Sunday, May 31, 2026

මේ හැමදේකින්ම පස්සෙ මට ලංකාව ගැන තියෙන්නෙ පට්ටම කලකිරීමක් විතරයි බං...

දැන් ඉතින් හිටු කියලා බ්ලොග් එක ලියන සීන් එකේ ඉන්න නිසා මං හිතුවා හැමදාම කොටිමලයගෙ ජීවිතේ වෙච්ච දේවල්ම ලිය ලිය ඉන්නැතුව කොටි මලයාගේ අති ශ්‍රේෂ්ඨ චින්තනයෙන් හිතන දේවල් වගේම කොටි මලයට තියන ප්‍රශ්න ගැන පවා ඒ්වට උත්තර නැති උනත් මේකෙ ලියල දාන්න...

 අද මං මේකෙ ලියන්න යන්නෙ මචංලා හෙනම කුහක ඉරිසියාකාර පෝස්ට් එකක් ඈ...සහ කොටිමලයා කියන්නෙ මෙහෙම හිටියට මහා ඉරිසියාකාර කුහක හිපාටුවෙක්... මට මේ ඉරිසියාකාර පෝස්ට් එක ලියන්න හේතු පාදක උනේ ෆේස්බුක් එකේ දැකපු වීඩියෝ එකක්...

ටියුෂන් සර් කෙනෙක් Nissan GTR එකක් අරන් ක්ලාස් එකට එනවා. ළමයි සෙට් එක පාරෙ ඉඳන් හුරේ දානවා, වීඩියෝ කරනවා නිකන් නලුවෙක් පිලිගන්නව වගේ.

මට ඒක දැක්කම පට්ට cringe ෆීලිං එකක් එක්ක පට්ට ඉරිසියාවක් ආවා මචං... මොකද මට ඒක දැක්කම මුලින්ම ඔලුවට ආවෙ මේ හුරේ දාන ළමයින්ගෙන් කීයෙන් කීදෙනෙක්ට අඩුම වයස 30 වෙන්න කලින් නැත්තං උපරිම 35 වෙන්න කලින් Nissan GTR එකක් ගන්න පුලුවන් වෙයිද? කියන ප්‍රශ්නෙ... 

අපි මෙහෙම හිතමු.... ක්ලාස් එකක ළමයි 1000ක් ඉන්නව කියල හිතමු. 1000න් 900ක් පාස් වෙලා කැම්පස් ගියා කියමු (ලක්ෂ 3ක් ඒලෙවල් ලියලා, 45000ක් විතර කැම්පස් යන රටේ 1000න් 1000ම කොහොමත් කැම්පස් යන්න පුලුවන් කියන උපකල්පනය කරනෙකත් හෙන ගොන්කමක්)... ඒ 900ම කැම්පස් ගිහින් පාස් අවුට් වෙලා හොඳ ජොබක් කරලත් උන්ට GTR එකක් කෙසේ වෙතත් අඩුම කෝටි 1 හමාරක වාහනයක්වත් වයස 30 වෙන්න කලින් ගන්න පුලුවන් වෙයිද? 900ම නැති උනත් අඩුම 100 දෙනෙක්ටවත් පුලුවන් වෙයිද?

මගේ මතේ ඒක බෑ... 

ටියුෂන් සර් ලංකාවෙ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමේ තියන ලොකු අඩුපාඩුවක් පාවිච්චි කරලා හොඳ ගේමක් ගැහුවා. ඒකට පොරට කිසිම වරදක් කියන්න බෑ. ක්ලාස් එකට ළමයින්ගෙන් බහුතරයක්හොඳ රිසල්ට් එකක් දැම්ම නං වැඩේ Done. එතනින් එහා ක්ලාස් එකට එන උන්ට GTR එකක් ගන්න උදවු කරන්න එයාට පුලුවන්කමකුත් නෑ. පොරට පුලුවන් ඉගෙනගෙන ගේමක් ගහපල්ලා කියලා එයාගෙ කාර් එක පෙන්නලා inspiration එකක් දෙන්න විතරයි.

ගේම තියෙන්නෙ ළමයගෙ අතේ...

මේ තියන සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ඇතුලෙ මම දකින ලොකුම ගැටලුව තමා ව්‍යවසායකත්ව මනසක් ළමයෙක්ට දෙන්නැති එක. රෑන්ක් දාලා විභාග පාස් වෙලා කැම්පස් ගිහින් ෆස්ට් ක්ලාස් ඩිග්‍රි අරනුත් ගොඩක් අයට අවුරුදු 30 වෙද්දිත් ගෙයක්, වාහනයක් අරන් බඳිනව නං බැඳලා ස්ටේබල් වෙන්න බැරි ඒකයි. අනිත් පැත්තට ඉස්කෝලෙදි බුල කෙලපු උන්ගෙන් සමහරු මේ සිස්ටම් එකෙන් යන්නැතුව එලියෙන් දෙයක් කරලා සාර්ථක වෙන්නෙත් ඒකයි. මේකෙ එහෙම සාර්ථක වෙන්නෙ ඉතාම අඩු ප්‍රතිශතයක්. ඉස්කෝලෙ බුල කෙලපු එවුන්ගෙන් 1000කට එකයි එහෙම ගොඩයන්නෙ සාමාන්‍යයෙන්. 

මම ගැන කිවුවත් මේ කතාව අදාල වෙන්නෙ ඉස්කෝලෙ කාලෙ බුල කෙලින්නැතුව විභාගත් හරියට කරලා, කැම්පසුත් සිලෙක්ට් වෙලා, මං ආස කරන සයිඩ් එකෙන් හොඳ ස්කිල් සෙට් එකක් හදාගෙන හොඳට වැඩ කරගෙන ආවත් financialy ගත්තම මගෙ තත්වෙත් සෑහෙන්න අවුල් වෙන්න හේතුව ව්‍යවසායකත්ව මනසක් මම හිටපු අධ්‍යාපන ක්‍රමයෙන් ලැබුනෙ නැති නිසා කියලයි මට හිතෙන්නෙ. අධ්‍යාපන ක්‍රමයෙන් තියා පවුල් පසුබිමෙන්වත් එහෙම මනසක් හැදෙන්නෙ නෑ ලංකාවෙ 95%ක් ළමයින්ගෙ. 

සාමාන්‍ය මධ්‍යම පාන්තික ළමයෙක් ඒලෙවල් වලින් පස්සෙ ඉස්කෝලෙන් අවුට් වෙලා සමාජෙට වැටුනා කියන්නෙම ඌ වැටෙන්නෙ financialy අමා මහ නරා වලකට. මොකද අපි හැමෝම කරන්න ආස, අපිට හැකියාව තියන ක්ෂේත්‍රයක් තියනවා. ඒ ක්ෂේත්‍රය දිගේ extra දෙයක් කරලා, ඒක හරහා ව්‍යවසායකයෙක් වෙන්න ගියාම ලංකාව ඇතුලෙ ජීවත්වෙන එකෙන් අපිට ලැබෙන්නෙ නිමක් නැති බාධක විතරයි.

දැන් කාලෙ ඉන්න අවුරුදු 20-28 අතර වයසෙ අය ඇත්තටම හරි පව්. මම අන්තිමට ලංකාවෙ ජොබ් එකක් කලේ 2025දි. මට පඩි තිබ්බෙ රුපියල් 40000යි. ගමන් වියදම්, කෑම බීම අරවා මේවා ඔක්කොටම අයින් කලාට පස්සෙ පඩියකට කියලා ඉතුරු වෙන්නෙ 30000කට අඩු ගානක්. එකෙන් ගෙදර ලයිට්බිල්, ඉන්ටනෙට් බිල් අරවා මේවා ගෙව්වට පස්සෙ මගෙ අතේ ඉතුරු වෙන්නෙ රුපියල් හත් අට දාහකට වඩා ඉතුරු උනේ නෑ... ඒ ඉතුරු වෙන ගානත් හිත සැනසෙන්න කොත්තුවක් ෆ්‍රයිඩ් රයිස් එකක් කාලා ඉවර වෙද්දි මොනවට වියදම් උනාද කියලා හිතාගන්නවත් බැරි විදිහට මිසිං වෙලා යනවා...

 මේ හැමදේකින්ම පස්සෙ මට ලංකාව ගැන තියෙන්නෙ පට්ටම කලකිරීමක් විතරයි බං... මං දන්නෙ නෑ සිරාවටම තව කල් යද්දි ලංකාවට මොනවා වෙයිද කියලා... අලුත් ජෙනරේෂන් එක්ක මං හිතන්නෙ නෑ ලංකාවෙ කර්මාන්තවත් හරියට පවතියිද කියලා... හැබැයි මං එක දෙයක් දන්නවා...

ලංකාවට මොන කලක් ගියත් මම නං මේ ඉන්න විදිහටම ඉන්නෙ නෑ... 

 

Saturday, May 30, 2026

මගේ මෙලෝ රහක් නැති මාස 3 ප්‍රේමය

 අපි හම්බුනේ ෆේස්බුක් ගෲප් එකකින්...

ඒක තනිකඩ කොල්ලො කෙල්ලොන්ට කපල් වෙන්න හදලා තිබ්බ fb group එකක්. ඒකෙ දාපු පොස්ට් එකක් දුරදිග ගිහින් තමා අපි හම්බුනේ. 

එයා මට වඩා මාස හය හතක් වැඩිමල්. ඒත් එයාටවත් මටවත් ඒක ගැටලුවක් උනේ නෑ. එයාගෙ ගෙවල් කලුතර. වැඩ කලේ පානදුර පැත්‌තෙ ඉන්ෂුවරන්ස් ඔෆිස් එකක. උඩ අඩි 5කට වැඩි නෑ. කෙට්ටුයි. තලෙලුයි.මට මහා ලොකුවට හිතට වැදුන විදිහෙ ලස්සනක් තිබුනෙත් නෑ. ඒත් fb එකෙන් උණත් මැසේජ් කරගෙන යද්දි මාත් එක්ක රිලේෂන්ෂිප් එකකට යන්න මීට කලින් මම ට්‍රයි කරපු කෙල්ලොන්ට තිබ්බෙ නැති උවමනාවක් එයාට තිබ්බා.

2024 නොවැම්බර් මහේ එක් සෙනසුරාදාවක අපි මුලින්ම හම්බුනා පානදුර කැෆේ එකකදි. අපේ හමුවීම මහ ලොකු වෙලාවක් තිබ්බෙ නෑ. ඒක මම කෙල්ලෙක් එක්ක ඩේට් එකකට ගිය පලවෙනි වතාව නිසා ද කොහෙද මගෙ හිතේ පොඩි කලබලේකුත් තිබ්බා. හැබැයි ඒ ඩේට් එකෙන් පස්සෙ මට එයාව අල්ලලා ගියා. 

අපි නිතර චැට් කලා. මහාලොකු දේවල් නෙවේ එදිනෙදා ජීවිතේ ගැන. අපි දෙන්නගෙන් කවුරුත් ආදරේ ගැන මහාලොකුවට රොමැන්ටික් වෙලා කතා කලේ නෑ. ගෙවල් වල අයගෙ විස්තරයි ඉගෙනගන්න ඒවයි කරන ජොබ් ගැනයි, අපි කැමති අකමැති දේවල් වගේ ඒවා. 

කොහොමහරි අපි දෙවනි ඩේට් එක විදිහට අපි ගියේ BMICH එකේ තිබ්බ motor show එකකට. ඒ 2024 දෙසැම්බර් මුල. ඒ ඩේට් එකෙන් පස්සෙ අපි දෙන්නා ඔෆිෂියලි පිලිගත්තා අපි දෙන්නා රිලේෂන්ෂිප් එකක ඉන්නෙ කියලා.

ඊට පස්සෙත් මාසයක් හමාරක් වෙනසක් නැතුව ගෙවුනා. අපි පානදුර බීච් එකෙයි, කොළඹ පාක් දෙක තුනකයි රවුමක් දෙකක් දැම්මා. දෙන්නට දෙන්නා එකිනෙකාට එක එක තෑගි එහෙම දුන්නා. හැබැයි සාමාන්‍යයෙන් වෙන කපල් එකක තියන රොමැන්ටික්බවක්, ලව් එකක් අපි අතර තිබුනෙ නෑ කියන හැඟීම මට තිබුනා. සමහර වෙලාවට මම එහෙම වෙන්න හැදුවත් එයාගෙ පැත්තෙන් නිතරම මට මෙතන වචන වලින් කියන්න බැරි ටයිප් එකේ බැරියර් එකක් තිබ්බා.

එයා කවදාවත් හැබැයි මගෙන් දතක් පන්නන්න ට්‍රයි කලේ නෑ. ඩේට් එකකට ගියාම උනත් දෙන්නා සමව ගාන බෙදාගෙන වියදම් කලා. තෑගි දෙද්දි උනත් මම එයාට මොනවා හරි දුන්නොත් අනිත් පැත්තට එයත් මට මොනව හරි දුන්නා. 

2025 පෙබරවාරි මාසෙ මැදක් වෙද්දි මට එයාගෙ red flags ටිකෙන් ටික පේන්න ගත්තා. හේතුවක් නැතුව මට මුලින් මැසේජ්, කෝල් වලට reply නොකර හිටියා. පස්සෙ මොකක්ද වැරැද්ද ඇහුවම "වැරැද්ද මොකක්ද කියලා ඔයාට තේරෙන්න ඔිනෙලු" කිවුවා. මම ඒ ටිකේ ටිකක් පස්සෙන් ගියා මොන මඟුලක්ද උනේ කියල හිතාගන්න බැරුව. කොහොමහරි ආයෙ පෙබරවාරි අග වගේ වෙද්දි ශේප් ඒකේ හිටියා.

මාර්තු මුල සතියෙ මගෙ බර්ත්ඩේ එක තිබ්බා. ඒකට අපි දෙන්නා පානදුර බීච් එකේදි හම්බෙලා හිටියා. එයා මට ෂර්ට් එකකුයි තව මොනවද මංදා දුන්නා. ඒක තමා මම එයාව අන්තිමට දැකපු දවස.

ඊට සතියකට විතර පස්සෙ ආයෙත් කලින් වගේ මුලින් මැසේජ්, කෝල් වලට reply නොකර හිටියා. මේ පාර මම පස්සෙන් ගියෙත් නෑ. මොකද මට එයාගෙ red flags ගොඩක් පෙනිලා තිබ්බ නිසා එයාම ඒක නවත්තන්න හේතුවක් දෙනකන් මමත් බලන් හිටපු නිසා. දවස් 3ක් විතර සද්ද නැතුව ඉඳලා මට මැසේජ් එකක් දාලා තිබ්බා

"api meka nawattamu" කියලා..

මම "Ha" කියල රිප්ලයි කලා...

එයා ඒකට "Thank you" කියල එව්වා...

"Oyatath Thank you😊" මම එහෙම රිප්ලයි කලා...

ඒකි ඒකට ha ha react (😂) එකක් දාලා තිබ්බා...

Ptta Htti... 
මට සිරාවටම එහෙම හිතුනා..ඒත් මං ඒක කියන්න ගියෙ නෑ...

ඒ ලව් එක එතනින් ඉවර උනා... මට සිරාවටම පට්ට නිදහසක් දැනුනා...

එච්චරයි...!

 

කොටි මල්ලි (Snow Kotiya) 
2026-05-30

Monday, May 18, 2026

අවුරුදු කුමාරයා යුධ ටැංකිය වීම සහ පැරඩ් එකට ගිය හැටි

         කවුරුහරි මගෙන් ඇහුවොත් මගෙ ජීවිතේ සතුටුම දවස මොකක්ද කියලා, මං කියන්නෙ 2016 අප්‍රේල් 12 කියලා. ඒ තමා අපේ පියාණෝ අපේ ගෙදර පළවෙනි වාහනේ වෙච්ච 13ශ්‍රී6127 මිට්සුබිෂි ලාන්සර් වැගන් එක ගෙනාපු දවස. ලාන්සරේ ගේද්දි මට වයස 14යි. මගෙ ජීවිතේ වෙච්ච කිසිම සතුටුදායක සිදුවීමක එදා දවස තරං පිරිසිදු, හදවත උතුරාගලා යන සතුටක් දැනිච්ච වෙන කිසිම දවසක් තිබිල නෑ මචංලා. ඒ කාර් එක ගෙනාපු කතාව මම ඒ කාලෙම අකුරු කලා අවුරුදු කුමාරයා... පෝස්ට් එකේ.   මුලු ජීවිතේම "පලමුවත් වාහන, දෙවනුවත් වාහන, තෙවනුවත් වාහන" තියරියෙ ඉඳන් ගෙවපු මගේ වාහන පිස්සුවෙ අගමුල ගිය තැන් හැමඑකම ඒ කතාවෙ වගේම බ්ලොග් එකේ පෝස්ට් බහුතරයක ලියලා තියනවා.

 




ලාන්සරේ එක්ක මට තිබ්බෙ සිරා ලව් එකක් උනත්, කාලෙත් එක්ක වෙච්ච ගොඩක් සිදුවීම් නිසා මම කාර් එක බලාපොරොත්තු වෙන එක නැවැත්තුවා මචං. ඒකත් එක්ක සෑහෙන කාලයක් මට කාර් එක මිස් උනා කියන්න පුලුවන්. කොහොමහරි 2024 මැද ඉඳන් වාහනේ එකතැන තිබ්බා පියාණන් අසනීප වීම, වාහනේ තිබ්බ ලෙඩ, ආර්ථික ප්‍රශ්න සහ මට මෙතන කියන්න බැරි එක්තරා පෞද්ගලික ගැටලුවක් නිසා. හැබැයි 2024 අග බාගයේ මම ‌බොරලැස්ගමුවෙ vfx studio එකේ ජොබ් එකට යන්න පටන් ගැනීමත් එක්ක තිබ්බ ආර්ථික ගැටලු දශම ගාණකින් පමණ සමනය වීම නිසා මට ඔිනෙ උනා කාර් එක ආයෙ ගොඩදාගන්න. මේ කාලෙ දියවැඩියාව නිසා කකුල ඉවත් කිරීම නිසා පියාණන් සම්පූර්ණයෙන් ඔත්පල වෙලා හිටියෙ. ඉතින් සම්පූර්ණ මෙහෙයුම මට තනියෙන් දියත් කරන්න සිද්ධ උනා. ඒකට හොඳ සහයෝගයක් මෑණියන්ගෙන් ලැබුනා. 

කොහොමහරි මම වැඩේට එන්ටර් උනේ 2025 ජනවාරි මාසෙ. වැඩේට බහිද්දි වාහනේ තත්වෙ මෙහෙමයි.

බැට්රිය ඩෙත්. අලුත් බැට්රියක් දාන්න ඔිනෙ.මාස 6ක් එක තැන තිබ්බ නිසා රෝද ගල් වෙලා. ටයර් 4 එච්චර හොඳ නෑ. 3ක් වගේ නං ටිකක් manageble. ඒත් පිටිපස්සෙ එකක කැන්වස් පෑදිලා. හතර වටේ දිරුම් ඇවිත්. ලයිසන් නං 2025 අප්‍රේල් වෙනකන් තිබ්බ නිසා ඒ ගැන ලොකුවට හිතන්න දෙයක් තිබ්බෙ නෑ. මට ඔිනෙ උනේ මුලින්ම වාහනේ රනින් කන්ඩිෂන් එකට ගේන එක. දිරුම් ගැන ලොකුවට ඒ වෙලාවෙ හිතුවෙ නෑ කොහොමඋනත් ටිකක් කෙලින් කටින් වාහනේ තිබ්බ නිසා.

මම මුලින් අලුතෙන්ම බැට්‍රියක් දැම්මා. ටර්මිනල් දෙකකුත් අලුතෙන් ගෙනාවා තිබ්බ ඒව මලකඩ කාල නිසා. ගෙනල්ලා හරිකරලා, පෙට්‍රල් කෑන් එකක් ටැංකියට දාලා, එයා ෆිල්ටර්ට උඩින් තව පෙට්‍රල් චුට්ටක් දාලා, එංජින් ඔයිල්, රේඩියේටර් වතුර අරවා මේවා සියල්ල පරීක්ෂා කරලා, කාර් එක ස්ටාට් කලා. 

මාස 6ක් ස්ටාට් කරල තිබ්බෙ නැති කාර් එක එකපාරින් ස්ටාට් උනා...

ස්ටාට් උනාට වැඩක් උනේ නෑ රෝද ගල් වෙලා නිසා වාහනේ හෙල්ලෙන්වෙත් නෑ. මං හිතුවෙ ඇතුලෙ බ්‍රේක් හිර වෙලා ඇති කියල. කොච්චර වාහන පිස්සුවක් තිබ්බත් මට කවදාවත් වාහන වල මිකැනිකල් පැත්ත ගැන දැනුමක් තිබ්බෙ නෑ. ඉතින් මං කලේ සති දෙකක් විතර තිස්සෙ බ්‍රේක් බුරුල් කරගන්න මිකැනික්ලා හොයපු එක. මොකද වාහනේ කොහෙවත් ගෙනියන්න බැරි නිසා ගෙදරට ගෙන්නන් එන්න ඔිනෙ උනා එකෙක්. ලංකාවෙ වාහන මිකැනික්ලා ගැන මේ පෝස්ට් එකේ වාක්‍යයෙන් 2න් එක ඡේදෙකින් කතා කරන එක ඒ් උතුමාණන්ලට කරන මහා අගෞරවයක් නිසා උන්නාන්සෙලා ගැන වෙනම පෝස්ට් එකකින් ලියන්න කොටි මලයා බලාපොරොත්තු වෙනවා. කොහොමහරි පිනට නෙවේ එන්න කියන්නෙ වැඩේට සල්ලි දෙනවා කියන එකේ ඉඳන්, දවස් ගාණක් කෝල් කර කර, වාහනේ හොල්ලන්වත් බැරි නිසා අසරණ වෙලා පීචං වෙලා කුල්ල කුජීත වෙලා ඉන්නෙ කියල පිණ්සෙන්ඩු වෙලත් එක උද්ධික පුතෙක් මං ගැන අනුකම්පා කරලවත් වැඩේට ආවෙ නෑ. 8-5 රස්සාවකට හිර වෙලා ඉන්නෙකේ කරුමෙත් සෑහෙන්න දැනෙන්න ගත්තෙ මොන රෙද්ද කරන්නත් වෙලාවක් තියෙන්නෙ සෙනසුරාදා හවස් වරුවෙයි ඉරිදයි වෙච්ච නිසා. 

අන්තිමට දෙවෙනි සතියෙ ඉරිදා වෙද්දි එක මිකැනික් උද්දික පුත්තෙක් ගෙන්නගන්න බැරි වෙච්ච පාර මගේ ඉවසීමේ ග්‍රහයා නීච වෙලා මං හිතුවා මං තනියෙන් හරි මල ඉලව්ව ගලෝනව කියල. ඊට පස්සෙ කලේ මගෙ දයාබර හිත මිත්‍ර, 3D modeling කරන සගයෙක් වෙච්ච දිනෙත් ආලෝකට මැසේජ් එකක් දාපු එක. උගෙ ගෙදර ගරාජ් එකක් තියන නිසා සහ ඌත් මං වගේම වාහන පිස්සුව ජීවිතේ කරන් ඉන්නෙකෙක් වෙච්ච නිසා ඌට වාහනවල මිකැනිකල් පැත්ත ගැන හොඳ දැනුමක් තිබ්බා. පොරගෙන් ඇහුවම මොකක්ද කරන්න පුලුවන් කියලා පොර මට කිවුවා ජැක් එක ගහලා රෝදෙ උස්සලා, පොල්ලක් දාලා ඩ්‍රම් වලට හොඳට දෙදරන්න ගහන්න සහ අතින් රෝදෙ කරකරවන්න ට්‍රයි කරන්න කියල. 

සඳුදා හවස වැඩ ඇරිලා ආවා 6 හමාර වගේ වෙද්දි. මදුරුවො කනවට ඇඟ වැහෙන්න ඇඳගෙන සපත්තුත් දාගෙන වැඩේ පටන් ගත්තා. දිනෙත් ආලෝකව තිස් තුන් කෝටියක් බුදු වෙන්ඩ සති දෙකක් තිස්සෙ මිකැනික්ල ලව්ව කරගන්න බැරුව හිටපු දේ සල්ලිත් ඉතුරු කරගෙන මම තනියම කරගත්ත.

එදා රෑ තමා මම ලයිසන් ගත්තට පස්සෙ පළවෙනි වතාවට ලාන්සරේ එලවන් ගියෙ. සහ අවුරුදු ගාණකට පස්සෙ වාහනේ අතට ගත්තෙ. වෙනදට තාත්ත ඉන්නවා. අද මම තනියම. මදි හරියට නංගිව දාගත්තා යං කියල. දික්හේනපුර පාරෙ කෙලවරට වෙනකන් ගිහින් ආවා. වාහනේ 30ට වඩා යන්න බැහැ. රෝද දෙදරන්න ගන්නව මීමැස්මොරේ හැදිල වගේ. ඒක අවුරුදු ගාණක ඉඳන් තිබ්බ, හැමදාම ටයර් මාරු කර කර තෙල් බෙහෙත් ගගා හොඳ කර කර හිටපු ලෙඩක්. ඉස්සර නං 60 වගේ පනිද්දි තිබ්බෙ. දැන් ඒක වැඩි වෙලා. බ්‍රේක් සෑහෙන්න අඩුයි. තැනිතලා පාර නිසා අවුලක් නැතුව හැබැයි ගිහින් ආවා.

කාර් එක දුවන ලෙවල් එකට ගත්ත නිසා ඊට පස්සෙ මම කලේ වාහනේ ගෙනිහින් ඉලිඹෙ ඩග්ලස් අයියගෙ ගරාජ් එකට දාපු එක වාහනේ දෙදරන සීන් එක හදන්නයි බ්‍රේක් හදාගන්නයි. දෙදරන සීන් එක හදාගන්න බෝල් ජොයින්ට් දාන්න උනා.  ස්ටියරින් බොක්ස් එකම ඉක්මනට මාරු කරන්න වෙනවා කියල වෝනින් එකක් දෙනගමන් රේසර් ටික විතරක් අලුතෙන් දාලා මට එවෙලෙට ශේප් එකක් දාලා දුන්නා. මොකද ඒවෙලේ මට ස්ටියරින් බොක්ස් එකක් දාන්න තරං වත්කමක්වත්, බඩු හොයන්න පංචිකාවත්තෙ යන්න තරං හැකියාවක්වත් තිබුනෙ නෑ. බ්‍රේක් ටිකත් වොෂර් ටික අලුතෙන් දාලා අවුලක් නැතුව දුවන්න පුලුවන් ගානට රනින් ටික හදාගත්තා.

රනින් හැදුවට පස්සෙ මම මුලින්ම කාර් එකේ ගියේ පානදුර බීච් එකට. කියන්න අමතක උනානේ... මට ඒ දවස් වල කෙල්ලෙක් හිටියනෙ යකෝ. මෙලෝ වැඩකට නැති මාස 3ක ප්‍රේමයක් තිබ්බා මට. ඒකි කලුතර හිටියේ. 2025 පෙබරවාරි මහේ මුල් හරියෙ ඉරිදාවක කලුතර ගිහින් ඒකිවත් දාගෙන පානදුර බීච් එකට ගිහින් ආවා. ඒ ලව් ස්ටෝරිය මගෙ ජීවිතේ මෙලෝම වැඩකට නැති කතාවක් උනත් පසු කාලීනව ඒකත් මේ බ්ලොග් එකේ ලියවෙයි. කොහොම උනත් එදා දවසෙත් මං වැඩිහරියක් එංජෝයි කලේ ඩ්‍රයිව් එක.

එදා ඩ්‍රයිව් එකෙන් පස්සෙ මට කාර් එක අරන් ඔිනෙ තැනක යන්න පුලුවන් වගේ අමුතු විශ්වාසයක් දැනෙන්න පටන් ගන්නවත් එක්ක මට ඔිනෙ උනා මගේ මිත්‍ර සනුහරේ එක්ක කාර් එකේ වටයක් දාන්න. මේ වෙලාවෙ තමා මට කල්පනා උනේ අපේ බිග් මැච් පැරඩ් එකට යන්න පුලුවන් නේද කියල. හැබැයි පොඩි අවුලක් හිතට තිබ්බා. පහුගිය ටිකේ වාහනේ ලගට ඩ්‍රයිව් කරපු ටිකෙන් මට තේරුම් ගිහින් තිබ්බා ආයෙ කාර් එක ගරාජ් එකට දාන්න වෙනවා වගේ ලයින් එකක් බ්‍රේක් මදි ගතියක් මට මුල ඉඳන් දැනිලා තිබ්බ නිසා. මොකද කොළඹ ට්‍රැෆික් එකේ ඩ්‍රයිව් කරන්න ඔිනෙ. සහ පිටිපස්සෙ ටයර් එකක කැන්වස් පෑදිලා තිබ්බා. සහ පහුගිය ටිකේ කරපු රෙපයාර් සහ ගෙදර වැඩ වලට ගිය වියදම් එක්ක මට ආයෙ අතේ රුපියල් දහදාහක්වත් තිබ්බෙ නෑ. පෙට්‍රල් ගැහුවට පස්සෙ ටයර් එකක් දාගන්න ගානක් ඉතුරු වෙන්නෙ නෑ. පැරඩ් එකට යනවා නං අතේ රුපියල් 1000ක්වත් වෙනම තියන් යන්න ඔිනෙ බීම එකක් බීලා කොත්තු මී එකක් කාලා එන්නවත්. සහ කාර් එකේ තත්වෙත් එක්ක හදිසියකට අනිවා ගානක් තියාගන්නම ඔිනෙ.

ඔය ඔක්කොම සලකලා බලලා මම හිතුවා කාර් එකේ පැරඩ් එකට යන ගමන අතෑරල දාන්න. හිත හදාගෙන රංදිමය එක්ක බස් එකේ ගිහින් පැරඩ් එක බලලා එනවා කියල හිතාගත්තා. පැරඩ් එක තිබ්බෙ මට මතක හැටියට 2025 පෙබරවාරි 23 ඉරිදා. ඉතින් සෙනසුරාදා දවල් වැඩ ඇරිලා එනගමන් රංදිමයගෙ ගෙදරටත් ගොඩ වෙලා, ඌ එක්කත් සෑහෙන්න සාකච්ඡා කරලා ස්ථිරව තීරණය කලා බස් එකේ ගිහින් එමු කියල.

ඒත් ගෙදර ආවත් මගෙ හිතේ අවුල ගියෙ නෑ... මොකද මේ කාලෙ වෙද්දි මම මගේ ජීවිතේ වැඩිපුරම ආදරය කරන දේවල් ටික කාලකට මිස් වෙන්න යනවා කියල දැනගෙන හිටියේ.. ඒක මොකක්ද කියලා ඉදිරි කාලයේදි ලියවෙයි... මේ පැරඩ් එකට යන්න බැරි උනොත් මට ආයෙ සෑහෙන කාලෙකට පැරඩ් එක, කාර් එක වගේම රංදිම ඇතුලු මිතුරු කැලත් මිස් වෙනවා කියන දේ සෑහෙන්න මගේ හිතට වද දෙන්න පටන් ගත්තා... ඉතින් මම වැඩිපුර හිතන එක නැවැත්තුවා..

සාමාන්‍යයෙන් මොකක් හරි මරිමෝල් වැඩක් කරන්න ඔිනෙ උනාම මමයි රංදිමයයි පොදුවේ අනුගමන කරන තියරියක් තියනවා. ඒ තමා "වැඩිපුරම බය වෙන දේ කරපන්" කියනෙක. අපි ඒක ඉගෙන ගත්තෙ Hridayam ෆිල්ම් එක බලලා. 

මං රංදිමයට කෝල් කලා...

"මචං ඔිනි මගුලක් කියල අපි හෙට කාර් එකේ යන්... "

 එදා හවස මම කාර් එක හේදුවා. තිබ්බ පරණ ටයර් එකකුත් නිකමට දාගත්තා. ගෙදර තිබ්බ නියන්, අඬු බඩු, යතුරු ටිකක් දාගත්තා. බ්‍රේක් ඔයිල් බෝතලයක්, එංජින් ඔයිල් ටිකක්, එකි මෙකී නොයෙක් නොයෙක් දේවල් ටිකක් දාගත්තා. 

පැරඩ් එක පටන් ගන්න තිබ්බෙ දවල් 2ට නිසා මම ගෙදරින් පිටත් උනා දවල් 11 ට විතර. විස්සෙ කණුවෙ ෂෙඩ් එකෙන් 3000කද කොහෙද පෙට්‍රල් ගැහුවා. ඉරිදා දවල් ටවුමෙ හොරණ මහලොකු ට්‍රැෆික් එකක් තිබ්බෙත් නෑ. ටයර් අවුල් නිසා මං 40න් එහා වගේ ආවෙත් නෑ. හැබැයි මොකක්දෝ අවුලක් තියනවා වගේ නොදැනුනාමත් නෙවෙයි උනත්, සෑහෙන අවුල් ජාලාවක් මැද්දෙ හිතුවක්කාරෙන් වගේ යන ගමනක් නිසා හිතේ අවුලක් කියලා මම ඒක ගැන වැඩිය ගණන් ගත්තෙ නෑ. සිංගර් එක ගාවින් හැරෙන්න තියන අතුරු පාර ගාවින් හරෝලා එතන ටයර් කඩෙන් හුලං ගහගෙන, එහෙම්ම උඩවත්ත පාරෙන් ඇවිත්, උඩවත්ත පාරෙන් මේන් රෝඩ් එකට දාන්න දාන T හංදියට ඇවිත් මම වාහනේ නවත්තලා බ්‍රේක් එක ගැහුවා වාහන අඩුවෙනකන් පාරට දාගන්න. එතන තියෙන්නෙ පොඩි කන්දක්..

වාහනේ පිටිපස්සට යන්න ගත්තා යකෝ... !

මං හිටු කියල බ්‍රේක් ගැහුවා, පැඩ්ල් කර කර ගැහුවා.. හෑන්ඩ් බ්‍රේකුත් ඇද්දා (හෑන්ඩ් බ්‍රේක් නං දන්න කාලෙ ඉඳන්ම වැඩ කලේ නෑ හැබැයි)  වාහනේ පස්සටම යනවා.. පිටිපස්ස බැලුවම වෙලාවට මගෙ පස්සෙන් වාහන මොකුත් නෑ..මම දකුණු පැත්ත බැලුවම කඩේක හිටපු කොල්ලො දෙන්නෙක් මං දිහා බලන් ඉන්නව... එකෙක් කියනව ඇහුන "ඒ්යි පස්සට යනව නේද කියල".

හිත හිත ඉන්න දෙයක් නෑ මං ආයෙ ක්ලච් එක අතෑරලා වාහනේ ඉස්සරහට ගත්තා. වෙලාවට ට්‍රැෆික් එක අඩු උන නිසා  මම එහෙම්මම මේන් රෝඩ් එකට දාගෙන කොළඹ පැත්තට ශේප් එකේ යන්න පටන් ගත්තා. යන ගමන් හිමීට බ්‍රේක් ගහ ගහ බැලුවා...

මචං කාර් එකේ බ්‍රේක් බිංදුවක්වත් නැහැ... !

මං හිතාගත්තා කලබල වෙන්නෑ කියල... එවෙලෙම කොහෙන් හරි හරෝගෙන ගෙදර යන්න හිතුනත් පාරෙ ට්‍රැෆික් එකත් වැඩිඋන නිසා මම හිතුවා පොකුණුවිටට ගිහින් හොරණ කොළඹ පාරට හරෝලම මොකද වෙලා තියෙන්නෙ කියලා බලනවා කියලා. ශේප් එකේ අඩු ගියර් වල දාගෙන ක්ලච් එක පාගන වම් කකුල කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තියලා පොකුණුවිටට ගියා. ගිහින් නවත්තලා බොනට් එක ඇරලා බලද්දි බ්‍රේක් ඔයිල් ටැංකි දෙකෙන් එකක් සම්පූර්ණයෙන් හිස්. ඊට පස්සෙ බ්‍රේක් ඔයිල් ටිකක් දාගෙන යද්දි ශේප් එකක් දාගන්න පුලුවන් මට්ටමකට බ්‍රේක් ආව නිසා මම හිතුවා කහතුඩුවට ගිහින් රංදිමව දාගෙන ඌට තත්වෙ පැහැදිලි කරලා දිගටම කාර් එකේ යනවද නැත්තං කාර් එක රංදිමලෑ ගෙදරට දාලා බස් එකේ යනවද කියලා තීරණය කරනව කියල. යන ගමන් මං තැන් දෙකක විතර නවත්තලා බ්‍රේක් ඔයිල් බලද්දි අර ටැංකියෙ බ්‍රේක් ඔයිල් අඩු වෙනවා. මට හොයාගන්න බෑ කොහෙන් ලීක් වෙනවද කියල. ඒත් ඒ වෙලාවෙ ලීක් වෙන්නෙ කොහෙන්ද කියල හොයන්නවත්, හොයාගත්තත් ඒක හදාගන්නවත් කිසිම විදිහක් තිබ්බෙ නෑ. 

කහතුඩුවට ගිහින් රංදිමව දාගෙන තත්වෙ පැහැදිලි කලා...  වාහනේ බ්‍රේක් අඩුයි ඔයිල් ලීක් එකක් තියනවා, මගින් මග ඔයිල් පොඩ්ඩ පොඩ්ඩ දදා තමා ගියොත් යන්න වෙන්නෙ, සහ ටයර් අවුල්. යන්න වෙන්නෙ අමා මහ ට්‍රැෆික් එකක. 

මම රංදිමට කිවුවා "final decision එක උඹ දියන්, උඹ යන් කිවුවොත් යනවා නැත්තං නෑ" කියල... මොකද අවදානම් කලමණාකරණයෙදි ඌ මට ඉන්නෙ සෑහෙන්න ඉස්සරහින් සහ මේ වගේ තැන් වලදි ඌ මට වඩා දුර හිතනවා. මම සිරාවටම හිතුවෙ පොර යන්න බෑ කියයි කියල. හැබැයි ඌ කිවුවෙ එකම දෙයයි.

"උඹට ෂුවර් නං යමන්...".

රංදිමගෙ බලාපොරොත්තු නැති උත්තරෙත් එක්ක මට ආවෙ අමුතු කන්ෆිඩන්ස් එකක්. සමහර විට ඌත් මං වගේම "වැඩිපුරම බය වෙන දේ කරපන්" තියරියෙ ඉන්නැති. ඉතින්, අපි වැඩිපුරම බය වෙච්ච දේ කරන්න පටන් ගත්තා.  

යන්න කලින් රංදිම මට කිවුවා "හදිසියෙවත් බ්‍රේක් නැති උනොත් උඹ කලබල නොවී මට කියපන්, මං හතරවටේට කෑගහන්නං "අයින් වෙයාන් htto බ්‍රේක් නෑ" කියල. ඌ ඒක කියපු ටෝන් එකත් එක්ක මට තිබ්බ ස්ට්‍රේස් එක එහෙම් පිටින්ම නැති වෙලා ගියා. අපි දෙන්නා හිතුවා යුධ ටැංකියක් එලවන මහා මෙහෙයුමක් වගේ මේ ගමන යන්න. මං උට කිවුවා උඹ කැප්ටන් වෙයන් මං ඩ්‍රයිවර් විදිහට ෆුල් ෆෝකස් එකේ වාහනේ එලවන්නං ඉතුරු ටික උඹ බලාගනින් කියල.

මඟින් මග නවත්ත නවත්ත බ්‍රේක් ඔයිල් දදා අපි දෙන්නා ඉස්කෝලෙ ගාවට ගියා. පාරෙ අයිනෙ එක දිගට වාහන නවත්තලා. මං හිතන්නෙ 2025 ආනන්ද නාලන්ද පැරඩ් එක ඉතිහාසෙ වාහන වැඩිම ප්‍රමාණයක් ගිය පැරඩ් එකක්. කොහොමහරි අපිත් ඉඩ තිබ්බ තැනකින් කාර් එක නවත්තලා ඉස්කෝලෙට ගියා කාර් එක රෙජිස්ටර් කරන්න. අපිට ලැබුනෙ 485 අංකෙ තිබ්බ ස්ටිකරයක්. අදටත් ඒ ස්ටිකර් එක මගෙ කාමරේ අලෝලා තියනවා.

අපිට ඉස්කෝලෙදි ආනන්දෙ ටෙක් එකේ අපිත් එක්ක හිටපු සඳුන්වයි, මානෙත්වයි සෙට් උනා. සඳුන්ගෙ ගෙදර ඉස්කෝලෙ අල්ලපු වැටේ නිසා උගෙ ගෙදර තිබ්බ තව ආනන්දෙ කොඩි 2කුයි මං ගාව තිබ්බ කොඩියයි අරන් ඇවිල්ලා කාර් එකේ ගැහුවා. 

පැරඩ් එක පටන් ගද්දි 3-3.30 වගේ වුනා. මගෙ ජීවිතේටම ලාන්සරේ ගිය වැඩිපුරම සතුටුම, වැඩිපුරම එංජෝයි කරපු ගමන 2025 ආනන්ද නාලන්ද පැරඩ් එකට රංදිම, සඳුන්, මානෙත් එක්ක ගිය ගමන. මේ වෙද්දි වාහනේ මට ෆුල් කන්ට්‍රෝල් කියනෙක මට බොක්කට වැදිලා තිබ්බෙ. බ්‍රේක් අඩු වෙච්ච එක ගැටලුවක් උනේම නෑ හද්ද ට්‍රැෆික් එකේ යද්දිවත්. මාස ගානක් එක තැන ඉඳලා එකපාර දුවන්න ගත්තත් අබමල් රේණුවක මිස් එකක්වත් කාර් එකේ ආවෙ නෑ. අන්තිමට හවස විහාර මහාදේවි පාක් එකේ තිබ්බ after party එකටත් ඉඳලා, ටවුන්හෝල් එක ගාව තිබ්බ ඩොමිනෝස් එකෙන් පීසාත් කාලා, හැමෝවමව පරිස්සමට ගෙවල් වලට බස්සලා රෑ 12 විතර වෙද්දි මම ගෙදර ආවා...

ඒක හරි ලස්සන දවසක් මචං... 

අපි හතරදෙනා.. වමේ සිට දකුණට මම, සඳුන්, රංදිම සහ මානෙත්

 

පැරඩ් එකෙන් පස්සෙ අපි අලුත් නමක් දැම්මා ලාන්සරේට "යුධ ටැංකිය" කියල. මොකද අපි යුධ ටැංකියක් අරන් යනව වගේ ආතල් එකක ගියේ. ගිය හැමෝටම කරන්න දෙයක් තිබ්බා. මානෙත් නැවිගේටර් උනා. සඳුනා හරවන්න ඔිනෙ වෙලාවට අත දාලා සිග්නල් ලයිට්. රංදිම පිරිස කලමණාකරණය. ඒ් වගේම රංදිම හිටියෙ නැත්තං කොහොමත් මේ ගමන නොඑන්නත් තිබ්බා... ඌ යන් කියලා දීපු ගට් එකයි, ගමන පුරාම දීපු සපෝට් එකයි නැත්තං සිරාවටම මේ ගමනෙදි මොකක් හරි බාල්දියක් පෙරලෙන්නත් තිබ්බා කියලා මට හැමවෙලේම හිතෙනවා... 

මේ හැමදේටම පස්සේ "අපිට දැනුන දේ තමා ලාන්සරේ අපේ ජීවිත කතාවෙ ගොඩාක් වටින වස්තුවක් වෙලා කියනෙක... මෙච්චර දවසක් අපේ ගෙදර වාහනේ වෙලා ඉඳලා, එතනින් එහාට තවත් පිරිසකගෙ ජීවිතේ අමතක නොවෙන වස්තුවක් වෙන්න ලාන්සරේට පුලුවන් වුනා...

 

මේ ෆොටෝ එක මට පැරඩ් එක දවස මතක් කරන iconic ම ෆොටෝ එක. සඳුන්ව රෑ ගෙදරට බස්සන්න ගිහින් ඉන්න වෙලාවෙ මානෙත් අරන් තිබ්බ ෆොටෝ එකක්. 

 



පැරඩ් එකෙන් පස්සෙ අවුරුද්දට ගමේ යන එකයි එදිනෙදා ගමන් බිමයි යෑමයි ඇරුණම ආයෙ කොල්ලො ටික එක්ක ලාන්සරේ වටයක් දාන්න පුලුවන් උනේ වෙසක් දවසෙ. ඊට පස්සෙ ඉඳන් ස්ටියරින් බොක්ස් එකේ ඉඳන්, කාබියුරේටර් ඉඳන් ප්‍රශ්න වගයක් ආවා සහ ඒත් සමගම එක පිට එක ආව ආර්ථික ප්‍රශ්න සහ රස්සාවෙ ප්‍රශ්න එක්ක ආයෙත් කාර් එක දුවන මට්ටමකට ගන්න උනේ 2025 නොවැම්බර් කිට්ටු වෙද්දි. ඒත් ඒ් වෙද්දි එක්තරා විශේෂ හේතුවකට කොටි මලයා වෙච්ච මට ටික කාලෙකට හැමදේම අතෑරලා දුර ඈතකට එන්න කටයුතු සූදානම් වෙලා තිබ්බ නිසා ගෙදර අය එක්කවත්, යාලුවො ටික එක්කවත්, මට තනියෙන්වත් ලාන්සරෙත් තනියෙන් ජීවිතේ ගැන කතා කර කරවත් වටයක් දාන්න අවස්ථාවක් ලැබුනෙ නෑ...

මේක කොච්චර සතුටින් පටන් ගත්ත කතාවක් වුනත්, ලාන්සරේ ගැන මේ මොහොතෙ ඉතුරු වෙලා තියෙන්නෙ කඳුලු කතාවක් නිසා මෙතනින් එහා මොකක්ද වුනේ කියලා ලියන්න මට හදවත මට ඉඩ දෙන්නෙ නෑ...

ඒත් මම එකක් ලියනවා... මම කවදාවත් ලාන්සරේ අතාරින්නෙත් නෑ... ඒකෙ ඉරණම කවදාවත් හැමෝම හිතන විදිහට විසඳෙන්න ඉඩ තියන්නෙත් නෑ...

 

කොටි මල්ලි (Snow Kotiya)
2026.05.18 

 

 

 

 

Sunday, May 10, 2026

3D නිර්මාණකරය සහ මගේ වෘත්තීය ගමන - පළමු කොටස

ආයුබෝවේවා! අද සිරාවටම ලියන්න වෙනදට අවශ්‍ය කරන ගතසිත වටපිටාව හැමදේම නිස්කලංක, නිදහස් උන ඒ මල්වර නැකත නෑ. හැබැයි මටම වෙච්ච පොරොන්දුව උන ආයෙ දිගට ලියන්න පටන් ගන්නවා කියනෙකට සාධාරණයක් කරන්නත්, අමාරු තැන් වල පවා කිරීමට අවශය දේවල් කරන්න ඔිනෙ කරන විනය සහ වීර්යය පවත්වාගැනීම උදෙසාත්, දෙයක් කරන්න හොඳම වෙලාව ඒක කරන්න හිතෙන වෙලාව නිසත් ඔන්න අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් වෙලා new post බට්න් එක එබුවා. ඉතින් මයෙ රත්තරං යාලුවේ, කෝපි එකක් තේ එකක් හදාගෙන ලෑස්ති වෙන්න, මේක කොටි මලයගෙ ජීවිතේම වෙච්ච career එකේ කතාව කියන්නයි යන්නේ... මේක ගොඩාාාක් දිග කතාවක් නිසා සහ තාමත් වෙමින් පවතින දෙයක් නිසා, මම මේක කොටස් 2ක් හැටියට ලියන්නෙ. දෙවෙනි කොටස තව අවුරුද්දකින් විතර පළවේවි. එතකන් මේ පළවෙනි කොටස.


 

     මම බ්ලෙන්ඩර් ඉන්ස්ටෝල් කරලා 3ඩී මුලින්ම කරන්න පටන් ගත්තෙ 2020 මාර්තු වල. ඒ් චාරක ඉලංගසිංහ අයියා එයාගෙ ෆේස්බුක් වෝල් එකේ ෂෙයා කරල තිබ්බ Agent 327 එකේ ට්‍රේලර් එක බලලා බ්ලෙන්ඩර් එකේ කැපෑසිටි එක දැකපු නිසා සහ, ඒදවස් වල කර කර හිටපු 2ඩී ඩිසයින් සයිඩ් එකේ මට අනාගතයක් නෑ කියලා මට තේරුණ නිසා වෙනසක් ඔිනෙ වෙච්ච එක නිසා. 3ඩී වලට මම එන්න ප්‍රධාන සංසිද්ධි දෙක ඔය දෙක උනාට මම කවදාහරි 3ඩී වලට සහ ෆිල්ම්/vfx වලට එයි කියලා ඉඟි 2014 මම මුලින්ම ඉලස්ට්‍රේටර්, ෆොටෝෂොප් ඉගෙන ගනිද්දි පවා තිබුනා කියලයි මට අදටත් හිතෙන්නෙ. ඒකට හේතුව 2014 ඉඳන්ම මං ආෆ්ටර් ඉෆෙක්ස්ට්, 3ඩීස් මැක්ස් පොඩ්ඩ පොඩ්ඩ හරි ටච් කරලා තිබ්බා. ඒවත් එක්ක සහ බලපු ඇනිමේටඩ් ෆිල්ම් විශේෂයෙන්ම ice age සහ cars එක්ක, කවදහරි මේ වගේ නිර්මාණ කරන්න පුලුවන් තැනකට එන්න ඔිනෙ කියලා අදහසක් යටි හි‌තේ තිබ්බා. හැබැයි ඉස්කෝලෙ කාලෙ අනිත් හැමෝම වගේ ඩොක්ටර් පයිලට් ඉංජිනියර් හීන පස්සෙ දිවුව නිසා කවදාවත් එක දෙයක් අල්ලගෙන එක දිගට කලේ නැහැ සහ අනාගත වෘත්තියත් සම්පූර්ණයෙන්ම ඔිලෙවල් ඒ්ලෙවල් සහ කැම්පස් කියන සාම්ප්‍රදායික පද්ධතියට ඔිනෙ විදිහට තීරණය කරන්න දීලා වැඩ කරගෙන ගිය නිසා 2014 ඉඳන් 2020 ඉඳන්ම career එක විදිහට මේක කරනවා කියල අදහසක් කවදාවත් තිබ්බෙ නෑ. හැමදාම උනේ ග්‍රැෆික් ඩිසයින් වලින් පටන් youtube, adsense, web design, programing, hacking, trading  (උඹලට කියන්න ඒ දවස් වල telegram එකෙන් වැල අරන් වැල සයිට් එකක් පවා කරගෙන ad වලින් සල්ලි හොයන්න ට්‍රයි කලා :D ) වගේ හැමදේම කාලෙන් කාලෙට, රැල්ලෙන් රැල්ලට ට්‍රයි කරලා, අන්තිමටම ආයෙත් 2ඩී ග්‍රැෆික් ඩිසයින් වලට ඇවිල්ලා Designcrowd එකේ කන්ටෙස්ට් වලට ලොගෝ හදලා, Fiverr එකේ ඩොලර් 5ට logo,flyer, vector tracing කරලා ඉස්කෝලෙ යන එකෙක් විදිහට මාසෙට රුපියල් හත් අටදාහක් හොයලා මාසෙ ඉන්ටනෙට් බිල තනියම ගෙවාගෙන සතියට පාරක් කොත්තුවක් කාලා නැත්තං දිනුසර එකෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් කාලා ඉන්නෙකෙන් අවසන් වෙච්චෙක.

ඒ හැමදේමත් එක්ක 2020 වෙද්දි මට තේරිච්ච දේ තමා, මේ තමා මම යන පාත් එක කියනෙක. මට මුලින් තිබ්බෙ බ්‍රෑන්ඩින් සහ ඩිසයින් සයිඩ් එකෙන් ඉස්සරහට යන එක උනත් යටි හිතේ පොඩි අවුලක් තිබ්බා මේ දක්වා 2ඩී සයිඩ් එකේ මම කරගෙන ගිය දේවල් එක්ක. කොහොම උනත් ඒලෙවල් වලට ටෙක් තෝරගන්නත් ඒක එක හේතුවක් උනා. කොහොමහරි මාර්තු වල බ්ලෙන්ඩර් ඉගෙනගන්න පටන් ගත්තෙක සහ කොරෝනා නිසා අපිට සීමා විරහිත ඉස්කෝල නිවාඩුවක් එක්ක (මේ කාලෙ ඔන්ලයින් ක්ලාස්වත් හරියට පටන් ගත්තෙ නෑ...ඒවා පටන්ගත්තෙත් මාස ගාණකට පස්සෙ... ඒ් නිසා අපිට පොතක් දිහා හැරිලවත් බලන්නැතුව ඉන්න මාස ගාණක් සෙට් උනා. අනික කොරෝනා වල උග්‍රම කාලෙ වෙච්ච නිසා ඉගෙනගන්න කලින් පණ බේරාගතයුතුයි කියන මතේ හැමෝම හිටපු නිසාද කොහෙද ගුරුවරු පවා උගනන්න සීන් එකට බැස්සෙ නෑ ඒ දවස්වල...) 

ඒ හැමදේමත් එක්ක බ්ලෙන්ඩර් වලින් 3ඩී මොඩලින් කරන්න පටන්ගත්තෙක මට හිතට අල්ලලා ගියා මචංලා සෑහෙන්න. වැඩේ පටන් ගද්දි මම හිතාගත්ත දේ තමා මේ 3ඩී pipeline එකේ හැමඑකම හොඳට මාස්ටර් වෙනකන් අනිත් තැන් වලට යන්නෑ කියල. ඒ නිසා මාස ගාණක් ටෙක්ස්චරින් වත් නොකර මම කලේ  පුලුවන් තරං මොඩ්ල් කරපු එක. පින්ටරෙස්ට් එකෙන් දකින පින්තූර වල තියන ඔබ්ජෙක්ට් මොඩ්ල් කලා පුලුවන් තරං. කොහොමහරි 2020 අප්‍රේල් 13 වෙනිදා තමා ෆේස්බුක් එකට මම මුලින්ම මගේ ත්‍රීඩි මොඩ්ල් එකක් අප්ලෝඩ් කරල තියෙන්නෙ. මට මතකයි මම මුලින්ම කලේ මෙන්න මේ පඩි පෙලේ ත්‍රීඩි මොඩ්ල් එක. මං හිතන්නෙ අලුත් අවුරුද්දෙ වැඩ අල්ලන නැකතින් කරපු එකක් වෙන්න ඔිනෙ මට හරියට මතක නෑ දැන් :D


 ඉතින් මේ පඩිපෙලෙන් පටන්ගත්තම මගෙ 3ඩී ගමනෙ එක එක සංදිස්ථාන ගොඩක් තියනවා. එයින් පළවෙනිම එක තමා 2020 නොවැම්බර් වල visual arts and experience group එකේ සංජය ප්‍රභාෂ්වර ගුණවර්ධන අයියා Fb එකේ මම දාල තිබ්බ මොඩ්ල් ටික දැකලා මට 3ඩී මොඩලින් වැඩ වලට කතා කරපු එක. law of attraction වැඩ කරන හැටි හරි පුදුමයි මචංලා. චරිතගෙ කුවේණි කොන්සට් එකේ vaeg එකෙන් කරපු වැඩ ටික දැකලා ආසාවෙන් ඉද්දිම සංජය අයියා කතා කරපු එක සිරාවටම මගෙ ජීවිතේ law of attraction වැඩ කරපු තැනක්. සංජය අයියා මට කතා කරන්නෙ 3ඩී වලින් commercialy වැඩ කරනවා තියා හිතලවත් නැති පසුබිමක. මට පුලුවන් මොඩලින් විතරමයි. ටෙක්ස්චරින්වත් බෑ. කොහොමහරි සංජය අයියා මාව සෙට් කලා එතන හිටපු සුනෙත් දීප්ත අයියට. සුනෙත් අයියා එක්ක virtual event වලට 3ඩී මොඩ්ල් හදපු එක තමා 3ඩී වලට ආවට පස්සෙ මම professionaly කරපු පළවෙනි වැඩේ. ඉතින් මාව 3D artist කියන career එකට ඇදලා ගත්තෙ vaeg සංජය අයියා. ඒ ගෞරවේ හැමදාම මගෙ හිතේ තියනව.

එතනින් පස්සෙ vaeg එකේ ප්‍රොජෙක්ට් කීපෙකටම මම ඒ කාලෙ සහභාගි උනා 3ඩී මොඩලර් කෙනෙක් හැටියට. projection mapping ප්‍රොජෙක්ට් වල පවා මම වැඩ කලා.  මට හැබැයි එතන ෆුල් ටයිම් වැඩ කරන්න උනේ ඒලෙවල් වලින් පස්සෙ මාස කීපයක් විතරයි මොකද ඒ කාලෙ මගේ උසස් අධ්‍යාපන කෙරුවාව සෑහෙන්න අවුල් සහගත මට්ටමක තිබුන නිසා. ඒ කතා කියන්න වෙනම පෝස්ට් එකක් මම පස්සෙ ලියනවා.

හැබැයි මට මේ කතාව කියන්න ඔිනෙ. 2020 ඉවර වෙද්දි 3ඩී කියන්නෙ මගෙ අනාගතය සහ මගෙ සම්පූර්ණ career එක කියනෙක මම තීරණය කරලා ඉවරයි. ඒකත් එක්ක මට ලොකු ප්‍රශ්නයක් උනේ මගෙ උසස් අධ්‍යාපනය. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයත් එක්ක මට මේ  career එකේ ඉස්සරහට යන්න පුලුවන්ද කියන ප්‍රශ්නේ මගේ හිතේ තිබ්බා. මොකද අඩු ගානෙ රජයෙ කැම්පස් වල මේ සබ්ජෙක්ට් උගන්නන්නෙ නැහැ. ළඟින් යන්න දෙයක් කරන්නෙ මොරටුවෙ කැම්පස් එකේ integrated design කෝස් එකේ විතරයි. සහ ආට් සයිඩ් එකේ ඩිග්‍රියකට යන්න මට කැමැත්තක් තිබුනෙත් නැහැ මොකද ඒවල සිලබස් මම කරන වැඩේට 100%ක් හරියන්නෙ නැති නිසා. ඒ වගේම මම ටෙක් කරපු නිසා මට ඒ ඩිග්‍රි බහුතරයකට ඉල්ලන්නත් බැහැ. සහ මම ඒ කාලෙ ඉන්ස්පයර් උණ ආටිස්ට්ලා එක්ක කතා කලාමත් ඒ හැමෝම වගේ ඒලෙවල් අතෑරලා මේක කරපු අය. ඉතින් ඒවත් එක්ක කාලයක් තිබ්බා මමත් ඒලෙවල් අතෑරලා ගෙදරත් එක්කත් වලි දාගෙන 3ඩී කරපු. හැබැයි සෑහෙන බල්ටි ගොඩකට පස්සෙ 2021 මැද වගේ ඉඳන් මම 3ඩී කරනෙකත් ටිකක් විතර අඩු කරලා සීරියස්ලි පාඩම් කරලා රජයෙ කැම්පස් එකකට සිලෙක්ට් වෙන්න ඒ්ලෙවල් රිසල්ට් එකක් දාගන්නව.

හැබැයි සෙල්ලම පටන් ගත්තෙ ඊට පස්සෙ...

මේ කාලෙ වෙද්දි මචං මගෙ ඔලුවෙ තිබ්බා මෙන්න මේ දේ. 1ක් තමා මම හරියටම මේ 3ඩී වලින් කරන්නෙ මොකක්ද කියනෙක සහ මම මේ ලෝකෙට මම මේ දන්න ශිල්පෙන් මොකක්ද දෙන්න ඔිනෙ කියනෙක. ඒ් මොකක්ද සහ මගේ අනාගත බලාපොරොත්තුව, මගේ හීනේ මොකක්ද කියලා මම දැනට රහසක්ව තියාගන්නවා. හැබැයි මේ හීනෙට යන්න නං, මම මේ ෆීල්ඩ් එකේ මාස්ටර් කෙනෙක් වෙන්නම ඔිනෙ සහ එක්ස්පීරියන්ස් එකෙන් වගේම ඇකඩමික් වලින් උඩම තැනකට යන්න ඔිනෙ කියන තැන මම සැරටම හිටියා. අන්තිම කාලෙ ඒලෙවල් බොක්කෙන් කරන්නත් ඒක එක හේතුවක්. 

මේ කාලෙ මම සෑහෙන්න ට්‍රයි කලා මොරටුවෙ කැම්පස් එකේ integrated design කෝස් එකට. ඒ්ත් ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ෆේල් වීමත් එක්ක ඒක කරගන්න බැරි වුනා. මාව සෙට් උනේ කැම්පස් පොත දාද්දි නිකමට දාපු වයඹ කැම්පස් එකේ engineering technology ඩිග්‍රී එකට. මම වයඹ කැම්පස් එකට ගියෙ රෙජිස්ට්‍රේෂන් දවසෙ විතරයි. මට පලවෙනි දවසෙ ඉඳන් කැම්පස් එක හිතට ඇල්ලුවෙ නෑ. අපේ ඔරියන්ටේෂන් තිබ්බෙ ඔන්ලයින්. මට කෝස් කන්ටෙන්ට් එකම එපා උනේ ඔරියන්ටේෂන් එකේ ඉඳන්. ඒකත් එක්ක 2023 ජුනි මාසෙ මුල මං ගත්තා මගෙ ජීවිතේ ගත්ත අමාරුම තීරණයක්, ඒක මට විතරක් නෙවේ අපේ මුලු ගෙදර අයටම විශේෂයෙන් අපේ අම්මට සෑහෙන්න අමාරු තීරණයක් වුනා. ඒ තමා වයඹ කැම්පස් එකට නොගිහින් ඉන්නෙක සහ 3ඩී වලින් දිගටම ඉස්සරහට යන එක. මොකද අපේ අම්මගෙ ජීවිතේ තිබ්බ ලොකු හීනයක් තමා මං රජයෙ කැම්පස් එකකින් ඩිග්‍රියක් ගන්නවා දකින එක. මේ හැමදේමත් එක්ක මට මගේ ඇඟේ තියන passion එකත් මරාගෙන වයඹ කැම්පස් එකට යන්න උවමානවක් තිබුනෙ නෑ. හැබැයි මම එක දෙයක් හිතාගත්තා, ඒ තමා අම්මගෙ හීනෙ මම හැබෑ කරනවා වයඹ කැම්පස් එකටත් වඩා හොඳ විදිහකට සහ මගෙ හීනෙත් මම මොන ලෝකෙන් හරි හැබෑ කරගන්නවා කියනෙක.

මේ කාලෙ වෙද්දි මම freelancer කෙනෙක් විදිහට මේ ෆීල්ඩ් එකේ ගොඩක් සීනියර් අය සමග වැඩ කරලා මගෙ එක්ස්පීරියන්ස් හදාගත්තා. නිපුන මාකලන්ද අයියා කියන්නෙ මේ අතරින් අනිවාර්යයෙන් මතක් කළ යුතු කෙනෙක්. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා. හැබැයි, එයා ගැන මම වැඩිය කියන්න කැමති නෑ. මොකද එයා එක්ක මට තියෙන්නෙ වෙනම කතාවක්, ඒ කතාව මම ලියනවා මේ පෝස්ට් එකේ දෙවනි කොටසෙදි.

ඉතින්, මම තීරණය අද මේ කතාවෙ පළවෙනි කොටසේ අවසානය මෙතනින් සනිටුහන් කරන්න. මොකද ලස්සනට ලියන්න ඔිනෙ කරන මල්වර නැකතින් නෙවේ අද ලිවුවේ. අද ලිවුවෙ විනයෙන්. ඒ නිසා කතා රසය ගොඩක් අඩුයි. හැබැයි, මම දිගටම ලියනවා.... නවත්තන්නැතුව...

 

කොටි මල්ලි (Snow Kotiya)
2026-05-10

 

 

මම 9 වසරෙදි පාතාල කල්ලි නායකයෙක් වුන හැටි සහ කම්පියුටර් ගේම්ස් ගැන මගේ චින්තනය

ඔයා computer games, mobile games වලට ආස කෙනෙක් නං අනිවාර්යයෙන්  clash of clans ගේම් එක ප්ලේ කරල හෝ අහල දැකලා හෝ ඇති.  මීට අවුරුදු ගාණකට කලින...