒ විදිහට හරියන්න. 
අපිට ගැලවීමක් නෑ මචං... අපිට හැමදාම අලුතෙන් හිත හිත අලුත් දේවල්ම කරන්න වෙනවා. නැතුව මේ වර්තමාන ලෝකයේ ජීවත් වෙන්න බෑ... අපි ආසාවෙන් කරන දේවල් ඒ ඒ කාලෙට ගැලපෙන විදිහට අප්ඩේට් කරලා වැඩ කරන්න වෙනවා...

ඔිලෙවල් වලින් පස්සෙ කෙලවීම පටන් ගත්තා කියල මම කියන්නෙ හේතුව මේකයි. මනුස්සයෙක් තමන්ගෙ ජීවිතේ කරන වෘත්තීයට අදාලව ඇඟේ තියන passion එක අඳුනගන්න තියන හොඳම කාලෙ තමා ඔිලෙවල් වලින් පස්සෙ පටන්ගන්නෙ. ලංකාවෙ බහුතරයක් ළමයි කෙලවාගන්න ලොකුම පොයින්ට් එක විදිහට මම දකින්නෙ මේක. පොඩි කාලෙ ඉඳන්ම අපේ ඔලුවට දානවා ඩොක්ටර්, ඉංජිනියර්, ලෝයර්, එකවුන්ටන්ට්, රජයෙ රස්සා වගේ ජොබ් ටිකක් මේ මත පදනම් වෙලා තමා අපි අපේ ඉස්කෝලෙ අධ්‍යාපනය කරගෙන යන්නෙ. ඔිලෙවල් ඉවර උනාට ඒලෙවල් ස්ට්‍රීම් 5න් 1ක් තෝරගනිද්දි අපි ආයෙමත් ඇහුවොත් ළමයෙක්ගෙන් ඇයි මේ ස්ට්‍රීම් එක තෝරගන්නෙ කියලා, කීයෙන් කීදෙනාටද ටාගට් එකක් තියෙන්නෙ තමන් අනාගතයේ මෙන්න මේ වෘත්තිය කරනවා කියලා. මට ඩොක්ටර් කෙනෙක්, ඉංජිනියර් කෙනෙක්, ලෝයර් කෙනෙක් වෙනවා කියල අතිශය දැඩි උවමනාවක් තියන ඉතාම සීමිත පිරිසයි ඉන්නෙ. අනිත් හැමෝම ඒලෙවල් වලට එන්නෙ එන විදිහකට ඒලෙවල් කරනවා, එන රිසල්ට් එකට එන විදිහකට කැම්පස් එකක මොකක් හරි ඩිග්‍රියකට යනවා, ඩිග්‍රියෙන් පස්සෙ නිකන්ම ජොබ් එනවා එහෙම සීන් එකේ ඉන්නෙ.

දැන් එහෙම ජොබ් ලැබෙන්නෑ බං. 2020න් පස්සෙ ඒක වෙනස් වෙන්න ගත්තා. ඉස්සරහට තව තව කචල් වෙනවා. දැන් මම කියන්නං මගේ අත්දැකීම් එක්ක අනාගතය වෙනුවෙන් ඒලෙවල් කාලෙම career path එක සැලසුම් කරන හැටි. මේ පෝස්ට් එක දැනට ඒලෙවල් කරලා ඉන්න, කරන සහ ඔිලෙවල් ඉවර වෙලා ඒලෙවල් වලට ඉන්න එන්න සෙට් එකට.

පළවෙනිම දේ, ඒලෙවල් කරපල්ලා මචංලා. ඊට පස්සෙ කැම්පස් ගියා නැතා මහන්සි වෙලා පාඩම් කරලා ඒලෙවල් කරන්න. හොඳ රිසල්ට් එකකට යන්න. මොකද ඒකෙන් උඹලගෙ discipline එක හැදෙනව සහ ඒකට පුලුවන් උඹලට අවස්ථා ගොඩකට දොරවල් ඇරල දෙන්න.   

ඒලෙවල් වලින් පස්සෙ මෙන්න මේ විදිහට වැඩ කරගෙන යන්න. උඹලා මෙඩිසින්, law වගේ සිලෙක්ට් උනොත් මේ විදිහට වැඩ කරන්න අවශ්‍ය නෑ. මොකද ඒවා ඇවිල්ලා වෙන කිසිම දේකින් රිප්ලේස් කරන්න බැරි වෘත්තීන්නෙ. සහ ආට් කරලා ag office වල රජයෙ රස්සා වලට යන්න ඉන්න අයටත් මං හිතන්නෑ මේ ටික ලොකුවට වැදගත් වෙයි කියලා. කෝකටත් හැබැයි කියවලා බලන්න. කොහොමත් ආට් කරලා artist කෙනෙක් විදිහට ඉස්සරහට එන්න ඉන්න අයට වෙනම ලියන්න බලාපොරොත්තු වෙනවා මාත් ඒ සබ්ජෙක්ට් වල ඉන්න කෙනෙක් නිසා.

උඹලා මචං උසස් අධ්‍යාපනයට යොමු වෙනවත් එක්කම උඹල කරන්න ආස වෙන වෘත්තියට අදාලව self studies කරන්න සහ ඊට අදාලව තමන්ගෙ network එක හදාගන්න පටන්ගන්න ඔිනෙ. මං මේකට උදාහරණයක් විදිහට ගන්නං ටෙක් හෝ මැත්ස් කරලා IT හෝ engineering පැත්තට එන කෙනෙක් කරන්න ඔිනෙ දේවල්. මෙතනදි කරන්න ඔිනෙ දේ තමා උඹ කැම්පස් එකට ගිහින් දෙයක් ඉගෙනගනිද්දි කැම්පස් එක දේවල් උගන්නවට වඩා වේගෙන් සයිඩ් එකෙන් උඹේ තනි මහන්සියෙන් උඹ වෙනම ඉගෙනගෙන කැම්පස් එකට වඩා වේගෙන් යන්න ඔිනෙ.

 මුලින්ම හදන්න linkedin එකේ එකවුන්ට් එකක්. ඊට පස්සෙ ඒකෙන් බලන්න තව අවුරුදු 2,3 කින් ඔයා කරන්න ඉන්න ආසාවෙන් වෘත්තියට අදාලව තියන ජොබ් වේකන්සි. ඒ වේකන්සි වලින් ඔයා නෝට් කරන්න ඒ ජොබ් වල ඉල්ලලා තියන job requirements මොනවද කියලා. පළවෙනි පාරට මොකුත් තේරෙන්නෙ නෑ මොනව ඒ ජොබ් එකට ඉල්ලන ස්කිල් කියලා. එතකොට මචං ඒ requirements වල තියන ඉංග්‍රීසි වචන ගූගල් කරල බලන්න මොකක්ද තේරුම සහ මොකක්ද වෙන්නෙ කියල. නැත්තං chatgpt දාලා හොයල බලන්න මොකක්ද කියල. chatgpt ට කියන්න උඹ අවුරුදු 12ක ළමයෙක්ට පැහැදිලි කරන විදිහට උඹට ඒක කියල දෙන්න කියලා.

මෙහෙම වේකන්සි වල requirements බලාගෙන යද්දි ඔයාට දල අදහසක් එයි මොනවද මේ ඉන්ඩස්ට්‍රි ඉල්ලන ස්කිල් සහ ඉන්ඩස්ට්‍රි එකේ යන trend මොනවද කියලා. මෙතනදි අපි කලේ මචං self studies පටන් ගන්න සිලබස් එකක් හොයාගන්නව වගේ වැඩක්. දැන් අපිට පුලුවන් self studies පටන් ගන්න.

අපිට මචං self studies කරන්න ප්‍රධානම source එක තමා ඉන්ටනෙට් එක. මෙතනදි අපි ලේසියෙන්ම අපිට ඉගෙනගන්න සහ ප්‍රැක්ටිස් කරන්න පුලුවන් කම්පියුටර් එක ආශ්‍රයෙන් කරන දේවල්. උදාහරණයක් විදිහට programming, designing ඒවා. commerce කරන අයට accounting වැඩ වලට පාවිච්චි කරන සොෆ්ට්වෙයා (exel) වගේ ඉගෙනගන්න පුලුවන්. ඒ වගේම ඔයාගෙ ෆීල්ඩ් එකට අදාලව පාවිච්චි කරන Ai tools ගැනත් ඉගෙනගන්න පුලුවන්. youtube එකට ගියාම මේ හැමදේකටම අදාල මොකක් හරි වීඩියෝ එකක් තියනවම තමයි. බේසික් හරි ඉගෙනගන්න.  ඒ වගේම google එකේ සර්ච් කලාම ඔිනෙ තරං වෙබ්සයිට්, ආටිකල් තියනව.ඒව ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් හරි කියවන්න. තේරෙන්නෙම නැති තැන් කොපි කරලා chatgpt එකට පේස්ට් කරලා ඌට ප්‍රොම්ප්ට් එක දෙන්න අවුරුදු 12ක ළමයෙක්ට පැහැදිලි කරන විදිහට පැහැදිලි කරන්න කියලා.

ඔහොම කරගෙන යද්දි ඊළඟ ස්ටෙප් එක තමා මේ ඉගෙනගන්න දේවල් ප්‍රැක්ටිස් කරන එක. project based learning එකට බහින්න. මුල්ම දේ තමා පුලුවන් තරං කොපි කරන්න. උදාහරණයක් විදිහට ඔයා වෙබ් ඩිසයින් ඉගෙනගන්නව නං තියන වෙබ් සයිට් එකක් බලලා ඒක recreate කරන්න බලන්න ඒ විදිහටම. UI එක හරි හදන්න බලන්න ඒ විදිහටම css, html වගේ කෝඩ් කරල. මචං දෙයක් ඉගෙනගන්න පුලුවන් හොඳම ක්‍රමේ තමා දේවල් කොපි කරන එක. අනිත් අයගෙ ප්‍රොජෙක්ට් බලලා ඒ විදිහටම මැච් කරලා හදන්න ට්‍රයි කරන්න. මේවා කොහෙවත් පබ්ලිෂ් කරන්නෙපා. ඒත් ඒවා හදන්න. පස්සෙ පස්සෙ ඒ්වා ඔයාම හිතලා වැඩිදියුණු කරන්න.

ඊළඟට volunteer jobs (ස්වෙඡ්ඡා සේවක) මේ ප්‍රොජෙක්ට් වලට සෙට් වෙන්න. linkedin එකේ එහෙම සෑහෙන්න තියනවා. සල්ලි ගැනම හිතන්නෙපා යකෝ. සල්ලි හොයන්නත් ඉගෙනගෙන තියෙන්න ඔිනෙ සහ පුහුණුවක් ලැබිලා තියෙන්න ඔිනෙ.   

ඊළඟට එනවා කරන්න තවත් වැදගත්ම දෙයක්... ඒ තමා කනෙක්ෂන් හදාගන්නෙක...

මෙතනදි මචං ඔයා කරන්න ඔිනෙ linkedin, facebook වලින් තමන්ගෙ ෆීල්ඩ් එකේ ඉන්න ප්‍රොෆෙෂනල්ලා හොයාගන්නෙක. මේ වැඩේදි linkedin කලින් facebook එකෙන් පටන්ගන්න. මෙතනදි මචං ඔයා බලන්න ඔයාගෙ ෆීල්ඩ් එකට අදාල කම්පැනි සහ වල අදාල තනතුරු වල වැඩ කරන අය. ඒ අයව හොයලා ඇඩ් කරගන්න බලන්න ලිස්ට් එකට. ඔහොම ඉඳලා පොඩි මැසේජ් එකක් දාන්න "අයියා මම මේ ෆීල්ඩ් එකට අලුත්, මං සබ්ජෙක්ට් එකට ආසයි, මට පොඩි guide එකක් දෙන්න පුලුවන්ද ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න, මම higher studies කරනවා නං කොහොමද කරන්න ඔිනේ මෙහෙමයි මෙහෙමයි" කියලා... හොඳම පොයින්ට් එක තමා අයියගෙ ජීවිත කතාව අහන තැනට ටෝක් කරන්න.. මචං මිනිස්සු හරි කැමතියි තමන්ගෙ ජීවිත කතාව අලුත් පොඩි එවුන්ට කියලා උන්ට ජීවිතේ ජය ගන්න හැටි කියල දෙන්න. ඒ ජීවිත කතා සෑහෙන්න ඔයාගෙ ජීවිතේ වෙනස් කරාවි. මචං හෙනම භක්තියෙන් අහගන්න ඔිවා ඈ. හැබැයි මතක ඇතුව මීටරෙන් ඉන්න අයියා කියන දේවල් එකපාරම පිලිගන්නත් එපා. බුදුහාමුදුරුවොත් කියල තියනව ඔක්කොම අහලා තමන් තනියම හොයලා බලලා කරුණු තහවුරු කරගෙන විශ්වාස කරන්න කියලා. අයියගෙන් ඔක්කොම data ටික අරන් ඔයා තනියම ඒවා ප්‍රොසෙස් කරලා පැහැදිලි information එකක් ගන්න. ඔහොම වැඩ කරගෙන යද්දි මචං ඔයා self studies වලදි කරන ප්‍රොජෙක්ට් අරවා මේවා අයියට පොඩ්ඩක් යවලා රිවීච් එහෙමත් ගන්න. ඔහොම කරන් යද්දි අයියට උඹව මතක හිටිනවා වගේම අයියගෙ ප්‍රොජෙක්ට් වලදි නැත්තං අයියගෙ කම්පැනියෙ ප්‍රොජෙක්ට් වලදි එහෙම අයියා උඹව රිකමන්ඩ් කරලා උඹට සුපිරි ගේමක් ගහගෙන යන්න චාන්ස් සෙට් කරගන්න පුලුවන් ඉස්සරහට.

linkedin එකෙනුත් මේ වගේම තමා ෆීල්ඩ් එකේ වැඩ කරන අයව ඇඩ් කරගන්න. හැබැයි linkedin එකෙන් ජීවිත කතා නං අහන්න යන්නෙපා කරුණාකරලා. 

ඒ වගේම තමා කරන ප්‍රොජෙක්ට් පෝස්ට් කරන්න linkedin, facebook වල. පර්ෆෙක්ට් වෙන්න හිතන්නෙපා. පොඩි වැඩ වුනත් පෝස්ට් කරන්න ගානට. එහෙම පෝස්ට් කරද්දි work in progress එකත් එක්ක පෝස්ට් කරන්න. පොඩි වැඩේ වුනත් වැදගත් පොයින්ට් බලලා පෝස්ට් කරන්න ඈ අවදාන ගණිකාවක් වෙන තරම් එක දිගට මොකුත් දාන්න එපා. 

 ඔය ටික තමා කරගෙන යන්න තියෙන්නෙ. හරියට කරගෙන ගියොත් අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට වෙයි. විශේෂයෙන් මතක් කරන්න ඔිනෙ අනිවාර්යයෙන් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙනගන්නම ඔිනෙ. ඒ වගේම උවමානවක් තියේ නං තව භාෂාවක් ඉගෙනගන්න බලන්න රුසියන්, ජර්මන් වගේ.

ඒ වගේම තමා මෙතනදි final goal එකක් නෑ, තියෙන්නෙ නොනවතින process එකක් විතරයි.

මැරෙනකන්ම අලුතෙන් දේවල් ඉගෙනගනිමින්, අලුත් දේවල් කරමින් ජීවත් වෙන්න වෙනවා. එච්චරයි. 

 

කොටි මල්ලි (Snow Kotiya)
2026-07-30 

 ප.ලි - කලිනුත් කිවුවා වගේ මං කියපුවත් එකපාර විශ්වාස කරන්නැතුව ඔයාගෙම රිසර්ච් එකක් කරලා, කරුණු තහවුරු කරගෙන වැඩ පටන් ගන්න :D

Sunday, July 19, 2026

VFX Studio එකක ජොබ් එකක් සමග මගේ මතක

 මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG එකේ. ඔය දෙකේම මම වැඩ කලේ ඔන්ලයින්. මම තුන්වෙනියට සහ අවසානයට වැඩ කලේ මට මෙතන නම කියන්න බැරි VFX එකක. එතන තමා මං මුලින්ම onsite job එකකට කියලා ගියේ. ඔෆිස් එක තිබ්බෙ බොරලැස්ගමුවෙ. මේක ස්ටූඩියෝ එකක් වුනත් එතන තිබ්බෙ ස්ටූඩියෝ එන්වයර්මන්ට් එකකට වඩා ඔෆිස් එන්වයර්මන්ට් එකක්. අපිත් ඔෆිස් කිට් ගහලා එහෙම තමා වැඩට ගියෙ. Studio vs Office වෙනස දන්නැත්තං මෙන්න මෙහෙම සරලව කියන්නං..

ඔෆිස් (office) එකක් කියන්නෙ මචං පරිපාලන වැඩ, බිස්නස් ප්ලෑනින්, රැස්වීම් වගේ දේවල් වලට තියන productivity, hierarchy වලට focus කරලා වැඩ කරන ගොඩාක් professional discipline සීන් එකේ තියන තැනක්. හැබැයි ස්ටූඩියෝ (studio)එකක් කියන්නෙ මචං නිර්මාණකරණය, ඩිසයින් එක්ස්පෙරිමන්ට්, සහ කලාව ඇතුලෙ ප්‍රැක්ටිකල් වැඩ කරන තැනක්. මෙතන professional තැනක් වුනත් ගොඩාක් නිදහස් වටපිටාවක් තියෙන්නෙ. 

මං ඒ් ස්ටූඩියෝ එකේ මුලින්ම වැඩට ගියෙ 2024 නොවැම්බර් පළවෙනිදා. දික්හේනෙන් උදේ 6.10ට තිබ්බ බස් එකේ නැගලා හොරණට ඇවිත්, හොරණින් හොරණ කොළඹ 120 බස් එකේ නැගලා ගිහින්, බොරලැස්ගමුවෙ 10 කණුව හෝල්ට් එකේ බැහැලා, 10 කණුව පාරෙන් ගංගාරාම පාරෙ තියන ඔෆිස් එකට වෙනකන් තියන කිලෝමීටර් එක හමාරක වගේ දුර මම පයින් යනවා. අපේ ගෙදර ඉඳන් ඔෆිස් එකට දුර තිබ්බෙ කිලෝමීටර් 27ක් වගේ ගාණක් වුනත් මේ සම්පූර්ණ ගමනට මට පැය 2කට වඩා යනවා. හවස ඔෆිස් ඇරිලා එද්දි ඒක පැය 3කට වැඩියි. බයික් එකේ යනවා නං පැයෙන් යන්න පුලුවන් ගමනක් වුනත් මට තිබ්බ Suzuki GP100 එකේ වැඩට යන්න එන්න ගියා නං මාව විකිණෙනවා තෙල් ගහලම. මොකද ඒක 100cc වුනත් 2strock බයික් එකක් නිසා තෙල් කලේ 27ක් වගේ. තෙල් ලීටරේ 330ට වගේ ගියෙ ඒ දවස් වල මතක හැටියට.

උදේ හොරණින් නැගලා යද්දි මට සීට් එකක ඉඳගෙන සැපට යන්න පුලුවන් වුනත් හවස 5.30ට ඔිෆ් වෙලා ගෙදර එද්දි නං අමා මහ දුකක් තමා හැමදාම වින්ඳෙ. කොළඹ ඉඳන් ෆුල් පැක් වෙලා එන හොරණ කොළඹ බස් එකට රූට් එකේ මැදින් තියන බොරලැස්ගමුවෙන් හවස 6ට කිට්ටු කරලා නගින්න සෙට් වුනාම තියන සැප කොහොමද.. මම කවදාවත් ෆුට් බෝඩ් ගිය එකෙක් නෙවෙයි මචං මං සිරාවටම හෙන බයයි ෆුට්බෝඩ් යන්න.. ඒත් ෆුට්බෝඩ් කරුමෙට කරගහන්න වුනා මට හවස වැඩ ඇරිලා එද්දි.  සම්පූර්ණයෙන්ම කඳ එලියෙ බස් එකෙන්.. බොරලැස්ගමුවෙ ඉඳන් පිළියන්දලට වෙනකන්ම හැමදාම ෆුට්බෝඩ් එකේ ආවෙ. අච්චර කැස්බෑව බස් තියෙද්දි පිළියන්දලට එන්න හොරණ බස් එකේ නගින උද්ධික පුතාලට නං අම්මපා හෙන ගහන්න ඔිනෙ කැස්බෑවට එහා බහින එවුන්ව ෆුට්බෝඩ් යන්න සෙට් කරලා එච්චර අසරණ කරනවට... බස් එකේ බාගෙට බාගයක් සීට් වල ඉඳගෙන සැපට එන්නෙ පිළියන්දලින් බහින එවුන් මිසක් හොරණට යන එවුන් නෙවෙයි...

කොහොමහරි 2024 නොවැම්බර් වල මම වැඩට ගිහින් සති දෙකක් යන්න කලින් තමා අපේ පවුලට සෑහෙන්න අමාරු කාලයක් උදාවෙන්න ගත්තෙ අපේ පියාණන්ගෙ වම් කකුලෙ ඇඟිල්ලක් කපන්න වෙලා දියවැඩියාව නිසා. අවුරුදු ගාණක් දියවැඩියාව තිබිලත් පියාණන් කට පරිස්සම් කර ගන්නැතුව ආතල් එකේ කාලා බීලා හිටපු එකේ පල විපාක මුලු පවුලටම විඳින්න වුනේ මාස 2කට වඩා හොරණ-කොළඹ හොස්පිට්ල් වල ඉඳලා අන්තිමට වලලුකර ගාවින් කකුල කපන තැනට වෙනකන් බඩු පැකට් වුනාම.

ඒකෙන් මොනවා වුනත් මට වෙච්ච පොඩි වාසිය වුනේ පියාගෙ ප්ලැටිනා 100 බයික් එක මගෙ පාවිච්චියට ගන්න පුලුවන් වෙච්චෙක. 2025 ජනවාරි මාසෙ වගේ ඉඳන් මම ප්ලැටිනා එකේ වැඩට යන්න පටන් ගත්තෙකෙන් මගේ ගමන් පහසුව නෙක්ස්ට් ‌ලෙවල් එකට ගියා වගේම කාලය සහ සල්ලිත් ඉතුරු වුනා. ප්ලැටිනා එක ලීටරේට කිලෝමීටර් 60 පන්නලා කරපු සිරා බයික් එකක් නිසා බස් එකේ යන ගමන් වියදමටත් වඩා අඩු වියදමක් තමා මට තෙල් වලට ගියේ. කොච්චර ජපන් බයික් ලවර් කෙනෙක් වුනත් ඉන්දියන් බයික් වලට මම අදටත් හිස නමා ආචාර කරන්නෙ දෙපයින් නැගිටින මනුස්සයෙක්ට හයියක් වෙන්න ඒවට තියන සිරා හැකියාවට.

වැඩට යද්දි 10 කණුවෙන් හැරිලා යද්දි මම සාමාන්‍යයෙන් කරපු දෙයක් තමා පාරෙ පයින් යන කවුරුහරි ඉන්නවා නං ගංගාරාම පාරට වෙනකන් බයික් එකේ දාන් එන එක. මොකද මම බස් එකේ යන කාලෙ 10 කණුව පාරෙ තියන කිලෝමීටර් 1 හමාරක දුර පයින් එන එක මට ලේසි වුනේ නෑ. මොකෙක් හරි මනුස්සකමක් තියන එකෙක් දැකලා දාගෙන යයි කියලා හැමදාම බලාපොරොත්තු වුනත් කවුරුත් මාව එහෙම දාන් ඇවිල්ලත් නෑ. කොහොමහරි ඔහොම උදේට හැමදාම ගංගාරාම පාරට වැඩට එන අංකල් කෙනෙක් මාත් එක්ක යන්න නිතර සෙට් වුනා. වයස 60කට කිට්ටු කරල ඇති මයෙ හිතේ. ෆුල් ඔෆිස් කිට් එකක් ගහලා ඔ‌ෆිස් බෑග් එකකුත් අරන් යන නිසා මං මුලින් හිතුවෙ හොඳ ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් කියලා. ඒත් පස්සෙ කතා කරද්දියි දැනගත්තෙ අපේ ඔෆිස් එක ළඟම තියන ගරාජ් එකේ ටිංකරින් වැඩ තමා අංකල් කරන්නෙ කියලා. දවසක් මං වැඩ ඇරිලා යද්දි දැක්කා උදේ ෆුල් ඔෆිස් කිට් ගහලා එන අංකල් මජං ඇඳුමක් ඇඳගෙන ගරාජ් එකේ ඉන්නව!

අපේ ඔෆිස් එක තිබ්බෙ 10 කණුවෙ පාරෙන් ඇවිත් දකුණට දාලා ටික දුරක් ගියාම තියන බිල්ඩින් එකක. ඒක ඉස්සරහ තිබ්බ කලු පාට ලොකු ඉලෙක්ට්‍රික් ගේට්ටුව බිල්ඩිම බලාගන්න ඉන්න අංකල්ට කියලා ඇරවගෙන බයික් එක ඇතුලට දාන්, බිල්ඩින් එක පිටිපස්සෙ තිබ්බ පොඩි ගෙදර පේමන්ට් එකේ බයික් එක නවත්තලා ආයෙ ඉස්සරහට ඇවිත්, ගරාජ් එකේ නවත්තල තියන ලොකු බොස්ගෙ සුදුපාට ඩිෆෙන්ඩරේ ලස්සනින් සිත සනසාගෙන බිල්ඩිමට ඇතුලු වෙලා, ලිෆ්ට් එකේ 4 වෙනි තට්ටුවට ගිහින් 8.30 වෙද්දි ෆින්ගර් ප්‍රින්ට් එක තියලා ඔෆිස් එකට ඇවිත් බෑග් එක වැඩ කරන මේස යටට දාලා, මැශින් එකත් ඔන් වෙන්න දාලා, ටොයිලට් එකට එහෙම ගිහින් චූ පාරක් එහෙම දාලා මූණත් පොඩ්ඩක් හෝදගෙන ආයෙ මැශින් එකට ඇවිත් වැඩ පටන් අරන් තමා මගේ රැකියා ජීවිතය ආරම්භ වෙන්නෙ.

අපිට  ක්‍රියේටිව් ඩිරෙක්ටර් කියලා කෙනෙක් හිටියා අපේ වැඩ සුපර්වයිස් කරන්න. සහ ඌ තමා ප්‍රොජෙක්ට් ගෙනාවෙයි ඒවා මැනේජ් කලෙයි. පොර ගැන ඉදිරියට වෙනම ලියන්න ඔිනෙ. තව කොල්ලො 3 දෙනෙක් වැඩ කලා උන් 3 දෙනාත් එක්ක බලද්දි මං නිකන් අතදරුවෙක් වගේ සීන් එකක් තිබ්බෙ. උන් ඇත්තටම දක්ෂයි. උන් ටික වැඩ කරන විදිහ, ඉන්ඩස්ට්‍රිය ගැන අප්ඩේට් වෙන විදිහ ඇත්තටම මාරයි. ඒ කොල්ලො තුන් දෙනා එක්ක වැඩ කරන්න ලැබිච්ච එක මගෙ ජීවිතේ මට ලැබුනු හොඳම අත්දැකීම් වලින් එකක්.. 

 කොහොමහරි ඒ ස්ටූඩියෝ එක ඇතුලෙ අපි කරපු ප්‍රොජෙක්ට් සහ මම කලින් කියපු ක්‍රියේටිව් ඩිරෙක්ටර් නිසා අපිට ඇතිවුන ප්‍රශ්න ගැන මෙතන ලියන එක මේ වෙලාවෙ ගැලපෙන්නෙ නෑ කියල මම හිතනව. කොහොම උනත් පොර එක්ක මට තිබ්බ ගණුදෙනුව ගැන ලියන්න ඔිනෙ මොකද නැත්තං මේ පෝස්ට් එකේ අගමුලක් ගලපන්න අමාරු වෙන නිසා.

මේ ස්ටූඩියෝ එකට මම ජොයින් වෙන්නෙ මහරාජා එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරද්දි අපිට ග්‍රැෆික්ස්/ඇනිමේෂන්/කැමරා මොඩියුල් උගන්නන්න ආපු ලෙක්චරර් ගෙ ආරාධනාවකට. මේ  ලෙක්චරර්ම තමා මචං ස්ටූඩියෝ එකේ අපිට හිටපු ක්‍රියේටිව් ඩිරෙක්ටර් වුනේ. මහරාජා එකේ ලෙක් එන්න දවස් 2ක් නිවාඩු දෙන්නත් එකඟ වුනා. මම මචං මේක හොඳ අවස්ථාවක් විදිහට දැක්කා මොකද මම මේ ලෙක්චරර් ගැන පට්ට භක්තියකින් හිටියෙ. ඒ වගේම 3ඩී ආටිස්ට් කෙනෙක් විදිහට VFX industry එක ඇතුලෙ කලින් වැඩ කරල තිබ්බ නැති නිසා මට VFX පැත්ත ඉගෙනගන්නත් මේක හොඳ අවස්ථාවක් වේවි කියලා මම හිතුවා. ඒක ඇත්තටම එහෙම්මම වුනා. හොඳ ප්‍රොජෙක්ට් තිබ්බා,අපි හොඳට වැඩ කරගෙන ගියා. 

හැබැයි මෙතන ජොබ් යද්දිම මම දැනන් හිටියා එක දෙයක්. ඒ තමා මේ ස්ටූඩියෝ එක ඇතුලෙ මට ලියන්න තියෙන්නෙ උපරිම වුනොත් මාස 10ක විතර පොඩි පරිච්ඡේදයක් කියලා. ඒකට හේතුව වුනේ ජොබ් එකට එන්න කියලා ඔය ක්‍රියේටිව් ඩිරෙක්ටර් මට ආරාධනා කරන්නත් මාස දෙක තුනකට කලින් මගේ තිබ්බ ලොකු හීනයක් වෙනුවෙන් මම ලොකූ මෙහෙයුමක් පටන් අරන් තිබ්බේ. ඒ මෙහෙයුම සෑහෙන්න රහසිගත මෙහෙයුමක් වුනා. ඒ මෙහෙයුමේ 75%ක් විතර ඉවර වෙනකන් අඩු ගානෙ මම ගෙදර අයටවත් ඒ ගැන කියල තිබුනෙ නෑ.

මේක ඇත්තටම එක අතකින් මහ ආත්මාර්තකාමී කතාවක් මචං. ඒත් මට ඒකට කරන්න දෙයක් නැහැ. මොකද මගේ ලොකු මෙහෙයුමේ ඇතුලෙ තිබ්බ එක objective එකක් තමා මේ පොඩි කාලෙ ඇතුලත පුලුවන් තරං 3ඩී ආටිස්ට් කෙනෙක් විදිහට මගෙ ස්කිල් එක සහ එක්ස්පීරියන්ස් එක වැඩ කරගන්නෙක. සෑහෙන්න අසාර්ථක ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙච්ච මට ඒක තනියෙන් කරගන්න විදිහක් තිබ්බෙ නෑ. ඒ නිසා professionaly වැඩ කරන තැනක onsite වැඩ කරන්න ලැබිච්ච එක මට ඒ objective එක සම්පූර්ණ කරන්න ලැබුනු අවස්ථාවක්. මම විශ්වාස කරනවා මචං මම ජොබ් එක ඇතුලෙ මගේ උපරිමේ දුන්නා කියලා. මීට කලින් වැඩ කරපු තැන් දෙකේ වුනත් මම ඒ විදිහටම උපරිමේ දුන්නා. මෙතන ජොබ් එකට මං ඊටත් වඩා දුන්නා කියලයි හිතෙන්නෙ. මොකද මට මතකයි VAEG එකේ ඉන්න කාලෙ සංජය අයියා ඇනිමේෂන් වැඩ එහෙම දෙද්දි මං ටිකක් පස්ස ගැහුවා. හැබැයි මේ ස්ටූඩියෝ එකේදි මම කිසිම දේකට බෑ කිවුවෙ නෑ. කරන්න බැරිම දේවල් වුනත් උත්සාහ කරලා මිසක් අතෑරියෙත් නෑ. දීපු සැලරියට ඒ වගේ දෙගුණෙක වටිනාකමක වැඩ කරන්න මං හැමවෙලේම ට්‍රයි කලා. ස්ටූඩියෝ එකේ ලොකු බොස් මට දීපු ඒ අවස්ථාවට මම සාධාරණයක් කලා කියලා මම විශ්වාස කරනවා මචං...

2025 පෙබරවාරි මුල මගේ ලොකු මෙහෙයුමේ ලොකු කඩයිමක් පැන්නා මචං. ඒකෙන් තමා මට හරියටම ස්ටූඩියෝ එකෙන් අයින් වෙන්න ඔිනෙ දවස ප්ලෑන් කරන්න පුලුවන් වුනේ. 2025 ජුනි මාසෙන් පස්සෙ ස්ටූඩියෝ එකට ගෞරවාන්විත සමුදීමක් එක්ක කොල්ලො ටිකටත් හොඳ පාටියක් දීලා අයින් වෙලා යන්න තමා මං හිතුවෙ. හැබැයි මෙහෙයුමේ රහසිගතබව ඉතා වැදගත් නිසා මම අයින් වෙනවා කියල කට්ටියට එක්ස්පෝස් කලෙත් 2025 මැයි මාසෙ අග මගෙ resignation එක දෙන කොට. 

හැබැයි මේ කාලෙ වෙද්දි අපේ ක්‍රියේටිව් ඩිරෙක්ටර්ගෙ හැසිරීම සහ ස්ටූඩියෝ එකට ආව ප්‍රොජෙක්ට් මැනේජ් වෙච්ච විදිහ එක්ක අපිට සෑහෙන්න ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තිබ්බා. මම මැයි වල resignation දුන්නට පස්සෙ තත්ත්වෙ තවත් දරුණු වෙන්න ගත්තා කියලයි මට හිතෙන්නෙ. මේ හැමදේම එක්ක ක්‍රියේටිව් ඩිරෙක්ටර් මට එල්ල කරපු බලපෑම එක්ක මට තේරුනා මේ විදිහට ගියොත් මේක මගේ ලොකු මෙහෙයුමට බරපතල ප්‍රශ්නයක් වෙනවා කියලා. මොකද ඒ මෙහෙයුමේදි මම මානසිකව ගොඩක් හොඳ ලෙවල් එකක ඉන්න ඔිනෙ. ඒ වගේම අර ඩෑල් එකට තිබ්බ මූලග්ගාය එක්ක මගෙ මෙහෙයුම සම්පූර්ණ කඩාකප්පල් කරන්න පුලුවන් වැඩක් කරන්න උත්සාහ කරන්නත් බැරි නෑ. ඒ හැමදේමත් එක්ක මම තීරණය කලා අන්තිම දවස ජුනි 31 වුනත් ඊට කලින් ස්ටූඩියෝ එකෙන් මාරු වෙන්න.

මට ඒ සතිය ඇතුලෙ කරන්න තිබ්බ අන්තිම වැඩේ වුනේ එක්තරා ලොගෝ ඇනිමේෂන් එකක් කරන්න. ඒ වැඩේ කරලා ජුනි 17 වෙනි අඟහරුවාදා ඔිෆ් වෙලා ගෙදර ගියෙ ආයෙ මේ ඔෆිස් එක පැත්ත පලාතෙ නොඑන්නමයි. ක්‍රියේටිව් ඩිරෙක්ටර් එක්ක ඇරගෙන තිබ්බ ඇරිල්ල නිසා මම ආයෙ එන්නෙ නෑ කියලා කාටවත් කියන්න මට පුලුවන්කමක් තිබ්බෙ නෑ. 

එහෙම ගිහිල්ලා දවස් දෙක තුනක් ෆෝන් ඔි‌ෆ් කරන් සද්ද නැතුව හිටියා. ඒක ප්‍රොෆෙෂනලි වැඩ කරපු තැනක් වුනත් මම ක්‍රියේටිව් ඩිරෙක්ටර්ගෙ කටවචනෙ ආරාධනාවට වැඩට ආව නිසා මං කන්ට්‍රැක්ට් මොකුත් අත්සන් කරල තිබ්බෙ නෑ. resignation letter එකේ පවා මම දාල තිබ්බෙ බොරු එඩ්‍රස් එකක්. රැකියාවක තියන වෘත්තීයමය ගුණාංග පැත්තෙන් හෙන අපත වැඩ ටිකක් මම කරලා තිබ්බත් ඒ දවස් වල තිබ්බ තත්වෙ එක්ක මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ මචං.

ඒ ජුනි 17 වෙනි අඟහරුවාදා ඒ ඔෆිස් එක දාලා එද්දි මං කල්පනා කලේ ඒ අයින් වෙලා යන්නෙ පොඩි කාලෙකට මට සෑහෙන්න ජීවිතේ වටින අත්දැකීම් දීපු තැනක් නේද කියලා. එතනදි තමා ඇත්තටම ජොබ් එකකට යනවා කියන අත්දැකීම මම වින්ඳෙ. ඒ අත්දැකීම් මම මීට කලින් ලියපු රැකියාව සමග මම පෝස්ට් එකේ ලියලා තියනවා.

ගෙදරින් ගේන කෑම අපි එකතු වෙලා එකට කාපු හැටි මට තාම මතකයි. මම ඒ වුනාට ගොඩක් දවස්වලට කඩෙන් තමා කෑම ගන්නෙ. ඔෆිස් එක ළඟ තිබ්බා ගමේ කඩේ කියලා කෑම කඩයක්. ඔෆිස් එකේ හැමෝටම අනුව ඒක තමා පැත්තටම තියන ජරාව කෑම කඩේ. ඒ වුනාට ඒකෙ රයිස් ඇන්ඩ් කරි එකේ මට නං කවදාවත් අඩුපාඩුවක් තිබ්බෙ නෑ. 

මං බයික් පදින එක, වාහනයක් එලෝන එක සෑහෙන්න එංජෝයි කරන මනුස්සයෙක් නිසා ප්ලැටිනා එකේ වැඩට ගිය ගමන මම හැමදාම සෑහෙන්න එංජෝයි කලා මචං. හොරණ කොළඹ පාරෙ පොඩි වලවල් ගානෙ ඉඳන්, ට්‍රැෆික් ලයිට් එක වැඩ කරන ටයිමින්, පොලීසිය ඉන්න තැන් හැම එකක්ම මට නූලට කටපාඩම් සීන් එකක් තිබ්බෙ. මං හරි ආසයි මචං වැස්සෙ බයික් එක පදින්න. වැඩ ඉවර වෙලා යද්දි වැස්සක් සෙට් වුනාම මට පට්ට ආතල් ඒ දවස් වල. මට මතකයි නා කපන වැස්සෙ හෙල්මට් එකේ වයිසරෙන් පාර හරියට පේන්නැතිව තියෙද්දි පවා මම නවත්තන්නැතුව ගෙදර එනවා.

මේ ස්ටූඩියෝ එකේ වැඩට යන කාලෙ තමා මට මගේ මගේ මෙලෝ රහක් නැති මාස 3 ප්‍රේමය තිබ්බෙ. ඔය ගංගාරාම පාරෙන් ගිහින් මොරටුව හරහා පානදුරට යන්න පුලුවන්. සෙනසුරාදා හාෆ් ඩේ වැඩ ඉවරවෙලා මම පානදුර යනවා ඒකිව බලන්න ඒ කාලෙ. එකපාරක් ඔහොම යද්දි මම ගිහින් තව බයික් එකක ඇන්නා ගංගාරාම පාරෙදි මගෙ එකේ බ්රේක් නැතුව ගිහින්. මොකද ප්ලැටිනා එකේ බ්රේක් අඩුයි. කොහොමත් මම කවදාවත් බ්රේක් තියන වාහනයක් පැදපු එකෙක් නෙවෙයි. GP100 එකෙත් බ්රේක් තිබ්බෙ නෑ ලාන්සරේ බ්රේක් තිබ්බෙත් නෑ. එදා වෙලාවට වැඩි වේගෙන් නොගිය නිසා සහ අනිත් බයික් එකටවත් ආපු එකාටවත් ආපදාවක් නොවිච්ච නිසා සෑහෙන්න කුණුහරුප ටිකක් අහලා පොලොවෙ පස් කාලා වැඳ වැටිලා සමාව ඉල්ලගෙන මාරු වෙලා එන්න පුලුවන් වුනා.

මේ පෝස්ට් එක කියවන කෙනෙක්ට සමහර විට ක්‍රින්ජ් හැඟීමක් එන්න පුලුවන් ජොබ් එකක් කරපු ඔෆිස් එකක් ගැන මෙච්චර කියවන්න පුලුවන්ද කියලා. ඒක මෙහෙමයි මචං. ඒ ජොබ් එකේ වැඩ කරන කාලෙ මට සෑහෙන්න විශේෂිත වුනා මොකද මගේ තිබ්බ ලොකු මෙහෙයුමත් එක්ක ඒ ගෙව්වෙ ලංකාවෙ හුළඟ වදින අවසාන කාලෙ නිසා. අනිත් එක එතන ජොබ් එකේ ඉද්දි මම තේරුම් ගත්ත දෙයක් තමා ඔෆිස් කිට් ගහගෙන වැඩට ගිහින් කරන 8-5 රස්සා මට හරියන්නෑ කියනෙක. ජීවිතේ හැමදාම independant artist කෙනෙක් විදිහට ඉස්සරහට යන එක ගැන හිතන්න ගත්තෙ ඒ කාලෙ නිසා. මම දන්නෙ නැහැ අනාගතයෙ මම ආයෙ ජොබ් එකකට යයිද කියලා. ඒත් ලංකාව ඇතුලෙ ආයෙ මම කවදාවත් ජොබ් එකක් කරන එකක් නැහැ.

මම එදා බයික් එක ගේට්ටුවෙන් එලියට දාලා යන්න කලින් එකෙක්ට කිවුවා "මම උඹලට දෙනවා කිවුව පාටිය අනිවාර්යයෙන් දෙනවා" කියලා. ඌ ඒකට හා හා කිවුවට මං මේ යන්නෙ ආයෙ වැඩට නොඑන්න කියල ඌට  ඒ වෙලාවෙ තේරුනේ නෑ . 

උන්ට වෙච්ච ඒ පොරොන්දුව ඉටු කරන්න මට ඊට පස්සෙ අවස්ථාවක් ලැබුනෙ නෑ.... හැබැයි මං තාම ඒක අමතක කරලත් නෑ...  

 ඔය ඔක්කොටම වඩා මට තියන අවුල අර මං බයික් එකේ දාන් ආව අංකල්ට මං ආයෙ එන්නෙ නෑ කියලා යන්න බැරි වුන එක. අපි ඒ බයික් එකේ ගිය කිලෝමීටර් එක හමාරෙ පොඩි දුරට සෑහෙන්න දේවල් කතා කලා. ලාන්සරේ ටිංකරින් වැඩ ටිකත් අංකල් මට කරලා දෙන්න පොරොන්දු වෙලා තිබ්බෙ...

 

කොටි මල්ලි (Snow Kotiya)
2026.07.19

 

2026-08-13 Update

මේ පෝස්ට් එක තමා මං හිතන්නෙ මේ මුලු බ්ලොග් එකෙන්ම වැඩිපුරම සංස්කරණය වුන පෝස්ට් එක. මම මුලින් මේක ලියද්දි මේ ස්ටූඩියෝ එකේ නම වගේම මාත් එක්ක හිටපු අයගෙ නම් පවා එලිකරලා ලියලා තිබ්බත් අදාල පාර්ශවයන්ගේ ඉල්ලීම සහ ඇත්තටම සදාචාරාත්මක හේතු ගොඩාක් මත ටික කාලයක් ඩ්‍රාෆ්ට් විදිහට හරවලා සෑහෙන්න සංස්කරණය කරලා අද නැවත පබ්ලිෂ් කරනවා. මේ පෝස්ට් එකේම කලින් කොටසක් වෙච්ච රැකියාව සමග මම පෝස්ට් එකත් මේ සමගම සංස්කරණය කරන්න සිදුවුනා.  

Sunday, July 12, 2026

මේකත් වෙනස් වෙනවා...ඒ වගේම... Regret කරන්නෙපා...

 උඹට හිතෙන්නැද්ද අපි නිසාන් ජීටීආර් ගැන හිතනව වැඩියි කියලා.

ඉතින් හිතන්න වෙන දේකුත් නෑනෙ බං... මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන්නෙ එතන විතරයි...

උඹට ට්‍රැක පැනලා හොඳටම...

මං දන්නවා බං... ඒත් මං ආසයි මේ පැනපු ට්‍රැකේම දිගටම ඉන්න.. 

ඔය ඉන්න විදිහෙන් උඹ තව අගාදෙටමයි යන්නෙ. ගෙදරින් එලියට බහින්නෙ නෑ. කෙල්ලෙක් ටෝක් කරන්නෙ නෑ. වෙන යාලුවෙක් එක්කවත් හම්බෙලා කතා කර කර ඉන්නවත් යන්නෙ නෑ. හැමදාම ඇතුලට වෙලා කම්පියුටරේ බදාගෙනම හිටපන්.

මං ඉන්න තත්වෙ උඹට තේරෙන්නෑ බං. මට ආස දේවල් ගන්න මට මෙහෙම ඉඳලත් මදි. ඒ හැමදේටම කලින් මම ජීවත් වෙලා ඉන්න ඔිනෙ. ඒක කරන්න මට අනිත් එවුන් ජීවත් වෙන සාමාන්‍ය විදිහට ඉඳල හරියන්නෙ නෑ... අඩු ගානෙ එදිනෙදා ජීවත් වෙන්න මම ගහන ගේම් එක ගැනවත් උඹට ‌තේරෙන්නෙ නෑ. අවුරුදු ගාණක් ගොඩනගපුවා තත්පරෙන් නැතිවෙද්දි ආයෙ ඒවා පඩියෙන් පඩිය තියලා තිබ්බට වඩා හොඳට ගොඩ නගන එක කොච්චර අමාරුද කියල උඹට තේරෙන්නෙ නෑ. 
මට මේ ඉන්න විදිහට තනියෙන් ජීවත් වෙන එකත් කොච්චර අමාරුද කියල උඹට හිතාගන්නවත් බෑ. 

මේ ජීවිතේ මට හරි මහන්සියි මචං. මට මං ඉපදුන විදිහ ගැන තරහක් නෑ. ඒත් මිනිස්සුන්ට දේවල් ලැබෙන විදිහ ගැන හිතලා බලද්දි මට දෙයක් ලබාගන්න ඔිනෙ වුනාම ඒක මට ලැබෙන්නෙ කොච්චර අමාරුවෙන්ද කියලා කල්පනා වෙද්දි මට මං ගැනම හෙන දුකයි මචං. ඒත් මොනවා කරන්නද මචං... අපිට කොච්චර අමාරු වුනත්, අපිට ලැබිල තියන ජීවිතේ අපිට අතාරින්න බෑ. අපිට වඩා අනන්ත දුක් විඳින මිනිස්සු ඉන්නවා මේ ලෝකෙ. අඩු ගානෙ ඉන්න වහලක් කන්න බොන්න යමක් මොනවා හරි උනොත් පොඩි හරි උදවුවක් කරන්න නෑයෙක් දෙන්නෙක් හරි ඉන්නවා. ඒ නිසා ජීවිතේ කොච්චර අමාරු වුනත්, ඒ අමාරුකම් ගැන මං දිගට හිතන්නෙ නෑ.

ජීවිතේ සරලයි මචං... මේ හැමදේම වෙනස් වෙනවා... ඒක තමා යථාර්තෙ... මේ අමාරුකම් හැමදාම තියෙන්නෙ නෑ...

එදා රංදිමයා වැදගත් කතාවක් කිවුවා Regret කරන්නෙපා... ඒක තමා මේ ලෝකෙ වැඩකටම නැති දේ කියල..

ඌ කිවුව කතාව ඇත්ත. මගෙ ජීවිතේ දැන් තියරි 2යි. 

මේකත් වෙනස් වෙනවා...ඒ වගේම... පසුතැවිලි වෙන්නෙ නෑ, මොන දේ සිද්ද වුනත්... 

Monday, June 29, 2026

මම 9 වසරෙදි පාතාල කල්ලි නායකයෙක් වුන හැටි සහ කම්පියුටර් ගේම්ස් ගැන මගේ චින්තනය

ඔයා computer games, mobile games වලට ආස කෙනෙක් නං අනිවාර්යයෙන්  clash of clans ගේම් එක ප්ලේ කරල හෝ අහල දැකලා හෝ ඇති. 

මීට අවුරුදු ගාණකට කලින් මම 9 වසරෙ ඉද්දි clash of clans ගහන එක නවත්තලා තිබ්බ බේස් එකත් විකුණලා ගේම් එක නැවැත්තුවෙ ඒ කාලෙ මම ඒකට ඇබ්බැහි වෙලා හිටපු නිසා. ගේම් එකට ඇබ්බැහි වුනේ මම වුනාට මට තරහ තිබ්බෙ ගේම් එක ගැන. මං සෑහෙන්න ඒ තරහ පිට කරල තියනව 2016-2017 කාලෙ ලියපු බ්ලොග් පෝස්ට් වල :D දැන් කල්පනා කරල බැලුවම ඒකෙ වැරැද්දකුත් නෑ. ඒ කාලෙ අවුරුදු 13-14 අහිංසක පොඩි ළමයි අපි. ඒ කාලෙට දේවල් හිතෙන්නෙ ඒ විදිහට. මේ පෝස්ට් එක ලියන්න මතක් වුනේ ඒ කාලෙ එක පෝස්ට් එකක මම ලියලා තිබ්බා ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගහන එවුන්ට ඇ‌ඬෙන්න ලියනවා කියලා. කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙලා ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් සහ කම්පියුටර් ගේම් ගැන මගේ දැන් චින්තනය ගැන ලියන්නයි මේ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ.

 


ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් එහෙමත් නැත්තං COC මම දෙවනි පාරට ප්ලේ කරන්න පටන් ගන්නෙ ඒලෙවලුත් ඉවර වෙලා සෑහෙන කාලෙකට පස්සෙ. මං හිතන්නෙ 2023-2024 කාලෙ වෙන්න ඔිනෙ. මේ කාලෙ වෙද්දි ගේම් කියන්නෙ මට වචනයක් විතරක් ගානට වැටිච්ච දෙයක්. පොඩි කාලෙ වැඩිපුරම ඔිනෙ වෙච්ච දේවල් ලොකු උනාම එපා වෙනවනෙ. ඒ වගේ. කොහොම උනත් මට ආයෙ ඔික ගහන්න හිතෙන්නෙ එකක් රංදිමයා ආයෙ ගහන්න පටන් ගත්ත නිසා. ඒ වගේම ඒ කාලෙ මගේ ෆ්‍රී ටයිම් එක ගෙවාගන්න ආතල් එකකුත් තියන, හිතන්නත් දෙයක් තියන දෙයක් මම හොය හොය හිටියා. ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් කියන්නෙ ආතල් සියල්ල පැත්තකින් තිබ්බත්, මගේ මතේ අනුව දැනට තියන හොඳ strategic game එකක්.

 COC ආයෙ පටන් ගත්තට පස්සෙ රංදිමයයි මායි ආතල් පැත්තක තියලා ස්ට්‍රැටජික් පැත්තෙන් හිතලා ගේම් එක ප්ලේ කරන්න පටන් ගත්තා. අපි දෙන්නා ඒ කාලෙ ඉඳන්ම ජීවිතේ ගැන ඉගෙනගන්න ගමනෙදි COC ගේම් එක අපිට හොඳ ප්‍රැක්ටිස් එකක් දුන්න ගේම් එකක් වුනා. පොඩි කාලෙ අපිට තිබ්බෙ ටවුන්හෝල් අප්‌ කර කර යන පිස්සුවක්. ඉක්මනින් ලොකු ටෲප් අරන්, ලොකු බේස් එකක් හදන පිස්සුවක්. බේස් එක මැක්ස් අප්ග්‍රේඩඩ්ද නැද්ද කියනෙක අදාල වුනේ නෑ. පොඩි කාලෙදි අපි ඔය ගේම් එකට මරාගත්තෙ නැති එක විතරයි. ඒ තරං ලොකු පිස්සුවක් තිබ්බා අපිම ක්ලෑන් හදාගෙන war ගහපු. දැන් මෙහෙම හිටියට ඒ දවස් වල clan leader ලා, co-leaderලා වෙලා රටේ ජනාධිපතිටවත් ඇමති මණ්ඩලේටවත් තිබ්බෙ නැති උෂ්ණෙකින් සහ පුකේ අමාරුවකින් හිටියෙ අපි.

හැබැයි කාලෙත් එක්ක ඔය සියලු උෂ්ණයන් බැහැලා ගිමින් චූට්ටක් විතර වයසත් එක්ක පරිණත වෙලා මේ පාර අපි slow down එකේ ප්ලේ කරන්න ගත්තා.

අපිට ඔිනෙ වුනේ 100% මැක්ස් අප්ග්‍රේඩ් කරන්න බේස් එක හැමවෙලේම. අලුත් ආර්මි ට්‍රයි කර කර විවිද ස්ට්‍රැටජි වලින් ඇටෑක් කරන්න ඉගෙනගන්න. ලීග් වල උඩට යන්න. අපිට අපේම ක්ලෑන් හදන්න උවමනාවක් තිබ්බෙ නෑ. අපිට ඔිනෙ උනේ තියන ක්ලෑන් එකකට ජොයින් වෙලා ඒකට පක්ෂපාතීව ගමනක් යන්න. අපි දවස් ගණන් ඉවසීමෙන් හැමදේම අප්ග්‍රේඩ් කලා, ටෲප්ස්, බිල්ඩින්, ඩිෆෙන්සස් හැමදේම. ජොයින් වෙලා හිටපු ක්ලෑන් එක්ක හොඳට ක්ලෑන් war ගැහුවා, අලුත් අලුත් ස්ට්‍රැටජි යූටියුබ් එකෙන් හොයලා ඉගෙනගෙන ට්‍රයි කලා. ඉස්සර වගේ නිකාන් ටෲප්ස් ටික අතෑරල ආවෙ නෑ. 

මේ හැමදේම අස්සෙ අපි ඉවසීම ප්‍රගුණ කලා, පක්ෂපාතීත්වය, කැපවීම සහ නිර්මාණශීලීත්වය. ඇත්තටම COC එකේ ඇටෑක් ස්ට්‍රැටජි එකක් ඩිසයින් කරන එක වගේම තමන්ගෙ බේස් එක ඩිසයින් කරන එක ඒ වගේම ඇටෑක් සහ war වලදි අනිත් බේස් read කරන එක සෑහෙන්න ක්‍රියේටිව් විදිහට හිතන්න පුරුදු කරවන වැඩ ගොඩක්. COC ඇත්තටම පටන් ගන්නෙ ටවුන්හෝල් 11 වලින් වගේ කියලයි මට හිතෙන්නෙ. මොකද ඇත්තටම ස්ට්‍රැටජි පාවිච්චි වෙන්නෙ ඊට පස්සෙ. 

ඒ හැමදේමත් අස්සෙ එක අතකින් ගේම් එක දැන් ප්ලේ කරද්දි පරණ මතක දැනෙන්නෙ හරිම නොසැල්ටජික් විදිහට. ඉස්සර ගේම් එක අද තරං අප්ඩේටඩ් නෑ. ඒ වගේම සංකීර්ණ නෑ. සෑහෙන්න ගොඩක් වෙනස් වීම් වෙලා අද. උදාහරණ විදිහට කිවුවොත් ඉස්සර ටෲප්ස් ට්‍රේන් කරන්න වෙලාවක් යනවා සහ ඒකට elixer කියන දේ වැය වෙනවා. අද ඒ දෙකම නෑ. එක දිගට ගහගෙන යන්න පුලුවන්. ඒ වගේම ඉස්සර තිබ්බ අපි ආස කරපු බ්‍රොන්ස්, සිල්වර්, ගෝල්ඩ්, ක්‍රිස්ටල්, මාස්ටර් නම්වලින් තිබ්බ ලීග් සිස්ටම්  එක වෙනස් වෙලා සම්පූර්ණ වෙනස් සිස්ටම් එකක් තියෙන්නෙ. ඒ වගේම අපි පොඩි කාලෙ තිබ්බෙ ටවුන්හෝල් 12 හෝ 13 වෙනකන් විතරයි දැන් 17ක් හෝ 18ක් තියනව. අලුත් ටෲප්ස් ගොඩාක් ඇවිල්ලා. හීරෝලගෙ විවිධාකාර ඇබිලිට් ඇවිල්ලා. ප්‍රධාන බේස් එකට අමතරව තව බිල්ඩර් බේස් එකයි ක්ලෑන් එකට තව අහසෙ තියන මොකක්ද මගුලකුයිත් ඇවිල්ලා සෑහෙන්න සංකීර්ණ වෙලා තියනවා ගේම් එක. ඒවත් එක්ක COC ගේම් එක strategic game එකක් විදිහට ඉස්සරහට ඇවිත් තියනවා. 

ඔය හැමදේටම වඩා මට දැන් පැහැදිලිව දැනෙන දේ තමා, එදා 9 වසරෙ ඉද්දි COC ප්ලේ කරද්දි තිබ්බ ආතල් එකයි දැන් COC ප්ලේ කරද්දි තියන ආතල් එකයි අතර තියන අහසට පොළොව වගේ පරතරය. ඇත්තටම ඒ කාලෙත් එක්ක බලද්දි දැන් ආතල් එකක් නැති තරං. ඉස්සර COC කියන්නෙ වෙනම පිස්සුවක් අපිට. බේස් එක දකිද්දි, ටෘපෘප්ස් අප් වෙද්දි, හීරෝලා බේස් එකේ ඉන්නව දකිද්දි ඒක දැනුනෙ මාර වත්කමක් වගේ. කොල්ලො එක්ක සෙට් වුනාමත් ඒක ගැන කතා කරලා ඉවර කරගන්න බැරි තරං අපි කතා කලා. ඒවා ඇත්තටම හරි සුන්දර මතක දැන්.

මේ පෝස්ට් එක ලියන්න මම හිතුවෙත් ඒ කාලෙ මම COC ප්ලේ කරද්දි මට වෙච්ච සුවිශේෂී සිදුවීමක් නිසා. මේක මම 9 වසරෙදි COC නවත්තන්න ආසන්නව හිටපු කාලෙක වෙච්ච දෙයක්. අපි ඒ දවස් වල ගණන් පන්තියෙ ගියෙ විශ්වයලගෙ ගෙදර. විශ්වයලගෙ ගෙදරට වීරසේකර කියලා ඒ දවස් වල තක්ෂිලාවෙ උගන්නපු (සමහර විට තාම තක්ෂිලාවෙම වැඩ ඇති) සර් කෙනෙක් ආවා අපිට ගණන් උගන්නන්න. අපි 4 දෙනෙක් හිටියා පන්තියේ. අපි 4 දෙනාම සැරටම COC ප්ලේ කලා අපේම ක්ලෑන් එකකුත් හදාගෙන. ඉතින් ක්ලාස් එකේ විවේක වෙලාවල වුනත් අපේ ප්‍රධාන මාතෘකාව COC. මේක වීරසේකර සර් හොඳට නෝට් කලා. ඒ වගේම තමා සර් අපිට කිවුවා සර්ගෙ පුතත් COC ප්ලේ කරනවා කියලා. ඉතින් අපිටත් පට්ට හැපී. අපේ ක්ලෑන් එකට සර්ගෙ පුතාවත් ගන්න සීන් එකේ අපි හිටියෙ.

කොහොම හරි ඔහොම සතියකට දෙකකට පස්සෙ වීරසේකර සර් අපේ අම්මලා හම්බෙලා කතා කරන්න ඔිනෙ කියලා කිවුවා. මට මතකයි ගණන් පන්ති ඉවර වෙලා විශ්වයලගෙ ගෙදර පහල තට්ටුවෙ තිබ්බෙ අපෙ අම්මලා 4 දෙනා එක්ක රැස්වීමක්. අපිට ළඟ ඉන්න දුන්නෙත් නෑ අපිට කිවුවා කුස්සියට වෙලා ඉන්න කියලා. රැස්වීමෙන් පස්සෙ තමා අපි දන්නෙත් ගේම ඇදලා තියෙන්නෙ අපි COC ගහනෙකට කියල. අපි මේ ගේම් එක නිසා හරියට වැඩක් කරන්නෙ නෑ (මට නං අපි බුලක් කෙලියා කියල මතකයක් නෑ, ඒ සර් අවුරුද්දක හෝම්වර්ක් දෙනවා සතියෙන් කරන්න එන්න කියල. සතියෙ දවස් 5 ඉස්කෝලෙයි අනිත් ටියුෂන් ටිකටයි ගියාම අපිට එච්චර හෝම්වර්ක් තොගයක් කරන්න වෙලාවක් තිබ්බෙ නෑ.) සහ අපි මේ හෙන භයානක ගේම් එකකට, සරලව කිවුවොත් අපි කුඩු වලට ඇඩික්ට් වෙලා වගේ කතාවක් තමා කියල තිබ්බෙ. එතනිනුත් එහාට සෑහෙන්න මං ගැන විශේෂයෙන් කියලා තිබ්බා. මම ක්ලෑන් ලීඩර් වෙච්ච නිසා මාව නිකන් පාතාල කල්ලි නායකයෙක් ගානට දාලා තමා අපේ අම්මට කතා කරල තිබ්බෙ. අනිත් උන් තුන් දෙනා විනාස වෙන්නෙත් මං නිසා කියලත් කියල තිබ්බා. ඉතින් මේක කියවන උඹලා හිතාගනිල්ලකො ඉතින් මට අන්තිමට වැටිච්ච බාල්දියෙ තරම. කොහොම උනත්, අන්තිමට මම ගේම් ප්ලේ කරන එක නැවැත්තුවා හැබැයි ඒ වීරසේකර සර් දාපු බාල්දිය නිසා නෙවෙයි, ඒක නිසා කෙලවෙනවා කියල මටම තේරුන නිසා. ඒ වගේම සර් එහෙම කරන්න හේතුවත් මම හොඳටම දන්නවා. ඒ මොකක්ද කියලා මේ පෝස්ට් එකේ අන්තිම හරියෙ ලියවෙයි.

කොහොමහරි COC පැත්තකින් තියලා ගේම් ගැන මගේ දැන් චින්තනය ගැන කිවුවොත්, මම හිතනවා කම්පියුටර් ගේම්ස් කියන්නෙ ක්‍රියේටිව් මනුස්සයෙක්ට තියෙන්න පුලුවන් හොඳම විනෝදාංශයක් කියලා. හැබැයි මම ඔන්ලයින් ගේම් ඉස්කෝලෙ යන අය ප්ලේ කරන එක අනුමත කරන්නෙ නෑ මොකද ඒ වයසත් එක්ක ඒක සෑහෙන addictive. සහ ඒ වයසෙදි ඇඩික්ෂන් පාලනය කරන එක ගැන ළමයෙක්ට කිසිම අදහසක් නෑ. 

හැබැයි offline games විශේෂයෙන්ම story එකක් එක්ක යන ලස්සන කතා Call of duty, NFS, Assasines Creed මං හිතනවා කෙනෙක්ගෙ ජීවිතේ සුන්දර අත්දැකීමක් කියලා. පොඩි කෙනෙක්ට වුනත් ප්ලේ කරන්න පුලුවන් ඇඩික්ට් වීමකින් තොරව. ඉස්සර igi, gta ගහද්දි ඒක ඇත්තටම මාරම ආතල් එකක්. අද ඒවා සුන්දර මතකයක්. මොකද ඇත්තටම අවුරුදු 20න් පස්සෙ ඒ වගේ ගේම් රස විඳින්න තියන හැකියාව, සහ ඇත්තටම ප්ලේ කරන්න තියන උවමනාව නැත්තටම නැති වෙලා යනවා. ඉස්සර අපි කෝ 2 ඩූ මැශින් වලින් අමාරුවෙන් සෙල්ලම් කරපු ගේම් දැන් අපිට හොඳ ගේමින් මැශින් තිබිලත් ප්ලේ කරන්න වෙලාවකුත් නෑ වගේම ඉස්සර වගේ උවමනාවකුත් නෑ. අදටත් මම ඩේටා ඉතුරු වෙලාවට අනන්තවත් ගේම් ඩවුන්ලෝඩ් කරනවා ඒත් බහුතරයක් ඉන්ස්ටෝල් කරලවත් නෑ. 

 ඒ නිසා ඒ පිස්සුව තියන කාලෙ ඒවා රසවිඳින්න... 

 මේ පෝස්ට් එකට සමහර විට එක්දාස් නමසිය බරගණන් වල ඉපදිච්ච උදවිය ටිපර් වෙන්න පුලුවන් ගේම් වලින් ජීවිතේ ඉගෙන ගන්නෙක විකාරයක්, මීට වඩා ආතල් අපි ඇලේ දොලේ පැනලා ගත්තා බ්ලා බ්ලා... කියලා.  ඒකට කමක් නෑ මේ හැමදේම කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි. මම දෙදහෙන් පස්සෙ ඉපදුනේ. නගරකෙ හැදුනු වැඩුනු නිසා අපිට වැස්ස දවස් වලට මඩ වලවල් වලට විතරයි පනින්න තිබුනෙ. මම කොහොමත් කම්පියුටර් එක්ක පොඩි කාලෙ ඉඳන් ජීවත් වුන නිසා මට ඒ සම්බන්ද දේවල් එක්ක කොහොමත් ඉමෝෂනල් බැඳීමක් තියනවා. ඒ නිසා වරදවා හිතන්නෙපා ඒ ගැන.

ඒ වගේම, මේ පෝස්ට් එකේ ඉතුරු ටික වීරසේකර සර් ඒ ඔබතුමාට. මම මේක ලියන්නෙ සර්ට insult කරන්න නෙවේ. ඒ මම ගැන සර් සෑහෙන්න වැරදි වැටහීමක හිටියා කියල මට හිතෙන නිසා සහ ඒ වැරදි වැටහීම නිසා මම සෑහෙන්න අපහසුතාවයට පත් වුන නිසා. මම දන්නෑ සර් මේ බ්ලොග් එක කවදාහරි කියවයිද නැද්ද කියලා. ඒ වගේම අපි ආයෙ සෑහෙන කාලෙකට හමුවෙන එකකුත් නෑ. හමුවුනොත් එදාට මම මේක සර්ගෙ මූණටම කියන්නං. එතකන් දැනට මම මේක මෙහෙම ලියනවා.

මං දන්නව සර්, සර්ට මාව දැක්කම මොකක්දෝ අමුතු විදිහෙ මාව දිරවන්නැති ලයින් එකක් තිබ්බා කියලා. ඒක මට ක්ලාස් එකේ ඉද්දි හැමදාටම දැනුනා. අපි COC ප්ලේ නොකරන කාලෙ වුනත් උගන්නද්දි අනිත් 3දෙනා මැද්දෙ මාව කොන් කලා වගේ එකක් මට හැමදාම දැනුනා. සර්ට මතකයි නේද දවසක් අනිත් උන් තුන් දෙනාව පහලට යවලා මාව තනියෙන් තියාගෙන "මට මොකක් හරි ප්‍රශ්නයක් තියනවද" අහ අහ අමුතු පාට් එකක් දැම්මා. මං අදටත් දන්නෑ සර්ට මාව මොලේ අමාරුකාරයෙක් වගේ පෙනුනෙ ඇයි කියලා. හැබැයි ඒ පන්තිය ඇතුලෙ හැමෝටම හොරෙන් මාව කොන් වෙච්ච හැටි මට තාම හොඳට මතකයි. සමහර විට සර්ට මං මානසික ලෙඩක් තිබ්බ එකෙක් වගේ පෙනුනෙ මට අනිත් 3දෙනාට සාපේක්ෂව ගණන් අමාරු වුන නිසාද දන්නෙ නෑ. ඒක නං මං පිළිගන්නව සර් මට ගණන් බෑ. මට ඒක හොඳටම තේරුනේ ඒලෙවල් වලට ආවට පස්සෙ. මගෙ ස්කිල් එක තිබ්බෙ artistic side එකකින්. 

හැබැයි සර්,

මට කොච්චර ගණන් අමාරු වුනත් මම අන්තිමට ඔිලෙවල් ගණන් වලටත් A දාලා, ඒලෙවල් වලට මැත්ස් නොකලත් ටෙක්නොලොජි කරලා හරි, අනිත් උන් ඔක්කොටම වඩා හොඳට ඒලෙවල් පාස් වෙලා රජයෙ කැම්පස් එකකට සිලෙක්ට්ටුත් වුනා. මම ආස කරපු industry එක ඇතුලෙ මගේ career එක ඇතුලෙ හොඳ තැනකටත් අඩු වයසකින් ආවා. 

සර්ට හිතන්නවත් බැරි තැනක මං අද ඉන්නවා.! 

 

කොටි මල්ලි (Snow Kotiya)
2026-06-29

 

පසුව ලියමි :-

මම දැන් දිගට බ්ලොග් එක ලියන සීන් එකේ ඉන්න නිසා මම මගේ ලියන කලාව හදාගන්න ගොඩක් දේවල් ට්‍රයි කරනවා දැන්. ඉස්සර මේ බ්ලොග් එක ලියන්න මල්වර නැකැත් බලපු කාලෙ දැන් මං අහවර කරල තියෙන්නෙ. හිතට පොඩි අදහසක් ආවත් පොඩියට හරි ඩ්‍රාෆ්ට් ලියලා දාලා හිමීට හිමීට දවස් ගණන් පෝස්ට් එකක් ලියනවා දැන්. ඒ නිසා පෝස්ට් වල මුල තියන ෆ්ලෝ එක අන්තිම වෙද්දි නැති වෙලා වගේ දැනෙයි සමහර විට. ඒත් ඒවා මං ක්‍රමක්‍රමයෙන් හදාගෙන යනවා. වැදගත්ම දේ තමා හොඳ අදහසක් හැමවෙලේම එලියට දාන්න උත්සාහ කරන එක. 

Friday, June 12, 2026

මගේ ලෝකෙ ජාතික වීරයා

"මගේ එදා දේශනයෙදි මම පොඩි වැඩක් කලා. මම හැමෝගෙන්ම ඇහුවා කවුද ඔයා කැමතිම වීරයා කියලා. එක එක උත්තර හම්බුනා. අනගාරික ධර්මපාල, පුරන් අප්පු ඔය වගේ එක එක නම්. හැබැයි එක ළමයෙක්ගෙ වීරයා වෙලා තිබ්බෙ මෙන්න මූ"

එහෙම කියලා ඒ දේශකයා ස්ක්‍රීන් එකේ දාලා පෙන්නුවෙ Ben 10 ගෙයි පොරගෙ ඒලියන් සෙට් එකයි ඉන්න ෆොටෝ එකක්.

"මොකෙක්ද මේ... මිනි‌හෙක්ද සතෙක්ද මොකෙක්ද?"

ඒ දේශකයා හෙන කින්ඩි ලයින් එකෙන් කියලා තමන්ගෙ ලෙක්චර් එක කරගෙන ගියා. මට මතක නෑ පොරගෙ ඒ ලෙක්චර් එක මොකක්ද ඊට පස්සෙ මොනවද උනේ කියලා. හැබැයි මට ඔය සිද්ධිය හොඳට මතක තිබ්බා සහ හැමදාම මං ඒක ගැන හිතුවා. මොකද ඒ වෙලාවෙ සිරාවටම මගේ ලෝකෙ ජාතික වීරයා කවුද කියලා මමත් කල්පනා කලා...

අම්මටසිරි මගේ ජාතික වීරයා Lightning McQueen නෙ...

 
 
ආනන්දෙ කුලරත්න හෝල් එකේ ඔය ලෙක්චර් එක තිබිලා දැන් අවුරුදු 10කටවත් වැඩි වෙන්න ඔිනෙ මයෙ හිතේ. මං 8 හෝ 9 වසරෙ වගේ ඉන්න ඇති. එදා ඔය ලෙක් එකත් එක්ක මගෙ ලෝකෙ වීරයා ලයිට්නින් මැක්කුයින් කියල හිතෙද්දි මට කිසිම ක්‍රින්ජ් හැඟීමක්වත්, මෝඩ හැඟීමක්වත් ආවෙ නෑ. ඊට අවුරුදු ගාණකට පස්සෙ මට අවුරුදු 24ක් වෙලත් මට කිසිම අවුලක් දැනෙන්නෑ ඒ ගැන. මොකද තාමත් මගෙ ලෝකෙ වීරයා ලයිට්නින් මැක්කුයින්.

ඒක පිස්සුවක් තමා... ඒත් ඒ පිස්සුව තමා තාමත් මාව ජීවත් කරවන්නෙ. අනිත් එක බ්ලොග් එකේ උඩම ලියලත් තියනවා කොටිමලයා කියන්නෙ මන්දබුද්ධික ජීවියෙක් කියලා. ඒ නිසා වැඩිය හිතන්නෙපා ඒ ගැන :D

 මම ලයිට්නින් මැක්කුයින්ව මුලින්ම දැක්කෙ 3 වසරෙ ඉද්දි. ඒ කියන්නෙ 2010දි. එතකොට මං හොරණ රාජකීයේ 3 නෙලුම් පන්තියෙ හිටියෙ. මගෙ පන්තියෙ හිටියා සයුරු කියල එකෙක් උගෙ පොතේ පිටකවරෙ මැක්කුයින්ගෙ ස්ටිකරයක් ගහල තිබ්බ. එහෙම තමා මම මුලින්ම මැක්කුයින්ව දැක්කෙ. මම ඒ කාලෙ දැනගෙන හිටියෙ නෑ මේක ෆිල්ම් එක කැරැක්ටර් එකක් කියලවත්. කොහොමහරි සෑහෙන කාලයක් ගියා ෆිල්ම් එකේ නම දැනගන්නත්. අන්තිමට මට මතකයි මගේ දයාබර පියාණෝ තමා කොළඹ CD කඩේකින් හොයලා හොයලා අරන් ආවෙ DVD එකක්. ඒ කාලෙ මට කම්පියුටර් එකක් නෑ. මගේ ලෝකෙ ඒ කාලෙ රජ කලේ TV එකයි, DVD player එකයි.

මට තාම මතකයි Cars 1 එකේ මැක්කුයින් මුලින්ම ට්‍රේලර් එකෙන් එලියට එද්දි මගෙ හිතට ආපු ගැම්ම. ඒ මියුසික් එකයිත් හැමදේමයිත් එක්ක ඒක වෙනම ලෙවල් එකක්. මං ඇනිමේටඩ් ෆිල්ම් වලට බොක්කෙන් ආදරේ කරන්න ගත්තෙ Cars එකෙන්. ඊට කලින් ice age වගේ ඒවා බලලා පොඩි ආසාවක් තිබ්බත්, උපන්ගෙයි වාහන පිස්සුවත් එක ජීවත් වෙච්ච මගෙ පපු කැවුත්ත අස්සෙ ගැඹුරුම තැනකට Cars රිංගුවෙ කවදහරි මම ජීවිතේම කරගන්න කලාවක වගේම වෘත්තියක මූල බීජයත් මගේ ඇඟ ඇතුලෙ පැලකරන ගමන්.

මට මතකයි ඉස්සර මම ඩ්‍රෝවින් පොත් ගණන් අරගෙන මේ ෆිල්ම් එකේ හැම කැරැක්ටර් එකම ඇන්ඳා පාට පැන්සල් වලින්. ඉස්කෝලෙදි ෆ්‍රී ටයිම් එකක් හම්බුනාමත් කලේ ඒක. හැම ස්ටිකර් කාඩ් එකම, හැම ඩේ කාඩ් එකම එකතු කලා. දැන් ඉන්න ‌පොඩි උන්ට වගේ නෙවේ අපිට සිරා ළමා කාලයක් තිබ්බා ඒ අතින්. අඩුම ගානෙ 2010-2012 කාලෙ අපි ෆොටෝ එකකින්වත් ස්මාට්ෆෝන් එකක් දැකලා තිබ්බෙ නෑ. 

මැක්කුයින් කොච්චර පිස්සුවක් උණාද කියනව නං, මං හිතන් හිටියෙ මං මැක්කුයින් කියලා. ඉස්කෝලෙ ඇරිච්චාම මම මැක්කුයින් කියල හිතාගෙන අනිත් උන් එක්ක තරඟෙට දුවනවා. මේක ලියන වෙලාවෙ මතක් උනේ අර විනී ප්‍රොඩක්ෂන්ලගෙ නයිට් රයිඩර් වීඩියෝ එකේ පොඩි එකා වගේමයි මමත් ඒ කාලෙ.

ඒ වගේම තාමත් මම ඒ හිටපු පොඩි එකාමයි. 

මම මුලින්ම මැක්කුයින්ට කැමති උනේ පොරගෙ තිබ්බ ලස්සනටයි ඒ ගැම්මටයි. මොකද ඒ කාලෙ මට ඒ ෆිල්ම් එකේ කතාව ලොකුවට තේරුනේ නෑ. උපසිරැසිවත් හරියට තිබ්බෙ නෑ ඒ කාලෙදි. පස්සෙ පස්සෙ කාලෙත් එක්ක ලොකු වෙද්දි තමා කතාව තේරුම් ගත්තෙත්. ඒත් ඒ මනංකල්පිත කතාව ඇතුලෙ උණත්, ඒ චරිතෙ තිබ්බ කොලිටීස් මගෙ ජීවිතේ ඇතුලෙ මම තාමත් ගොඩනගනවා.

මට මේ පෝස්ට් එක ඇතුලෙ Cars ෆිල්ම් සීරිස් එක ගැන කතා කරන්න ලොකු උවමනාවක් නෑ. Cars 2 හොඳ ෆිල්ම් එකක්. ඒක වෙනම action ටයිප් එකේ කතාවක් යන්නෙ. හැබැයි Cars 3 එක කියන්නෙ ජීවිතේ ගැන කතාවක්. මම පෞද්ගලිකව Cars 3 එකට කැමති නැහැ. හැබැයි Cars 3 එකේ කතාව අකමැත්තෙන් උනත් පිළිගන්න වෙන ජීවිත යථාර්ථයක්. මොන වීරයත් දවසක විශ්‍රාම යනවා තමන්ගෙන් පසු පරපුරක් හදලා. එතනින් එහා ඉතුරු වෙන්නෙ වීරයා ගැන නොසැල්ටජික් මතක සමුදායක් විතරයි. සමහර වෙලාවට වීරයගෙන් පස්සෙ ඒ වීරයා හිටපු ක්ෂේත්‍රයම ඉවර වුනා වගේ හැඟීමක්. සංගක්කාරලා මහේලලා ඩිල්ෂාන්ලගෙන් පස්සෙ ලංකාවෙ ක්‍රිකට් ඉවර උනා වගේ හැඟීමක්. කෝලි ලා, රෝහිත් ලා, මැක්ස්වෙල් ලා, ස්මිත් ලා, විලියම්සන්ලා, ක්ලාර්සන්ලා රිටයර් උනාට පස්සෙ ලෝකෙම ක්‍රිකට් ඉවර වෙනවා වගේ හැඟීමක්. අලුතෙන් පිටියට කොච්චර වැඩ්ඩො ආවත්, ඒ වීරයොන්ගෙ aura එක පිටියෙ නැති අඩුව පුරවන්න බෑ.

 Cars ෆිල්ම් සහ මැක්කුයීන් පැත්තකින් තියලා මම ගැන විතරක්ම හිතුවොත්, මැක්කුයින්ගෙන් පස්සෙ නයිට් රයිඩර් එකේ KITT ගෙන් පටන් ගත්තම ට්‍රාන්ස්ෆෝමර්ස් එකේ බම්බල්බී ට වෙනකන් හැමෝම මගෙ ලෝකෙ වීරයෝ. මේ ෆිල්ම්/ටීවී සීරිස් හදපු මිනිස්සු හැදුවෙ නිකන්ම ෆිල්ම් එකක් ටීවී සීරිස් එකක් නෙවේ. එයාලා හැදුවෙ කලාව කියන විශ්වය ඇතුලෙ ලොකූ මන්දාකිණි ගොඩක්. ඒ මන්දාකිණි ඇතුලෙ දාස් ගණන් සෞරග්‍රහ මණ්ඩල ඇතුලෙ අපේම ග්‍රහලෝකවල, අපේ වීරයෝ එක්ක, අපිත් වීරයෝ වෙවී ජීවත් වෙනවා. 

සමහර විට කවදහරි දවසක ක්ෂීරපථය කියන මන්දාකිණිය ඇතුලේ, සූර්යයා කියලා තරුවක සෞරග්‍රහ මණ්ඩලයේ, පෘථිවිය කියන ග්‍රහලෝකයෙ තියන Pixar කියන ඇනිමේටඩ් ෆිල්ම් හදන කම්පැනියේ 3D artist කෙනෙක් විදිහට මම වැඩ කරන්නත් බැරි නෑ... 

 

කොටි මල්ලි (Snow Kotiya)
2026-06-13

Tuesday, June 2, 2026

මං ආයෙ ඔයාව හොයන්නෙ නෑ...

 වෙලාව හවස හය, හය හමාර වගේ වෙන්න ඔිනෙ...  

මං හිටියෙ හොරණ උඩවත්ත පාරෙ, ඔරියන්ට් එක ගාව, එතන තිබ්බ ටී බනිස් විකුණන කඩේ ගාව... අපි මොකක් හරි ක්ලාස් එකක් ඉවර වෙලා මං හිතන්නෙ... එතන විශ්වයයි තව කොල්ලො ටිකකුයිත් හිටියා.. 

හසාරා එකේ ස්කූල් බස් එකක් ඇවිත් ඔරියන්ට් එක ඉස්සරහ තිබ්බ sysygy restaurant එක (මස් කට්ටගෙ කඩේ කියල කියන්නෙ ඒකටද කොහෙද... මට හරියට මතක නෑ.) නැවැත්තුවා... මං කොහොමත් හසාරා එකේ බස් යද්දි බලනවා, මාත් ගියෙ ඒවලනෙ... මට ඒ වෙලාවෙ එක දෙයක් මීටර් උනා... හවස 6 ගානට වගේ හසාරා බස් එකක් හොරණට එනවා කියන්නෙ මේක ඒලෙවල් හෝ ඔිලෙවල් විභාගෙට ළමයි ගෙනිච්ච බස් එකක්. හවස විභාගෙ ඉවර වෙලා ළමයි එක්කන් එනවා. කොහොමහරි බස් එකෙන් ලස්සන දේවි බාලිකා එකේ කෙල්ලෙක් බැස්සා...

ඒ ඔයා...

ඔයාගෙ තාත්තද කොහෙද බයික් එකක් නවත්තගෙන එතන හිටියා. ඔයා තාත්තා ගාවට ගියා. ඒ එක්කම ඔයා දැක්කා පාරෙ අනිත් පැත්තෙ ඉඳන් ඔයා දිහා බලන් හිටපු මාව.. 

ඔයා තාත්තට මාව පෙන්නලා මොනවාදෝ කිවුවා.. ඊට පස්සෙ මට අත වනලා එන්න කිවුවා..

මම රත් වෙලා ගියා.. ඒත් මං හිතුවා පැනල යන්නැතුව ඔයයි තාත්තයි ගාවට එන්න.. ඒ දවස් වලත් අද වගේ "වැඩිපුරම බය වෙන දේ කරපන්" කියන තියරියෙ මං හිටියද කොහෙද.. මම පාර පැනලා ඔයාලා ළඟට එද්දි මං ඇස් කොනින් දැක්කා විශ්වයයි කොල්ලො සෙට් එකයිත් මං දිහා පුදුම වෙලා වගේ බලන් ඉන්නවා. 

මං ඔයාලගෙ තාත්තා ළඟට ආවම මට මතක නෑ එයා මුලින්ම මොකක්ද කිවුවෙ කියලා... මට මතක එයා හිනාවෙලා "කැමති දෙයක් කතා කරගන්න" කියලා කියනව විතරයි...

ඔයා එක්ක කතා කරන්න කියලා ඔයා දිහාවට හැරුණට ඔයාට කියන්න කිසිම දෙයක් මගෙ ඔලුවට ආවෙ නෑ... තත්පර කිහිපයක් ඔයාගෙ මූණ දිහා බලාගෙන ඉඳලා මට කියාගන්න පුලුවන් උනේ,

"ඔයා හරි ලස්සනයි"  

කියල විතරයි.

ඔයා කිසි දෙයක් කිවුවෙ නෑ... ඔයා කලේ මම ජීවිතේ දැකපු ලස්සනම හිනාව දාගෙන මං දිහා බලන් හිටපු එක විතරයි. මේක ලියන වෙලාවෙත් මං කල්පනා කලේ, මගෙ ජීවිතේ කවදාවත් කෙල්ලෙක් මං දිහා බලලා එහෙම හිනා වෙලා නෑ... ඒ තරං ලස්සන හිනාවක් මං මේ ජීවිත කාලෙටම දැකලත් නෑ...

ඔයාගෙ ඒ හිනාව දිහා බලන් ඉද්දිම,

ඒ හීනෙන් මං ඇහැරුණා.... 

වෙලාව පාන්දර 5ට විතර ඇති. මං හිටියෙ ඇඳේ...  

එදා ඉඳන් මං අවුරුදු 3ක් තිස්සෙ පොඩ්ඩ පොඩ්ඩ දන්න 3D modeling සාස්තරේ පාවිච්චි කරලා, ඒ හීනෙ මතක ඡායාවන් වලට පුලුවන් තරං match කර කර ඔයාව 3D rendered artwork එකක් විදිහට හදන්න උත්සාහ කලා...!!! 

මම අදටත් දන්නෙ නෑ ඔයා කවුද, කාගෙ කවුද, කොහෙද ඉන්නෙ කිසිම දෙයක්. වෙන එකක් තියා ඔයාව මේ සැබෑ ලෝකෙදි කවදාවත් දැක්කෙ නෑ. ඔයාව මං දැක්කෙ හීනෙන් විතරයි. මේ ආට්වර්ක් එක කරනකන්ම ඔයා මගෙ ඔලුවෙ හිටියෙ ඡායාවක් විදිහට විතරයි.

 පොඩි කාලෙ ඉඳන්ම මට දේවි බාලිකා යුනිෆෝම් එක දැක්කම එන අමුතු කික් එකක් තිබ්බා. මම සචිනි ගැන හිතද්දි එයාට වෙන කාටත් වඩා ආදරේ හිතුනෙත් ඒ නිසා වෙන්නැති. ඒකත් එක්ක මට දේවි බාලිකා කියන නම ඇහෙද්දිත් අර සන්නස්ගලට විශාකා ටයි එක දකිද්දි දැනෙනවා වගේ නලියංකාර, ඇඟ කිලිපොලා යන විදිහේ හැඟීමක් සෑහෙන කාලෙක ඉඳන් දැනුනා.

හැබැයි ඒ ඉස්සර... දැන් මට දේවි බාලිකාව කියන්නෙ වචනයක් විතරයි...

කාලෙත් එක්ක වෙච්ච හිත් රිදීම්, ඉගෙනගත්ත දේවල්, තේරුම් ගත්ත දේවල්, දරාගත්ත දුකවල් අරවා මේවා හැමදේම එක්ක, මං ජීවිතේ ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන එක අතෑරලා මේ මොහොතේ ජීවත් වෙන්න හුරු වෙන්න පටන් ගත්තා. ඉස්සර මායි රංදිමයි දිනෙයයි කොච්චර නං කෙල්ලො ගැන කතා වෙන්න ඇද්ද. කොච්චරවත් සැබෑ ප්‍රේමය, සෝල් මේට්ලා, ට්වින් ෆ්ලේම්ලා ගැන කතා කරන්න ඇත්ද. අපි සෑහෙන්න දේවල් හෙව්වා, සෑහෙන්න ඉගෙනගත්තා... ඒ හැමදේම අස්සෙ අපි හැමදාම අපේ බොක්කට වැදිච්ච ඒ ආත්මීය සිරා ලව් එක හෙව්වා... ඒක එනකල් බලන් හිටියා...

මට දැන් එහෙම බලන් ඉඳලා හති... 

මට එහෙම හිතෙන්නෙ මගෙ ඉවසීම පැනලා නිසා නෙවේ.. වෙන කවරදාටත් වඩා ලොකු ඉවසීමක් මට දැන් තියනවා. මට එහෙම හිතෙන්නෙ මම දේවල් බලාපොරොත්තු වෙන එක අතෑරලා නිසා.

මේ ආට්වර්ක් එක කලාට පස්සෙ, මට පොඩි කික් එකක් තිබ්බා, ඔයාව හොයන්න. මේ රූපෙ තියන, දේවි කෙල්ලෙක්... මං රංදිමයා එක්ක සෑහෙන්න ප්ලෑනුත් ගැහුවා ඔයා වගේ කෙනෙක් හොයන්න... 

ඒත් මට තේරුනා, ඒක තේරුමක් නැති වැඩක්...

ඔයාව මං දැක්කෙ හීනෙන්... ඒක ඒ දැක්ක හීනෙ වගේම, කවදාවත් ආයෙ දකින්න බලාපොරොත්තුවක් නැති විදිහටම හිතෙන් අතෑරලා ඉවරයි මං... සමහර විට මං ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් උනොත්, මං කවදහරි හදන ෆිල්ම් එකකට ඔයා වස්තු බීජයක් වෙයි... ඒ ඇර, මං ආයෙ කවදාවත් ඔයාව බලාපොරොත්තු වෙන්නෙ නෑ...

මං ආයෙ කවදාවත් ඔයාව හොයන්නෙත් නෑ...

 

-------------------------------------------------------------------------------------------------------------- 

කොටි මලයාගේ බ්ලොග් පිටුව කියවන මගෙ රත්තරං යාලුවේ, මෙච්චර වෙලා ඔයාලා කියෙව්වෙ කොටි මලයා 2022 මැයි මාසෙ 6 වෙනිදා උදේ 4-5 අතර වෙලාවෙ දැකපු හීනෙකුයි, ඒ හීනෙ පාදක කරගෙන මම කරපු මගෙ වඩාත්ම iconic ම 3d artwork එකකුයි. ඒ ආට්වර්ක් එක ඉවර කලේ 2025 අගෝස්තු 13 වෙනිදා. මේ ආට්වර්ක් එකක මම ප්‍රින්ට් කරලා, ෆ්‍රේම් කලා. ඒ වගේම මේක ඩිජිටල් අවකාශයේ ප්‍රකාශනය කරල තියෙන්නෙ මේ බ්ලොග් එකේ විතරයි. අවදානෙ ගන්න හිතෙන වෙලාවට වට්සැප් ස්ටේටස් වල, ෆේස්බුක් එකේ එහෙම ෂෙයා කලත් කවුරුත් බලන්න කලින් මම ඒවා ආයෙ ඉක්මනට ඩිලිට් කලා. මං දන්නෑ ඒ ඇයි කියල. ඒත් මේ බ්ලොග් එක මගෙ ජීවිතේ පූජනීය වස්තුවක් නිසා, මේකෙ විතරක් ඒක පෝස්ට් කරනවා.
 

කොටි මල්ලි (Snow Kotiya)
2026-06-02

ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්

" ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්." උදේ පාන්දරම දිනේෂ් මට වොයිස් මැසේජ් එකක් එවලා තිබ්බා. (දිනේෂ් ...